ධම්මදස්සනවාරවණ්ණනා
සතරවන වාරයෙහි එකාදසායතනානි සද්දායතනය හැර එහි ඒකාන්තයෙන් ප්‍රතිසන්ධියක් නොඋපදී. මේ නයින් සියළු අර්ථය දතයුතු. සතුන් කෙරෙහි දෙවියන් ගේ අසුරයින් ගේ ගති වශයෙන් නොකියා විශේෂයක් නැතිව ගබ්භසෙය්‍යක යයි කියන ලදි. යම්හෙයකින් යම්තැන්වල ගබ්භසෙය්‍යකයන් පහළවෙත්ද ඒ තැන්වල ඔවුන්ගේ සත්වායතනයන් දැනගත යුතුය. ධාතුද එසේය. සෙසු අර්ථ ප්‍රකට අර්ථ වේ.
උප්පාදකකම්මආයුප්පමාණවාරවණ්ණනා
(1:) උප්පාදකකම්මං
පස්වන වාරයෙහි කියයුතු යමක් වේනම් ඒ සියල්ල ධම්මසංගහ අටුවාවේ කියන ලදමය. සයවන වාරයෙහි කාමගුණ පහේ නොයෙක් ආකාරයෙන් හෝ සෘද්ධි විශේෂයෙන් හෝ ක්‍රීඩා කෙරේනුයි දේවා නම් වේ. සම්මති දෙවා යනු දෙවියා දේවිය මෙසේ ලෝක සම්මුති දෙවියෝ. උප්පත්ති දෙවා යනු දෙව්ලොව උපන් හෙයින් උත්පත්ති දෙවියෝය. විසුද්ධි දෙවා යනු සියළු දෙවියන්ගේ පූජාවට සුදුසු වූ සියළු කෙලෙස්වලින් විසුද්ධ වූ දෙවියෝය. රාජානො යනු මුදුනෙහි අභිසේක කළ ක්‍ෂත්‍රියාය. දෙවියො යනු ඔවුන්ගේ මෙහෙසියෝය. කුමාරා යනු අභිසේක රජවරුන්ගේ අභිසේක කළ දේවියගේ කුසයෙහි උපන් කුමාරයා.
උපොසථ කම්මං කරිත්‍වා යනු තුදුස්වකාදියෙහි අටඟින් සමන්විත උපොසථය සමාදන්ව. දැන් කුඩා දානාදි පුණ්‍යකර්ම මිනිස් සුභගභාවය පිණිස ප්‍රත්‍ය ප්‍රමාණ වශයෙන් කරන ලදි. මිනිස් සුභගභාවය පිණිස අධි ප්‍රමාණයක්, අධිප්‍රමාණ භාවයෙහිද නානාප්‍රකාර භේදයෙන් යුත් නානාප්‍රකාර ක්‍ෂත්‍රිය මහාසාරාදි භාවයට ප්‍රත්‍ය වේ. එහෙයින් ඒ අනුව උත්පත්ති භේද දක්වමින් අප්පෙකච්චෙ ගහපති මහාසාළානං යනාදිය කීහ. එහි මහාසාර මොවුන්ටය මහාසාරා නම් වේ. රකාරයට ළ කාරය කොට මහාසාළා යයි කියන ලදි. ගෘහපතීහු ද මහාසාළ වෙති. ගහපති මහාසාළ යනු ඔව්හුය. යමෙකුගේ ගෙයි අඩු තරමින් සතළිස් කෝටියක ධනයක් නිධානගතව ඇත. කහවනු අමුණු පහක් දවසේ වියදම වේ. මේ ගහපති මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි අඩු තරමින් අසූකෝටියක ධනය නිධන්ගතව ඇත. දස අමුණක කහවනු දවසේ වියදම වේ. මේ බ්‍රාහ්මණ මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි කෝටි සියයක ධනයක් නිධන්ගතව ඇත. විසි අමුණක කහවනු දවසේ වියදම වේ. මේ ක්‍ෂත්‍රිය මහාසාළ නම් වේ.
සහබ්‍යතං යනු සහභාවයයි. සභාගව උපදියි යන අර්ථයයි. චාතුම්මහාරාජිකානං යනාදියෙහි චාතුම්මහාරාජික නම් මහාමේරු පර්වතයෙහි මැද වෙයි. ඒවා අතර පර්වත ස්ථාන ආකාශයෙහි ද ඇත. ඒවායේ පරම්පරා සක්වලගලට පැමිණ ඇත. ඛිඩ්ඩා පදොසිකා මනොපදොසිකා සීත වලාහකා උෂ්ණ වලාහකා චන්‍දිමා දේවපුත්ත සුරිය දේවපුත්ත මේ සියල්ලෝම චාතුම්මහාරාජික දේවලෝකවාසීහු වෙති.
තිස්තුන් දෙනෙක් ජනයා එහි උපන් නිසා තාවතිංසා වේ. තවද තාවතිංස යනු ඒ දෙවියන්ගේ නාමයම යයි කියන ලදි. ඔව්හු පර්වතවල ආකාශයේ වෙති. ඔවුන්ගේ පරම්පරාද සක්වලගල දක්වා ඇත. යමාදීන්ද එසේය. එකම දිව්‍ය ලෝකය තවත් දෙවියන්ගේ පරම්පරා සක්වල පව්වට නොපැමිණ නැත. එහි දිවසැප හෝ අයිති වූ නිසා යාමා වේ. තුටුපහටු වන නිසා තුසිතා වේ. ප්‍රකෘතියෙන් පිළියෙල කළ අරමුණින් අතිරේකව කාම රමණයෙහි කැමති භොගයන් මවා රමණය කෙරේනුයි නිම්මාණාරති වේ. සිතේ හැසිරීම දැන අනුන් නිර්මාණය කළ භොගවල බලය පතුරුවන නිසා පරනිම්මිත වසවත්ති.
(2:) ආයුප්පමාණං
අප්පංවා භීය්‍යොවා යනු දෙවන වර්ෂ සියයට නොපැමිණ විස්සකින් හෝ තිහකින් හෝ හතලිහකින් හෝ පනහකින් හෝ හැටකින් හෝ වර්ෂවලින් අධික වර්ෂ සියයක් යන අර්ථයයි දෙවන වස් සියයට නොපත්බව අප්පං යයි කියන ලදි.
බ්‍රහ්ම පාරිසජ්ජාදියෙහි මහා බ්‍රහ්මයින්ගේ පිරිස් පිරිවර බ්‍රහ්ම පාරිසජ්ජා ඔවුන්ගේ පුරෝහිත තනතුරේ සිටියෝ බ්‍රහ්ම පුරෝහිතයෝය. වර්ණයෙන් ද දීර්ඝායුෂ්කයෙන් ද මහත් බ්‍රහ්ම මහාබ්‍රහ්මා වේ. ඔවුන්ගේ මහා බ්‍රහ්මයින්ගේ. මේ තුන්දෙනා ප්‍රථමධ්‍යාන භූමියේ එකම තලයක වසති. ආයුෂ අන්තරය විවිධය.
පරිත්ත (ටිකක්) ආභා නිසා පරිත්තාභ ය. අප්පමාණ ආභා නිසා අප්පමාණභා ය. ගිනි සුලක ගිනි දැල් මෙන් එළිය ඔවුන්ගේ ශරීරයෙන් බිඳි බිඳී වැටෙන්නාක් මෙන් පැතිරේ. (සරති විසරති) යයි ආභස්සරා ය. මේ තුන්දෙනා දෙවන ධ්‍යාන භූමියේ එක්තලයක වසති. ඔවුන්ගේ ආයු අන්තරය විවිධය.
පරිත්ත සුභ අප්පමාණ සුභ සුභකිණ්ණ මේ තුන්දෙන තුන්වන ධ්‍යාන භූමියේ එක් තලයක වසති. ආයුෂය විවිධය. [missing trans]
ආරම්මණ නානත්තා අරමුණේ විවිධත්වය. මනසිකාර නානත්තා මෙනෙහි කිරීමේ විවිධත්වය. මෙහි එක්කෙනෙකුට පඨවි කසිණය අරමුණු වේ. එක්කෙනෙකුට ඕදාත කසිණය අරමුණු වේ. මේ අරමුණු නානත්තය. කෙනෙක් පඨවි කසිණය මෙනෙහි කරති. කෙනෙක් ඕදාත කසිණය මෙනෙහි කරති. මෙය මනසිකාර නානත්වයයි. කෙනෙකුට පඨවි කසිණයෙහි කැමැත්ත වේ. කෙනෙකුට ඕදාත කසිණයේ යයි මෙය පණධි නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් මිදෙති. කෙනෙක් ඕදාත කසිණ වශයෙන් යයි මෙය අධිමොක්ඛ නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් සිත ඉදිරියට ගෙනේ. කෙනෙක් ඕදාත කසිණ වශයෙනි. මෙය අභිනීහාර නානත්තයයි. කෙනෙකුට පඨවි කසිණ පිරිසිඳින ප්‍රඥාව වේ. කෙනෙකුට ඕදාත කසිණ පිරිසිඳිනා ප්‍රඥාව වේ. මෙය පඤ්ඤා නානත්තයයි. එහි ආරම්මණ මනසිකාර මුලින් කියන ලදි. ඡන්‍ද පණිධි අධිමොක්ඛ අභිනීහාර අප්පණාවෙහි ද උපචාරයෙහිද පවතී. පඤ්ඤා වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.