අඤ්ඤමඤ්ඤචතුක්කං
අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහිද අවිජ්ජා පච්චයා යන සහජාතාදි පච්චය වශයෙන් සංඛාරයට අවිජ්ජා පච්චය බව දක්වා සංඛාර පච්චයද අවිජ්ජා යයි අඤ්ඤමඤ්ඤ පච්චය බව දක්වන ලදි. සෙසු පදවලද මෙම නයයි. යම් හෙයකින් භවය නිප්පදේශද උපාදානය සප්පදේශද වේ. සප්පදේශ ධර්මද නිප්පදේශ ධර්මයට ප්රත්ය වේ. නිප්පදේශ ධර්ම සප්පදේශ ධර්මවලට ප්රත්ය නොවේ. එහෙයින් මෙහි භව පච්චය ද උපාදානය යයි නොකියන ලදි. යට කී දේශනාව සිඳින බැවින් නොකියන ලදි. යම්සේ නාමරූප ප්රත්යයෙන් සළායතන ඇත. සළායතන ප්රත්යයෙන් ඒකචිත්ත ක්ෂණයෙහි නාමරූප නැත. යමකට සළායතන අඤ්ඤමඤ්ඤ ප්රත්ය වන්නේද එහෙයින් සතරවන වාරයෙහි ඡට්ඨායතන පච්චයා නාමරූපං යයි යමක් ලබයිද එයම ගන්නා ලදි. මෙය අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහි විශේෂයයි.
අවිජ්ජා මූලක නය මාතිකවය.
සඞ්ඛාරාදිමූලකනයමාතිකා
දැන් සංඛාර පච්චයා අවිජ්ජා යයි සංඛාර මූලක නය අරඹන ලදි. එහිද අවිජ්ජා මූලකයෙහි මෙනි. මෙසේ චතුක්ක සතරද වාර දහසයද දතයුතුය. පළමු චතුක්කයෙහි පළමුවන වාරය දක්වා දේශනාව සංක්ෂෙප කරන ලදි. මෙහි මෙන් විඤ්ඤාණ මූලකාදියෙහිද එසේය. එහි සියළුම ඒ සංඛාර මූලකාදි නය අටෙහි සංඛාර පච්චයා අවිජ්ජා යන ආදි නයින් සහජාතාදි පච්චය වශයෙන් අවිජ්ජාවෙහි සංඛාරාදි ප්රත්යභාවය දක්වා නැවත අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයින් ඒක චිත්තක්ෂණයෙහි ද පච්චයාකාර චක්රයාගේ පැවැත්ම දක්වන ලදි.
භවමූලක හෝ ජාති ජරා මරණ මූලක හෝ නය කුමක් හෙයින් නොකියන ලදද? කිම භව ප්රත්යයෙන් අවිජ්ජා නොවේද? නොවන්නේ නොවේ. සංඛාර පච්චයා අවිජ්ජා යන මේ ආදිය කියන කල්හි භවයට ඇතුළත් කිසිම ධර්මයක් අවිජ්ජාවෙන් ප්රත්යය වේයයි නොකියන ලදි. එනිසා පෙර නොවූ අන්ය වූ අවිජ්ජා ප්රත්යයෙන් කිවයුතු වූවකගේ අභාවයෙන් භවමූලක නය නොකියන ලදි. භවය ගැනීමෙන් අවිජ්ජාවද සංග්රහ වේ. එහෙයින් භව පච්චයා අවිජ්ජා යයි කියන කල්හි අවිජ්ජා පච්චයා අවිජ්ජාවද කියන ලද වන්නේය. ඒක චිත්තක්ෂණයෙහි අවිජ්ජාව අවිජ්ජාවෙන් පච්චය නම් නොවේ. එහි සිඳින ලද බැවින් ජාති ජරා මරණ මූලක නයද නොගන්නා ලදි. තවද භවයෙහි ජාති ජරා මරණ ඇතුළත්ය. මේවා ඒක චිත්ත ක්ෂණයෙහි අවිජ්ජාවෙන් පච්ච නොවේ යයි භව මූලක ජාති ජරා මරණ මූලක හෝ නය නොකියන ලදි.
මාතිකා කථාවය.
අකුසලනිද්දෙසවණ්ණනා
දැන් යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කුසලත්රිකය ආදි කොට තබන ලද මාතෘකාවේ පිළිවෙලින් පළමුව කුසලය බෙදන ලදි. එසේ මෙහි මාතෘකාව නොතබන ලද බැවින් පළමුව කුසලය අනාමර්ශනය කොට අවිජ්ජා පච්චයා සංඛාරො යයි අකුසල ධර්ම වශයෙන් මාතෘකාව තබන ලද බැවින් බහා තැබූ පිළිවෙලින්ම අවිජ්ජාදි පටිච්ච සමුප්පාද අංග බෙදා දැක්වීමට කතමෙ ධම්මා කුසලා? යන ආදිය කීහ. එහි අර්ථය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කියන ලද නයින්ම දතයුතුය. යම්සේ ඒක චිත්තක්ෂණයෙහි තණ්හාවද කාම උපාදානයද හටගැනීමක් නැත. එහෙයින් මෙහි යමක් තණ්හා පච්චයා උපාදානය ලබයිද එයම දැක්වීමට දිට්ඨි දිට්ඨිගතං යන ආදිය කියන ලදි.
භව නිද්දේශයෙහිද උපාදානය සංඛාර ස්කන්ධයෙහි සංග්රහ වේ. එහෙයින් ඨපෙත්වා උපාදානං වේදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සංඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො යයි කියන ලදි. මෙසේ කියන කල්හි උපාදානයට උපාදාන පච්චයා බව පැමිණේ. එයම ඊට ප්රත්ය නොවේ. ජාති ආදි නිද්දේශයෙහි මේ ජාති ආදියෙහි අරූප ධර්මයන්ගේ ජාති ආදියයි. එහෙයින් ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා චුති වචන්තා යයි කියන ලදි.
මෙසේ පළමු වාරය නිමවා නැවත දෙවන වාරයෙහි ප්රථම වාරයෙහි පච්චයාකාරය දැක්වූ කාලයෙහිම වෙනත් ක්රමයකින් පච්චයාකාරය දැක්වීමට වෙනත් කාල නියමයකින් වාරය නොකියා තස්මිං සමයෙ අවිජ්ජා පච්චයා සංඛාරො යනාදි නයින් දේශනා කරන ලදි. එහි ඨපෙත්වා ඵස්සං යන යම් ස්පර්ශයකින් නම ඇතුළත් වූයේ නම් ඒ ස්පර්ශයේ නම බැහැර කිරීම සඳහා කියන ලදි.
තුන්වන වාරයෙහි යම් චිත්ත සමුට්ඨාන රූපයකට විඤ්ඤාණය ප්රත්ය වීනම් එය පවතින කාලයෙහි එයින් උපස්ථම්භක වූ චක්ඛායතනාදියේ රැස්කළ බව පෙනී යයි. එහෙයින් චක්ඛායතනස්ස උපචයො යනාදිය කියන ලදි. කම්මජ රූපයටද ඒ අවස්ථා පවතින විඤ්ඤාණයේ පච්චාජාත පච්චයෙන් ප්රත්ය වේද? එහෙයින්ද මෙසේ කියන ලදි. එහි කිසි කර්මජ සහ චිත්ත සමුට්ඨාන යයි සන්තති දෙකක් ගන්නා ලදි. ඉතිරි සන්තති දෙකද ගතයුතුය. ඒවායෙහිද විඤ්ඤාණය ප්රත්ය වේමය.
සතරවන වාරයෙහි එක චිත්තක්ෂණයෙහිද මහාභූත රූප පච්චයෙන්ද චක්ඛායතනාදිය හදය රූප පච්චයෙන්ද ඡට්ඨායතන නාම පච්චයෙන් ද පච්ඡාජාත සහජාතාදි වශයෙන් යථානුරූපව සියල්ලම පවතී. එහෙයින් කත්ථ කතමං නාමරූප පච්චයා සළායතනං චක්ඛායතනං ආදිය කියන ලදි.