5. තික තික පට්ඨාන වර්ණනාව
තික තික පට්ඨානයෙහි ද කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යයි ප්‍රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. මෙහි ද කුසලත්තිකය වෙදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදිය ද කුසලත්තිකයෙන්දැයි මෙසේ තිකවලම තික බහාලන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද, ඒවා පිරිහෙලා ලැබෙන වශයෙන්ම සියළු පච්චයවල වාර ද ගණන නය ද දක්වන ලදි. එහෙයින් ඒවා මනාව පෙළ පරීක්‍ෂාකොට දතයුතුය. කුසලත්තිකය වේදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදියද එය සමග යොදා දත යුතුය. එසේ එක එක තික සෙස්සෙන් සෙස්සද ඒවා සමග යොදා දතයුතුය.
තික තික පට්ඨාන නිමි.
6. දුක දුක පට්ඨාන වර්ණනාව
දුක දුක පට්ඨානයෙහි ද හෙතු සහෙතුකංධම්මං පටිච්ච හෙතු සහෙතුකොධම්මො උප්පජ්ජති හෙතු පච්චයා ප්‍රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. එහි හේතු දුක සහේතුක දුකාදියෙන් සහේතුක දුකාදිය ද එය සමග යොදන ලදි. එක එක දුක වනාහි සෙස්සෙන් සෙස්සද ඒවා සමග පිළිවෙලින් යෙදිය යුතුය. මෙය දුක දුක පට්ඨානය නම් දුකවලම දුක බහා දේශනා කරන ලදි. එයින් මෙය සියලු දුක සමග සියළු දුකවල යෙදීම දතයුතුය. පෙළ සංක්‍ෂේප කරන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද ඒවා පිරිහෙළා දේශනා කරන ලදි.
දුක දුක පට්ඨාන නිමි.
මෙපමණකින්
පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුකද යන මේ සය
සුගැඹුරු නයයි මේ - අනුලෝමයෙහි දක්වන
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්මානුලෝම පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත අනුලෝම පට්ඨානයම දතයුතුය.
අනුලෝම පට්ඨාන වර්ණනා නිමි.
7-12. පච්චනීය පට්ඨාන වර්ණනාව
දැන් කුසලාදි පද ප්‍රතික්‍ෂේප වශයෙන් පච්චනීය භාවයෙන් (විරුද්ධ භාවයෙන්) ලැබූ නම පච්චනීය පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදිය ආරම්භ කරන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයට පච්චයභාවය වළක්වයි. න කුසලො ධම්මො උප්පජ්ජති කුසලයේ උපත වළක්වයි. එහෙයින් අකුසල අබ්‍යාකත එක් ස්කන්ධයක් නිසා අකුසල අබ්‍යාකත ස්කන්ධ තුනක් චිත්ත සමුට්ඨාන රූපය යයි මේ ආදි නයින් මෙහි ප්‍රශ්නය විසඳිය යුතුය. ඒ ඒ පච්චයෙහි ලද ගණන වනාහි පෙළෙහි කියන ලද්දේමය. යම් වාර සමාන විසඳුම් වේද ඒවාද එහිම දක්වන ලදි. එහෙයින් මෙහි සියල්ල යට කියන ලද නයානුසාරයෙන් පෙළ පරීක්‍ෂා කොට දතයුතුය. මෙහි යම්සේද එසේ දුක පට්ඨානයෙහි දුකතික පට්ඨානයෙහි තිකදුක පට්ඨානයෙහි තික තික පට්ඨානයෙහි දුක දුක පට්ඨානයෙහි ද වේ.
මෙපමණකින්
පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුක ද යන මේවා
පසනිය සයෙහි නය - සුගැඹුරු ලෙසින් දන්නේ
අටුවාවෙහි කියන ගීයෙන් දක්වන ලදි. ධම්ම පච්චනීය පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත පච්චනීය පට්ඨානයම දතයුතුය.