උප්පත්තානුප්පත්තිවාරවණ්ණනා
දෙවන වාරයෙහි කාම භවයෙහි යම් ධර්මයක් කාම ධාතුවෙන් හටගත් සත්ත්වයන්ගේ උත්පත්තිය කාමධාතුවට ඇතුළත් හෝ ඇතුළත් නොවන හෝ ඒ සියල්ල සංග්රහකොට කාමධාතුයා පඤ්චක්ඛන්ධො යනාදිය කියන ලදි. රූපධාතු ආදියෙහිද මෙම නයයි. යම්හෙයකින් රූප ධාතුවට ඇතුළත් සත්ත්වයින්ගේ ඝානයතනාදීගේ අභාවයෙන් ගන්ධායතනාදිය ආයතන කෘත්යය නොකරයි. එහෙයින් රූපධාතුයා ඡ ආයතනානි නව ධාතුයො යනාදිය කියන ලදි. යම්හෙයකින් අවකාශ වශයෙන් හෝ සත්වෝත්පත්ති වශයෙන් හෝ ඇතුළත් නොවන ධාතු නම් නැත. එහෙයින් අපරියාපන්න ධාතුයා යයි නොකියා ඒ ඒ අපරියාපන්න ඒ ඒ අවස්ථාවේ දැක්වීම සඳහා අපරියාපන්නෙ කති ඛන්ධා? යයි කියන ලදි.
පරියාපන්නාපරියාපන්නවාරවණ්ණනා
තුන්වන වාරයෙහි කාමධාතු පරියාපන්නා යයි කාම ධාතුව භජනය කරන අර්ථයෙන් පරියාපන්න වේ. එය නිශ්රිතව ඊට ඇතුළත්ව කාමධාතු සංඛ්යාවටම යන ලද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. පරියාපන්නා යනු භව වශයෙන් හා අවකාශ වශයෙන්ද සීමා කරන ලදි. අපරියාපන්නා යනු එසේ සීමා නැත.
ධම්මදස්සනවාරවණ්ණනා
සතරවන වාරයෙහි එකාදසායතනානි සද්දායතනය හැර එහි ඒකාන්තයෙන් ප්රතිසන්ධියක් නොඋපදී. මේ නයින් සියළු අර්ථය දතයුතු. සතුන් කෙරෙහි දෙවියන් ගේ අසුරයින් ගේ ගති වශයෙන් නොකියා විශේෂයක් නැතිව ගබ්භසෙය්යක යයි කියන ලදි. යම්හෙයකින් යම්තැන්වල ගබ්භසෙය්යකයන් පහළවෙත්ද ඒ තැන්වල ඔවුන්ගේ සත්වායතනයන් දැනගත යුතුය. ධාතුද එසේය. සෙසු අර්ථ ප්රකට අර්ථ වේ.
උප්පාදකකම්මආයුප්පමාණවාරවණ්ණනා
(1:) උප්පාදකකම්මං
පස්වන වාරයෙහි කියයුතු යමක් වේනම් ඒ සියල්ල ධම්මසංගහ අටුවාවේ කියන ලදමය. සයවන වාරයෙහි කාමගුණ පහේ නොයෙක් ආකාරයෙන් හෝ සෘද්ධි විශේෂයෙන් හෝ ක්රීඩා කෙරේනුයි දේවා නම් වේ. සම්මති දෙවා යනු දෙවියා දේවිය මෙසේ ලෝක සම්මුති දෙවියෝ. උප්පත්ති දෙවා යනු දෙව්ලොව උපන් හෙයින් උත්පත්ති දෙවියෝය. විසුද්ධි දෙවා යනු සියළු දෙවියන්ගේ පූජාවට සුදුසු වූ සියළු කෙලෙස්වලින් විසුද්ධ වූ දෙවියෝය. රාජානො යනු මුදුනෙහි අභිසේක කළ ක්ෂත්රියාය. දෙවියො යනු ඔවුන්ගේ මෙහෙසියෝය. කුමාරා යනු අභිසේක රජවරුන්ගේ අභිසේක කළ දේවියගේ කුසයෙහි උපන් කුමාරයා.
උපොසථ කම්මං කරිත්වා යනු තුදුස්වකාදියෙහි අටඟින් සමන්විත උපොසථය සමාදන්ව. දැන් කුඩා දානාදි පුණ්යකර්ම මිනිස් සුභගභාවය පිණිස ප්රත්ය ප්රමාණ වශයෙන් කරන ලදි. මිනිස් සුභගභාවය පිණිස අධි ප්රමාණයක්, අධිප්රමාණ භාවයෙහිද නානාප්රකාර භේදයෙන් යුත් නානාප්රකාර ක්ෂත්රිය මහාසාරාදි භාවයට ප්රත්ය වේ. එහෙයින් ඒ අනුව උත්පත්ති භේද දක්වමින් අප්පෙකච්චෙ ගහපති මහාසාළානං යනාදිය කීහ. එහි මහාසාර මොවුන්ටය මහාසාරා නම් වේ. රකාරයට ළ කාරය කොට මහාසාළා යයි කියන ලදි. ගෘහපතීහු ද මහාසාළ වෙති. ගහපති මහාසාළ යනු ඔව්හුය. යමෙකුගේ ගෙයි අඩු තරමින් සතළිස් කෝටියක ධනයක් නිධානගතව ඇත. කහවනු අමුණු පහක් දවසේ වියදම වේ. මේ ගහපති මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි අඩු තරමින් අසූකෝටියක ධනය නිධන්ගතව ඇත. දස අමුණක කහවනු දවසේ වියදම වේ. මේ බ්රාහ්මණ මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි කෝටි සියයක ධනයක් නිධන්ගතව ඇත. විසි අමුණක කහවනු දවසේ වියදම වේ. මේ ක්ෂත්රිය මහාසාළ නම් වේ.
සහබ්යතං යනු සහභාවයයි. සභාගව උපදියි යන අර්ථයයි. චාතුම්මහාරාජිකානං යනාදියෙහි චාතුම්මහාරාජික නම් මහාමේරු පර්වතයෙහි මැද වෙයි. ඒවා අතර පර්වත ස්ථාන ආකාශයෙහි ද ඇත. ඒවායේ පරම්පරා සක්වලගලට පැමිණ ඇත. ඛිඩ්ඩා පදොසිකා මනොපදොසිකා සීත වලාහකා උෂ්ණ වලාහකා චන්දිමා දේවපුත්ත සුරිය දේවපුත්ත මේ සියල්ලෝම චාතුම්මහාරාජික දේවලෝකවාසීහු වෙති.