පජහනවාරවණ්ණනා
දුරුකරන වාරයෙහි පජහති ඒ ඒ මගින් ප්‍රහාන පරිඤ්ඤා වශයෙන් දුරුකරයි. ඉදිරියේ අනුත්පත්ති ධර්මතාවට පමුණුවයි. ආමන්තා යයි අනාගාමි මාර්ගස්ථයා සඳහා ප්‍රතිවචනයයි. තදෙකට්ඨං පජහති ප්‍රහානයෙහි කාෂ්ඨභාවය සඳහා කියන ලදි. නො යයි අරහත් මාර්ගස්ථාන සඳහා ප්‍රතිසේධය.
යතො කාමරාග අනුසයං පජහති යමකින් ඉපදෙන කාමරාග අනුසය දුරුකරයි යන අර්ථය වේ. අට්ඨමකො අරහත් ඵලයේ සිට ප්‍රති ආරෝහන ගණනින් ගණන් ගන්නේ සෝවාන් මාර්ගස්ථයා අට්ඨමකු නම් වේ. දක්‍ෂණෙය්‍ය ගණනින් රහතන් වහන්සේ අග්‍ර දක්ඛිණෙය්‍ය බැවින් පළමුවැන්නාය. අරහත්ත මාර්ගස්ථයා දෙවැන්නාය. අනාගාමි තුන්වැන්නාය. සෝවාන් මාර්ගස්ථයා අටවැන්නාය. හේ මෙහි අට්ඨමකයයි කියන ලදි. ඔහුට මේ නාම සංඥාවක් වේ. අනාගාමි මග්ග සමංගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්‍වා අවසෙසා යයි පෘථග්ජනයා සමග සේක අසේකයෝ. ඔවුනතුරෙන් පෘථග්ජනයා ප්‍රහාන පරිඤ්ඤාව නොමැති වීමෙන් දුරු නොකරයි. සෙස්සෝ ඔවුන්ගේ අනුශායවල ප්‍රහීන බැවින්. ද්වින්නං මග්ග සමංගිනං යුක්ත වූ මාර්ග දෙක හැර යන අර්ථයයි. මෙම නයින් සියලු තැන විනිශ්චය දතයුතුය.
පජහනවාර කථා නිමි.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරයෙහි පරිජානාති යයි පරිඤ්ඤා තුනකින් දැනගනී. මෙහි සෙස්ස යට කියන ලද නයම වේ. මෙම වාරය ද වනාහි පජහන වාරය මෙන් මාර්ග ස්ථාන වශයෙන් ම විසඳන ලදි.
පරිඤ්ඤාවාර කථා නිමි.
පහීනවාරවණ්ණනා
ප්‍රහීන වාරයෙහි ඵලස්ථ වශයෙන් ම දේශනාව අරඹන ලදි. අනාගාමියාට මේ අනුශය දෙකම ප්‍රහීනය. එහෙයින් ආමන්තා යයි කියන ලදි.
ඕකාස වාරයෙහි යත්‍ථ කාමරාගානුසයො පහීනො තත්‍ථ පටිඝානුසයො පහීනොති පුච්ඡිත්‍වා න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා යයි කියන ලදි. එය කුමක් නිසාද? උපන් ස්ථානයේ අසාධාරණ බැවිනි. කාමරාගානුසයේ උපන් තැන අන් තැනකය. පටිඝානුසයේ අන්තැනකය. අභාවිත මාර්ගයේ ද යම්තැන අනුසය උපදී. එහිම භාවිත මාර්ගයෙහි එය ප්‍රහීන නම් වේ. එහි යම්හෙයකින් කාමරාග අනුසය ස්ථානයෙහි පටිඝානුසය නො උපදී. පටිඝ අනුසය ස්ථානයෙහි කාමරාගානුසය නූපදී. එහෙයින් එහි එය ප්‍රහීන හෝ අප්‍රහීන හෝ යයි නොකිව යුතුය. එය තමාගේ උපන් ස්ථානයෙහි කාමරාග අනුසය ප්‍රහීන වේ. එහි අප්‍රහීන බැවින් එහි ප්‍රහීන යයි නොකිව යුතුය.
කාමරාගානුසයේ උපන් ස්ථානය යම්තැනක ද එහි සිටි බැවින් එහි අප්‍රහීන යයි නොකිව යුතුය. යත්‍ථ කාමරාගානුසයො පහීනො තත්‍ථ මානානුසයො පහීනොති මෙහි වනාහි සාධාරණ ස්ථානයන් සඳහා ආමන්තා යයි කියන ලදි. කාමරාගානුසය වනාහි කාම ධාතුවේ වේදනා දෙකක පවතී. මානානුසය ඒවායෙහි මෙන්ම රූපාරූප ධාතුවල (රූප අරූප ලෝක) ද පවතී. එය අසාධාරණ ස්ථාන හැර සාධාරණ ස්ථානයේ එය සමග ප්‍රහීන වේ. එහෙයින් ආමන්තා යයි කියන ලදි. මෙම නයින් සියළු ඕකාස වාරයෙහි ප්‍රහීන බවද නොකිව යුතු බවද දතයුතුය. නත්‍ථි යයි ආ තැන්වල වනාහි යට කියන ලද සමානව විනිශ්චය වේ. පුග්ගලොකාසවාරය ඔකාසවාර ගතිකම වේ.
පටිලෝම නයෙහි යස්ස කාමරාගානුසයො අප්පහීනො පුථුජ්ජන, සෝතාපන්න, සකදාගාමි වශයෙන් අසයි. මේ අනුසය දෙකම පෘථග්ජනයාගේ සිට අනාගාමි මාර්ගස්ථයා දක්වා පුද්ගලයන් සදෙනාගේ අප්‍රහීනය. මෙහි වනාහි අන්‍ය වූ ‘පුද්ගලයන් තිදෙනාගේ, පුද්ගලයන් දෙදෙනාගේ’ යන ආදි වචනයෙන් මාර්ගස්ථයා අදහස් නො කෙරේ. එහෙයින් පෘථග්ජන සෝවාන් සකදාගාමින් සඳහා ආමන්තා යයි කියන ලදි. ද්වින්නං පුග්ගලානං සෝවාන් සකදාගාමි දෙදෙනාගේ මෙම නයින් පුද්ගල වාරයෙහි විනිශ්චය දතයුතුය.
ඔකාසවාර පුග්ගලොකාසවාර වනාහි යට කියන ලද නයින්ම දතයුතුය.
පහීන වාර කථා නිමි.
උප්පජ්ජනවාරවණ්ණනා
උප්පජ්ජනවාරය අනුසය වාරය හා සමාන වේමය.
ධාතුපුච්ඡාවාරවණ්ණනා
ධාතුවාරයේ පුච්ඡාවාරයෙහි කති අනුසයා අනුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගතව පවතීද කති අනුසයා නානුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගත නැතිව නොපවතීද, කති අනුසයා භංගාති අනුසය කීයක් පවතීද, නොපවතීදැයි මෙසේ බෙදිය යුතුය යන අර්ථය වේ. මෙහි කිවයුතු සෙසු යමක් වේ නම් එය යට පෙළ නියමයෙහි කියන ලදමය.
ධාතුවිස්සජ්ජනාවාරවණ්ණනා
නිද්දේස වාරයේ වනාහි කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති යයි පෘථග්ජන වශයෙන් කියන ලදි. කස්සචි පඤ්චාති යයි සොතාපන්න සකදාගාමි වශයෙන් කියන ලදි. ඔවුන්ගේ වනාහි දිට්ඨ අනුසය සහ විචිකිච්ඡා අනුසය ප්‍රහීන යයි පහක්ම පවතී. එහි යම්සේ අනුසය වාරයෙහි පවතී යයි යන පදයේ උපදී යයි යන අර්ථය ගන්නා ලදි. මෙසේ මෙහි නොගත යුතුය. කුමක් හෙයින්ද? ඒ ක්‍ෂණයෙහි නූපදීම් වශයෙනි. කාමධාතුවේ උපදින්නාට විපාක සිත මෙන්ම කම්ම සමුට්ඨාන රූපද උපදී. අකුසල සිත නැත. අනුසය ද අකුසල චිත්ත ක්‍ෂණයෙහි උපදී. විපාක චිත්තක්‍ෂණයෙහි නොවේ යයි ඒ ක්‍ෂණයෙහි නො ඉපදීම් වශයෙන් එසේ අර්ථ නොගත යුතුය. කෙසේ නම් ගතයුතුද? යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ රාග දෝස මෝහ අප්‍රහීන බව. කුසල අබ්‍යාකත චිත්ත සමංගි පුද්ගලයා රාග සහිත දෝස සහිත මෝහ සහිත යයි කියනු ලැබේ. මෙසේ මාර්ග භාවනාවෙන් අප්‍රහීන වූ බැවින් ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අනුසයෝ පවතිත් යයි කියති. කේවලව නො කියති. අප්‍රහීන බැවින් ඒවා පවතී යයි දතයුතුය.