1. කුසලත්තික වර්ණනාව
1. පටිච්ච වාර වර්ණනාව
1. පච්චයානුලෝම වර්ණනාව
1. (1:) විභඞ්ගවාරො
දැන් මේ පණ්ණත්ති වාරයෙහි කුසලත්තිකය නිසා හේතු පච්චයාදි වශයෙන් එකුන්පනස් ආදිකොට නය මාත්‍රය දක්වන්නාහු විසින් අප්‍රමාණ පුච්ඡාවක් (විමසීම්) දක්වන ලදි. එහි කුසල අකුසල ආදින්ගේ එකට ඉපදීමේ අභාවයෙන් යම් විමසීමක ‘කුසල ධර්ම නිසා හේතුප්‍රත්‍යයෙන් අකුසල ධර්ම ඉපදේ’ යයි මෙසේ විසඳුමක් නොලැබේ. එය හැර යම් විසඳුමක් ලැබේ ද එයම විසඳීමට මේ කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදි නයින් පටිච්චවාරයේ නිද්දේස වාරය අරඹන ලදි.
එහි ඉදින් මේ හේතුපච්චයාදි වශයෙන් එකුන් පනසක් පුච්චා (විමසීම්) හැම අතින් විසඳුම නොලැබේ. ඉක්බිති කුමක් දක්වන ලදද? යමක් ලැබේ නම් එයම දැක්විය යුතුද? එසේම දැක්විය යුතු වේ. එසේ දක්වනු ලබන්නේ වනාහි සියළු තික දුක පට්ඨාන ආදියෙහි එක එක තිකයෙහි, දුකෙහි, දුක තිකයෙහි, තික දුකයෙහි, තික තිකෙහි, දුක දුකෙහි ද සංක්‍ෂේප නොකොට දැක්විය යුතුම වන්නාහ. කුමක් හෙයින්ද? යම්හෙයකින් යමක් කුසලත්තිකයෙහි ලබයිද එයම වෙදනාතත්තාදියෙහි ධම්මානුලෝම පච්චනීයෙහි ද තික පට්ඨානයෙහි විතක්ක තික පීති තිකයන්ගේ විසඳීමෙහි මේ සියළු විසඳීම නො ලබයි. එහෙයින් උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් එක එක තිකයෙහි යම් පමණ විමසීම් ප්‍රමාණයක් විය යුතුද, ඒ සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. මෙසේ දක්වන ලද ඒවායෙහි යම් විසඳුමක් නො ලැබේ ද, එය හැර යමක් ලැබේද එය කියනු ලැබීමෙන් පහසුවෙන් දැන ගැනීමට හැකිවේද, පහසුවෙන් දැනගැනීම සඳහා සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. යම් විසඳුමක් නොලැබේද, එය හැර යම් විසඳුමක් ලැබේද එයම විසඳුම යයි දතයුතුය.
එහි කුසලං ධම්මං පටිච්ච යයි චතුභූමක කුසල ධර්මවල වේදනාදි ස්කන්ධ භෙද එක් ධර්මයක් නිසා පිළිගෙන එකට ඉපදීම් සංඛ්‍යාත සමාන භාවයට පැමිණ එය සමග පවතින බවට එළඹීම යයි අර්ථ වේ. කුසලො ධම්මො යනු චතුභූමක කුසල ධර්මවලම සංඥා ස්කන්ධාදි භේද එක් ධර්මයකි. උප්පජ්ජති ඉපදීමේ සිට නිරෝධ ගමන දක්වා යයි උපදියි යනු අර්ථයයි. ආත්ම ලබයි. ඉපදීම් ආදි ක්‍ෂණ තුනට පැමිණේ යයි කියන ලද්දේ වේ. හෙතු පච්චයා කුසල හේතුවෙන් හේතුභාවය සාදන්නා විසින්
මෙසේ උපදින්නේදැයි විමසීම සඳහා ‘උපදී’ යයි විසඳීම කියා දැන් යම් ධර්මයක් නිසා යම් ධර්මයක් උපදී. ඒ ධර්මය ස්කන්ධ වශයෙන් දැක්වීමට කුසලං එතං ඛන්‍ධං යනාදිය කීහ. එහි එකං වෙදනාදි සතරෙන් යම්කිසි එකක් තසො ඛන්‍ධා යමක් පච්චයභාවයෙන් ගන්නා ලදද එය හැර අවසේස ස්කන්ධ තුනය. තයො ඛන්‍ධෙ වේදනාදියෙහි යම් එක් ස්කන්ධයක් උපදී යයි ගන්නා ලදද එය හැර සෙසු තුන. ද්වෙ ඛන්‍ධෙ වේදනා සඤ්ඤාදි දුක සයෙහි යම් කිසිවක්. ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා යමක් යමක් පච්චයභාවයෙන් ගන්නා ලද නම් ඒ එය හැර අවසේස ස්කන්ධ දෙක කුසල හේතුවෙන් හේතුපච්චයභාවය සාදමින් උපදී යයි අර්ථ වේ.
යම්හෙයකින් වනාහි එක් ස්කන්ධයක් එකක්ම, දෙකක්ම හෝ දෙකකට හෝ වනාහි එකක්ම පච්චය නම් නැත. එනිසා එක් ස්කන්ධයක් නිසා, එක් ස්කන්ධයකි. එක් ස්කන්ධයක් නිසා ස්කන්ධ දෙකකි. ස්කන්ධ දෙකක් නිසා එක් ස්කන්ධයකැයි නො කියන ලදි. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති යනාදියෙහි ද කියන ලද නයින්ම අර්ථය දතයුතුය. චිත්ත සමුට්ඨාන රූපං මෙය පටිච්ච අර්ථයේ සහජාත අර්ථය බැවින් කුසලයකින් යම් සහජාතයද හේතුපච්චය ද ලබයි. එය දැක්වීමට කියන ලදි. පසුවද මෙබඳු ස්වරූප ඇති තැන්වල මෙම නයම වේ.
විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං මෙහි හේතුපච්චය අභාවයෙන් අහේතුක රූපය සමග අනුප්පත්තියෙන් ආරුප්ප විපාකය ද නොගත යුතුයි. පටිසන්‍ධික්ඛණෙ යයි කටත්තා රූප සංඛ්‍යාත අබ්‍යාකතයේ අබ්‍යාකතය නිසා උත්පත්තිය දැක්වීම සඳහා කියන ලදි. විපාකාබ්‍යාකතං ඒ ක්‍ෂණයෙහි විද්‍යමාන අබ්‍යාකත වශයෙන් කියන ලදි. ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු වත්‍ථුං පටිච්ච ඛන්‍ධා මෙය කටත්තා රූප ගැනීමෙන් වස්තු ගත්කල්හි වස්තු නිසා ස්කන්ධයන්ගේ උත්පත්ති දැක්වීමට කියන ලදි.