3. ධාතු විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ධාතු විභංගයෙහි සියළු ධාතු, ධාතු සය හකුළුවා ඡක්ක ත්‍රිකයක් සූත්‍රාන්ත භාජනියෙහි දක්වන්නේ ඡ ධාතුයො ආදිය කීහ. ඡ යනු ගණන දැක්වීමය. ධාතුයො සීමිත ගණන අයත් ධර්ම දැක්වීමය. පඨවි ධාතු ආදියෙහි ධාතු අර්ථය ස්වභාව අර්ථයි. ස්වභාව අර්ථය නම් ශූන්‍ය අර්ථයයි. ශූන්‍ය අර්ථය නම් ආත්මයක් නැත යන අර්ථයයි. මෙසේ ස්වභාව ශූන්‍ය අනාත්ම අර්ථයෙන් පෘථිවි ධාතුව පඨවි ධාතු වේ. ආපෝ ධාතු ආදියෙහි ද මෙම නයයි. මෙසේ මෙහි පද සමාසය දැන මෙසේ අර්ථ දතයුතුය. පඨවි ධාතු යනු පෘථිවියට ආධාර වන ධාතු වේ. ආපෝ ධාතු සම්බන්ධය ඇතිකරන ධාතු වේ. තේජෝ ධාතු මේරීමට සලස්වන ධාතු වේ. වායෝ ධාතු පුම්බවන ධාතු වේ. ආකාස ධාතු ස්පර්ශ නොකළ ධාතු වේ. විඤ්ඤාණ ධාතු දැනගන්නා ධාතු වේ.
පඨවි ධාතු ද්වයං මේ පඨවි ධාතු දෙකය. මේ පඨවි ධාතු නම් එකක් නොව අජ්ඣත්තික බාහිර භේදයෙන් දෙකක් වේ යන අර්ථයි. එහෙයින් කීහ:- “අත්ථි අජ්ඣත්තිකා අත්ථි බාහිරා”ති. එහි අජ්ඣත්තික යනු සත්ව සන්තානය ඇතුළත් ස්වකීය ආධ්‍යාත්මය වේ. බාහිරා යනු සංස්කාර සන්තානය ඇතුළත් ඉන්‍ද්‍රියබද්ධ නොවූ. අජ්ඣත්ත පච්චත්තං මේ දෙකම ස්වකීය අජ්ඣත්තයට පර්යාය වචනයි. දැන් එය ස්වභාව ආකාරයෙන් දැක්වීමට කක්ඛලං ආදිය කියන ලදි. එහි කක්ඛළං යනු තදබවයි. ඛරිගතං යනු රළුය. කක්ඛළත්තං රළු බවේ ස්වභාවය. කක්ඛළභාවො රළු ස්වභාවය. අජ්ඣත්තං උපාදින්නං යනු ස්වකීය අජ්ඣත්තයයි කියන ලද උපාදින්නය. උපාදින්න නම් ශරීරයෙහි පිහිටි, කර්මයෙන් හටගත් හෝ නැති ශරීරයෙහි පිහිටි. ඒ නිසා උපාදින්න ඇත. අනුපාදින්නද ඇත. සිතින් දැඩිව ගන්නා ලද වශයෙන් දැක්වීමට මේ සියල්ල උපාදින්නයයි දැක්වීමට අජ්ඣත්තං උපාදින්න යයි කීහ.
දැන් එම පඨවි ධාතුව වස්තු වශයෙන් දැක්වීමට සෙය්‍යථීදං කෙසා ලොමා යනාදිය කියන ලදි. එහි සෙය්‍යථීදං යනු නිපාතයකි. යම් ඒ අජ්ඣත්තික පඨවි ධාතු ඒ කවරේද? යම් ඒ අධ්‍යාත්ම වෙන්වූ කැකුළු වූ ඒ කවරේද? කෙසා ලොමා ආදිය ඒ අජ්ඣත්තික පඨවි ධාතුවේ වස්තු වශයෙන් මේ ප්‍රභේද දැකීම කියන ලදි. කෙස් නම් තමාගේ යයි සිතාගත් ශරීරයෙහි පිහිටි කැකුළු බව ඇති ලක්‍ෂණ වේ. එය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. ලොම් නම්......... මල නමි. මෙහි නොකියන ලද පටිසම්භිදා මාර්ගයෙහි පෙලට නගනලද හිස්මොලය අධ්‍යාත්මිකයයි ගන්නා ලද ශරීරයේ පිහිටි කැකුළු ලක්‍ෂණ ඇති මේ ශරීරයෙහි වෙන්ව පිහිටි කොටසකි. පසුව වූ ආපෝ ධාතු ආදි නිද්දේසයෙහි පිත්තාදියද මෙම නයයි.
මෙයින් කුමක් දක්වන ලදද? ධාතු මෙනෙහි කිරීමයි. මේ ධාතු මෙනෙහි කිරීමේ යෙදී විදර්ශනාව පිහිටුවා උත්තම වූ අර්හත්භාවයට පැමිණෙනු කැමැත්තා විසින් කුමක් කළයුතුද? සිව්පිරිසිදු සිල් පිරිසිදු කළයුතුය. සිල්වත් වීමෙන් කමටහන් භාවනා සාර්ථක වේ. පිරිසිදුවන පිළිවෙල විසුද්ධි මාර්ගයෙහි කියන ලද ක්‍රමය අනුව දැනගත යුතුය. විසුද්ධ ශීලයෙන් සීලයෙහි පිහිටා පූර්ව පළිබෝධ දහය සිඳදැමිය යුතුය. ඒවා සිඳදමන ක්‍රමය විසුද්ධි මාර්ගයෙහි කීනයින් දතයුතුය. සිඳින ලද පළිබෝධ ඇත්තා ධාතු මෙනෙහි කිරීමේ කර්මස්ථානය උගත යුතුය. ආචාර්යයන් වහන්සේ විසින්ද ධාතු මෙනෙහි කිරීමේ කර්මස්ථානය උගන්වන්නේ සප්තවිධ උද්ග්‍රහ දක්‍ෂතා දසාකාර මෙනෙහි කිරීමේ දක්‍ෂතා දැක්විය යුතුය. අන්තේවාසිකයාද ආචාර්යයන් වහන්සේ සමීපයෙහි බොහෝ වාරයක් සජ්ඣායනා කොට කර්මස්ථානය අවුල් රහිතව ප්‍රගුණ කළ යුතුය. ජරා මරණයෙන් මිදෙනු කැමති ආදිකම්මික භික්‍ෂුව සත් ආකාරයකින් ඉගෙනීමේ දක්‍ෂතා කැමතිවිය යුතුය.