6. දුක දුක පට්ඨාන වර්ණනාව
දුක දුක පට්ඨානයෙහි ද හෙතු සහෙතුකංධම්මං පටිච්ච හෙතු සහෙතුකොධම්මො උප්පජ්ජති හෙතු පච්චයා ප්‍රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. එහි හේතු දුක සහේතුක දුකාදියෙන් සහේතුක දුකාදිය ද එය සමග යොදන ලදි. එක එක දුක වනාහි සෙස්සෙන් සෙස්සද ඒවා සමග පිළිවෙලින් යෙදිය යුතුය. මෙය දුක දුක පට්ඨානය නම් දුකවලම දුක බහා දේශනා කරන ලදි. එයින් මෙය සියලු දුක සමග සියළු දුකවල යෙදීම දතයුතුය. පෙළ සංක්‍ෂේප කරන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද ඒවා පිරිහෙළා දේශනා කරන ලදි.
දුක දුක පට්ඨාන නිමි.
මෙපමණකින්
පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුකද යන මේ සය
සුගැඹුරු නයයි මේ - අනුලෝමයෙහි දක්වන
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්මානුලෝම පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත අනුලෝම පට්ඨානයම දතයුතුය.
අනුලෝම පට්ඨාන වර්ණනා නිමි.
7-12. පච්චනීය පට්ඨාන වර්ණනාව
දැන් කුසලාදි පද ප්‍රතික්‍ෂේප වශයෙන් පච්චනීය භාවයෙන් (විරුද්ධ භාවයෙන්) ලැබූ නම පච්චනීය පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදිය ආරම්භ කරන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයට පච්චයභාවය වළක්වයි. න කුසලො ධම්මො උප්පජ්ජති කුසලයේ උපත වළක්වයි. එහෙයින් අකුසල අබ්‍යාකත එක් ස්කන්ධයක් නිසා අකුසල අබ්‍යාකත ස්කන්ධ තුනක් චිත්ත සමුට්ඨාන රූපය යයි මේ ආදි නයින් මෙහි ප්‍රශ්නය විසඳිය යුතුය. ඒ ඒ පච්චයෙහි ලද ගණන වනාහි පෙළෙහි කියන ලද්දේමය. යම් වාර සමාන විසඳුම් වේද ඒවාද එහිම දක්වන ලදි. එහෙයින් මෙහි සියල්ල යට කියන ලද නයානුසාරයෙන් පෙළ පරීක්‍ෂා කොට දතයුතුය. මෙහි යම්සේද එසේ දුක පට්ඨානයෙහි දුකතික පට්ඨානයෙහි තිකදුක පට්ඨානයෙහි තික තික පට්ඨානයෙහි දුක දුක පට්ඨානයෙහි ද වේ.
මෙපමණකින්
පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුක ද යන මේවා
පසනිය සයෙහි නය - සුගැඹුරු ලෙසින් දන්නේ
අටුවාවෙහි කියන ගීයෙන් දක්වන ලදි. ධම්ම පච්චනීය පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත පච්චනීය පට්ඨානයම දතයුතුය.
පච්චනීය පට්ඨාන වර්ණනා නිමි.
13-18. අනුලෝම පච්චනීය පට්ඨාන වර්ණනාව
දැන් කුසලාදි ධර්මවල පච්චනීය ධර්මය ප්‍රතික්‍ෂේප නොකොට පච්චයුප්පන්නයේ කුසලාදි භාවය ප්‍රතික්‍ෂේප වශයෙන් ධර්මයන්ගේ අනුලෝම පච්චනීකතාවෙන් ලද නම අනුලෝම පච්චනීය පට්ඨානය දැක්වීමට කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා ආදිය අරඹන ලදි. එහි කුසලං ධම්මං පටිච්ච කුසලයේ පච්චයභාවය අනු දනී. න කුසලො ධම්මො උප්පජ්ජති කුසලයේම උපත වළක්වයි. එහෙයින් (කුසල් ස්කන්ධයන් නිසා චිත්ත සමුට්ඨාන රූප) කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං යනාදි නයින් විසඳීම දක්වන ලදි. ඒ සියල්ල පෙළ බලා මනාව සැලකිය යුතුය. යමක් යමක් හා සමානද යමක් යම්තැනක ලබයිද යමක් යම් විසඳුම්වල යම් පච්චයවල ගණන දක්වාද ඒ සියල්ල පෙළෙහි දක්වන ලදි. එහෙයින් පෙළෙහි ම මෙහි අර්ථය වේ. මෙසේ දුක පට්ඨාන ආදියෙහි ද.
මෙපමණකින්
‘පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තික තික - දුක දුක ද යන මේ සය
අනුලොම් පසනියෙහි - සුගැඹුරු නයයි දන්නේ
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්මානුලෝම පච්චනීය පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝමාදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත අනුලෝම පච්චනීය පට්ඨානයම දතයුතුය.
අනුලෝම පච්චනීය පට්ඨාන වර්ණනාව නිමි.
19-24. පච්චනීයානුලෝම පට්ඨාන වර්ණනාව
දැන් කුසලාදි ධර්මවල පච්චය ධර්ම ප්‍රතික්‍ෂේප කොට පච්චයුප්පන්නයෝ කුසලාදිභාවය ප්‍රතික්‍ෂෙප නොකිරීම් වශයෙන් ධර්මයන්ගේ පච්චනීයානුලෝමතාවෙන් පච්චනීයානුලෝම පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයේ පච්චයභාවය වළක්වයි. අකුසලො ධම්මො උප්පජ්ජති අකුසලයේ උපත අනුදනී. න කුසලය අකුසලය අබ්‍යාකතය හෝ, එය ද සහජාත පච්චය කොට උපදිනු ලබන කුසලයක් නම් නැත. එහෙයින් අකුසල අබ්‍යාකත වශයෙන් දේශනා කරන ලදි. එහි අකුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා න කුසල ධර්මය නිසා විසඳුම දතයුතුය. අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මේ ප්‍රශ්නය වනාහි විපාකාබ්‍යාකතය, කිරියාබ්‍යාකත එක ස්කන්ධයක් නිසා ස්කන්ධ තුන චිත්ත සමුට්ඨාන රූපයද යයි විසඳන ලදි. මෙසේ සියළු නො විසඳුණු ප්‍රශ්නවල අර්ථයට අනුරූපව විසඳුම විසඳන ලද්ද ද පෙළෙහි ආ ලෙසම විසඳීම. තික දුකේ එක එකෙහි වාර ප්‍රභේද පච්චය ගණන විධානය යන සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.