අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනියෙහි නොගැඹුරු අර්ථමය. මෙහි නය ගිණිය යුතුය. ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති කියන ලද ස්ථානයෙහි ලෝකෝත්තරය නය හාරදහසකට බෙදන ලදි. විරිය සමාධි ආදියෙහි ද මෙම නයමයි. එසේම උත්තර චුල්ල භාජනියෙහි ඡන්‍ද ඉද්ධිපාදයෙහි නය හාරදහසක් බෙදන ලදි. විරිය චිත්ත වීමංස ඉද්ධිපාදයෙහි සතර සතර සියල්ල චතුක්ක අටක් වශයෙන් නය තිස් දෙදහසක් බෙදන ලදි. මෙසේ උපදවන ලද ලෝකෝත්තර ඉද්ධිපාද වශයෙන් නය දෙතිස් දහසකින් ප්‍රතිමණ්ඩිත අභිධර්ම භජනිය කියන ලදැයි දතයුතුය.
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හ පුච්ඡකයෙහි - පෙළ අනුසාරයෙන් ඉද්ධිපාදවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි මේ සියල්ල අප්‍රමාණය. නිවන අරබයා පවතින අප්‍රමාණ අරමුණය. මාර්ග අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් වනාහි මාර්ග හේතුය. මාර්ග අධිපති නොවේ. සතර අධිපතීහු ඔවුනොවුන් ගරු නොකරති. කුමක් හෙයින් තමා දෙටු බැවිනි. යම්සේ සමාන ජාතික සමාන වයස සමාන බලය සමාන ශිල්ප ඇති රාජපුත්‍රයෝ සතරදෙනෙක් තම තමාගේ ජ්‍යෙෂ්ඨ බැවින් ඔවුනොවුන්ට බුහුමන් නොකරති. එසේම මේ අධිපති සතරදෙනා වෙන වෙනම ශ්‍රේෂ්ඨ බැවින් ඔවුනොවුන් ගරු නොකරයි. ඒකාන්තයෙන්ම මාර්ගාධිපතිහු ගරු නොකරති. අතීතාදියෙහි ඒකාරම්මණ භාවයෙහිද නොකිව යුතුය. නිර්වාණය වනාහි බාහිර ධර්මතාවක් හා බාහිර අරමුණක් නම් වේ යයි මෙසේ මෙහි ප්‍රශ්න විචාරකයෙහි උපන් ලෝකෝත්තරයම ඉද්ධිපාද කියන ලදි. අභිධර්ම භාජනිය ප්‍රශ්න විචාරකයෙහි ලෝකෝත්තරමය. එසේම මේ ඉද්ධිපාද විභංගයද තිපරිවෘත්තය ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ නවවන ඉද්ධිපාද විභංග නිද්දේසයයි.
10. බොජ්ඣංග විභංග නිද්දේසය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉන් අනතුරුව දැන් බොජ්ඣංග විභංගයෙහි සත්ත යනු ගණන වෙන් කිරීමය. බොජ්ඣංගා යනු බෝධියේ අංගය. මෙය කියන ලද්දේ වේ. මේ ධර්ම එකතුවීමෙන් ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි උපදින, සැඟවුණු උද්ධච්ච පිහිටීම රැස්කරන කම්සැප අත්තකිලමථානුයෝග උච්ඡේද සාස්වත අභිනිවේසාදි නොයෙක් උවදුරුවලට ප්‍රතිපක්‍ෂ වූ සිහිය ධර්මය විමසීම පිණිස පස්සද්ධිය සමාධිය උපේක්ඛා සංඛ්‍යාත වූ ධර්ම එකතුවීමෙන් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කිරීම බෝධියයි කියනු ලැබේ. සිතේ නිදාසිටි කෙලෙස් නැගිටීම අවබෝධ කරයි. සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරයි. නිවන හෝ සාක්‍ෂාත් කරයි යනු බෝධි වේ. ඒ ධර්ම සාමග්‍රි සංඛ්‍යාත බෝධියේ අංගද බොජ්ඣංග වේ. ඣානංග මග්ගංග ආදිය මෙනි. යමෙක් කියන ලද ආකාරයෙන් මේ ධර්ම සාමග්‍රියෙන් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරයි යන අර්ථයෙන් බෝධිය යයි කියනු ලැබේ. ඒ බෝධියේ අංගද බොජ්ඣංග වේ. සෙනංග රථංග ආදිය මෙනි. එයින් කීහ, අටුවා ඇදුරෝ - අවබෝධ කරන පුද්ගලයාගේ අංග හෝ බොජ්ඣංග වේ” යයිද
තවද කුමන අර්ථයකින් බොජ්ඣංග වේද? අවබෝධය පිණිස පවතීනුයි බොජ්ඣංග වේ. අවබෝධ කෙරේනුයි බොජ්ඣංග අනුව අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා. සම්පූර්ණයෙන් අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා” යයි මේ පටිසම්භිදා- නයින්ද බොජ්ඣංග අර්ථය දතයුතුයි.
සති සම්බොජ්ඣංග ආදියෙහි ප්‍රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය සම්බොජ්ඣංග වේ. සිහියම සතිසම්බොජ්ඣංග වේ. එහි වැටහීම ලක්‍ෂණ කොට ඇත්තේ සතිසම්බොජ්ඣංග වේ. විශේෂයෙන් පරීක්‍ෂා කිරීම ලක්‍ෂණකොට ඇත්තේ ධම්මවිචය සම්බොජ්ඣංග වේ. උදව්දීම ලක්‍ෂණකොට ඇත්තේ විරිය සම්බොජ්ඣංග වේ. පැතිරීම ලක්‍ෂණකොට ඇත්තේ පීතිසම්බොජ්ඣංග වේ. සංසිඳීම ලක්‍ෂණකොට ඇත්තේ පස්සද්ධි සම්බොජ්ඣංග වේ. එකඟබව ලක්‍ෂණ කොට ඇත්තේ උපේක්ඛා සම්බොජ්ඣංග වේ. ඒවා අතරෙන් “මහණෙනි, සිහිය වනාහි සියළු අර්ථය යයි මම කියමි” යන වචනයෙන් සියළු බොජ්ඣංගයන්ට උපකාර වන බැවින් සතිසම්බොජ්ඣංගය පළමුව දේශනා කරන ලදි. ඉන්පසුව එසේ සිහියෙන් වාසය කරන්නේ ප්‍රඥාවෙන් විශේෂයෙන් විමසයි යනාදි නයින් මෙසේ අනුක්‍රමයෙන් බහා තැබීමේ ප්‍රයෝජන පෙලෙහි ආවේමය.
කුමක් හෙයින් අඩුවැඩි නැතිව සතක්ම කියන ලද්දේද? සැඟවුණු උද්ධච්චයට ප්‍රතිපක්‍ෂ බැවින් හැමතැනටම ප්‍රයෝජනවත් බැවින්ද මෙහි බොජ්ඣංග තුනක් අප්‍රකටයව ප්‍රතිපක්‍ෂ වේ. යම්සේ කීහ. “මහණෙනි, යම් අවස්ථාවක සිත මැලිවූයේද සැඟවුනේ වේද ඒ අවස්ථාවේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. උද්ධච්චයට තුනක් ප්‍රතිපක්‍ෂ වේ කීහ. මහණෙනි, යම්කලක සිත විසිරී ඇතිද ඒ කාලයෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සුදුසුය. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට, උපේක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. එකක් වනාහි සියළු ව්‍යඤ්ජනවල ලුනු ධූපයක් මෙන් (ලොණ ධූප) සියළු රාජ කෘත්‍යවල සියළු කටයුතු කරන ඇමතිවරයකු මෙන් සියළු බොජ්ඣංගවල කැමතිවිය යුතු හෙයින් සබ්බත්‍ථික ස්ථාන:- “මහණෙනි, සිහිය වනාහි සියල්ලටම කැමති වේ.” පෙලෙහි සබ්බත්‍ථක යනුවෙන්ද ඇත. දෙදෙනාම (සබ්බත්‍ථ) කැමති වෙති යන අර්ථය වේ. සබ්බත්‍ථික වශයෙන්ද සතක්ම කියන ලදැයි දතයුතුය.