67. අරිය ධම්ම විපාක කථා
දැන් අරියධම්ම විපාක කථා නම් වේ. එහි යමෙකුගේ ශ්‍රමණඵලය කෙළෙස් නැතිකිරීම සඳහා පමණය. චිත්ත චෛතසික ධර්ම සඳහා නොවේ යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යනු මාර්ග සංඛ්‍යාත ආර්ය ධර්මයේ විපාකය කෙලෙස් ක්‍ෂය කිරීමම පමණක් වූ ආර්ය ඵලය යයි ලබ්ධියෙන් ප්‍රතිඥාව පරවාදියාටය. සාමඤ්ඤං ශ්‍රමණභාවයයි. මෙය මාර්ගයට නමකි. ‘මහණෙනි, ඔබට සාමඤ්ඤය ද, සාමඤ්ඤ ඵලය ද දෙසමි.’ යයි කියන ලදී. බ්‍රහ්මඤ්ඤයෙහි ද මෙම නයයි.
සොතාපත්ති ඵලං න විපාකො යනාදියෙහි සෝවාන් මාර්ගාදියේ අපචයගාමී බව සඳහා ආර්ය ඵලවල අවිපාක බව පිළිගනී. දානපලාදිය ප්‍රතික්‍ෂේප කරයි. එය ආචයගාමින්ගේ අර්ථය මෙසේ දරයි :- විපාක සංඛ්‍යාත ආචය යයි, රැස්කළ බැවින් එය හෝ යයි යනු ආචයගාමිනො වේ. විපාකය විනාශ කරමින් යයි යනු අපචය ගාමිනො වේ. එහෙයින් මෙසේ පිළිගැනීම ද ප්‍රතික්‍ෂේප ද වේ.
කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමී යනාදිය විචාරීම පරවාදියාය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද සකවාදියාගේය. ලෞකික කුසලවිපාක චුති පටිසන්ධිය ද සසර ද රැස්කරමින් යන්නේනුයි ආචයගාමී වේ. ලෝකෝත්තර කුසලය චුති පටිසන්ධිය ද සසරද විනාශ කරමින් යන්නේය යනු අපචයගාමී වේ. මෙසේ මෙය විපාක සහිත වේ. අපචයගාමී වචනයෙන් පමණක් අවිපාක නොවේ. මෙහි මේ අර්ථය සකදාගාමි ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද දතයුතුය.
68. විපාක ස්වභාව ධර්ම කථා
දැන් විපාක විපාක කථා නම් වේ. එහි යමෙකුගේ විපාකය අඤ්ඤමඤ්ඤාදි ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. එහෙයින් විපාකය ද විපාකධම්ම ධම්ම යයි යමෙකුන්ගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. තස්ස විපාකො යනු ඔහුගේ විපාක ස්වභාව ධර්මයාගේ විපාකයේ යම් විපාකයක්. එයද ඒ විපාක ස්වභාව ධර්මය වේ යයි විචාරයි. පරවාදියා අනාගත විපාක දෙන බව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ඒ ප්‍රත්‍යය ද අනිත් විපාකයක නිපැත්ම සඳහා පිළිගනී. මෙසේ පවතින විට, කුසල අකුසලයන්ගේ මෙන් ඒ විපාකයේ ද විපාක වේ. ඒ විපාකයේ ද සසර සිඳ නො දැමීමට පැමිණේදැයි විචාරණ ලද්දේ සමය විරෝධ බියෙන් ප්‍රතික්‍ෂේප කරයි.
විපාකො වා යනාදියෙහි වචනවල ඉදින් විපාකයේ විපාක ස්වභාව ධර්මයෙන් එක් අරුතක් බව වන්නේය. කුසල අකුසල අව්‍යාකෘත එක් අරුත් බවට පැමිණෙන්නේය යන්න ප්‍රතික්‍ෂේප කරයි. විපාකොච විපාක ධම්මධම්මොච යන මෙහි අදහස මෙසේය. එය සිවු විපාක ස්කන්‍ධවල එක එකක් අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යවල ප්‍රත්‍යය අර්ථයෙන් විපාක ස්වභාව ධර්මය වර්තමාන අර්ථයෙන් ද විපාකය සිතන්නේ විපාකය විපාක ස්වභාව ධර්ම යයි විචාරණ ලද්දේ ආමන්තා යයි පිළිගනී. ඉක්බිති ඔහු සකවාදියා යම්හෙයකින් ඔබ විසින් ඒකක්‍ෂණයෙහි ස්කන්‍ධ සතරෙහි විපාකය ද විපාක ස්වභාව ධර්මය ද අනුදන්නා ලදී. එහෙයින් ඒවායේ සහගත ආදි බවට පැමිණේ යයි චෝදනා කිරීමට මෙසේ කීය. පරවාදියා කුසලාකුසල සංඛ්‍යාත විපාක ස්වභාව ධර්මය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. තඤ්ඤෙව අකුසලං යයි ඉදින් ඒ විපාක ස්වභාව ධර්මය යම් අකුසල් විපාකයක් නම් එය අකුසල් වේ. කුමක් හෙයින්ද? විපාක ස්වභාව ධර්මයන් එක්කළ බැවිනි. තඤ්ඤෙව කුසලං යනාදියෙහි ද මෙම නයම වේ.
අඤ්ඤමඤ්ඤ පච්චයා යන මෙය සහජාතයන්ගේ ප්‍රත්‍යය මාත්‍ර වශයෙන් කියන ලදී. ඒවායේ විපාක නැත. විපාක ස්වභාව ධර්ම ද නැත.
8. අටවෙනි වර්ගය
69. ගති කථා
දැන් ගතිකථා නම් වේ. එහි අසුරකාය සමග ගති හයකැයි යමෙකුන්ගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද උත්තරපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට සකවාදියා ‘සාරිපුත්‍රයෙනි, ගති වනාහි පහකි’ යයි ලෝමහංසන පරියායෙහි (ධර්මය විස්තර කරන පිළිවෙළ) පිරිසිඳ දැක්වූ ගතීන්ගේ වශයෙන් චෝදනා කිරීමට නනු පංචගතියො යනාදිය කීය. පරවාදියා සූත්‍ර විරෝධ බියෙන් පිළිගනී. එහෙයින් සකවාදියා ගති සය නොපිළිගන්නේ කුමක් හෙයින්ද? ‘චතූහපායෙහි ච විප්පමුත්තො’ (සිව් අපායෙන් මිදුණු) මෙහි අසුරකාය ද ගන්නා ලද්දේ නොවේද? නැත. වෙනම නැති හෙයිනි. අසුරකායෙහි කාකඤ්ජික අසුරයෝ ප්‍රේත ගතියෙහි සංග්‍රහ කරනු ලැබූහ. වෙපචිත්ති පිරිස දේව ගතියෙහි සංග්‍රහ කරනු ලැබූහ. අසුරකාය යයි එක් ගතියක් නම් වෙනම නැත.