63. පරිභොගමය පුඤ්ඤ කථා
දැන් පරිභෝගමය පුඤ්ඤකථා නම් වේ. එහි ‘තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති’ (ඔවුන් දිවා රෑ දෙකේම පින් වැඩේ) ද ‘යස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො’ (මහණෙනි, යම් භික්ෂුවක් සිවුර පරිභෝග කරන්නේ) මේ ආදි සූත්ර නුනුවණින් ගෙන යමෙකුගේ පරිභෝගමය පින ඇතැයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්ථික සම්මිතිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරිභොගමයං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු පින් නම් ඵස්සාදි කුසල් දහම්ය. එයින් පසුව නැත. එහෙයින් ඵස්සාදිය ඔබ වැඩිය යුතුයයි චෝදනා කිරීමට පරිභොගමයො ඵස්සො යනාදිය අරඹන ලදී. ඒ සියල්ල ප්රතික්ෂේප කරන ලද්දේ පරවාදියා විසින් නොවඩන ලද බැවිනි. ලතා විය මේ ආදි ක්රියාවෙන් හෝ භාවනාවෙන් හෝ වෙන්ව වැල් ආදිය තමාම වැඩේ. කිම ඔබගේ මෙසේ වැඩේදැ’යි චෝදනා පිණිස කියන ලදී. එසේ නොවැඩෙන බැවින් න හෙවං යයි ප්රතික්ෂේප කරන ලදී.
න සමන්නාහරති යන ප්රශ්නයෙහි ප්රතිග්රාහකයන්ගේ පරිභෝගයෙන් පළමු චේතනාව වැඩේ. මෙසේ එය පින වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. ඉන්පසු අනොවට්ටන්තස්ස ආදියෙන් විචාරණ ලද්දේ දායකයාගේ ත්යාග චේතනාව සඳහා ප්රතික්ෂේප කරයි. එහි අනාවට්ටන්තස්ස යනු දාන චේතනාවෙන් පෙර හැසිරෙන ආවර්ජනයෙන් භවාංගය නොවැටුණ. අනාභොගස්ස නිරාභෝගියාගේ. අසමන්නාහරන්තස්ස සමන්නාහර නොවූ (සිත එක අරමුණක නැති). ආවර්ජනයෙහි භවංගය සිඳ තමාගේ මාර්ගයෙහි උපදින දාන චේතනාව සිත එකඟ කරයි. සිතේ මේ කෘත්යයෙන් සිත එකඟ නොවූවහුට පින් වේදැයි විචාරයි. අමනසිකරොන්තස්ස මෙනෙහි නොකරන්නහුගේ. ආවර්ජනයෙන් අනතුරුව උපදින්නේ මෙනෙහි කිරීම නම් වේ. මෙසේ කරන්නහුගේ යන අර්ථයයි. කරණ වචනයෙහි මෙය ආධාරයි. අචෙතනස්ස චේතනා නූපදවන්නහුගේ. අපත්ථෙන්තස්ස ප්රාර්ථනා සංඛ්යාත ක-සල කැමැත්ත නොකරන්නහුගේ. අප්පණිදහන්තස්ස දාන චේතනා වශයෙන් සිත නො පිහිටුවන්නාගේ යන අර්ථය වේ. නනු ආවට්ටෙන්තස්ස වාරයෙහි. ආභොගස්ස සිතා බලන්නාගේ. එසේ නැතහොත් ආභොගය මොහුටය. ආභෝගය හෝ අනතුරුව එය පින් වේ යනු අර්ථය වේ.
ද්වින්නං ඵස්සානං යනාදියෙහි ද එකවිට දායකයාගේ ඵස්ස දෙකක අභාවයෙන් ප්රතික්ෂේප කරයි. දායකයාගේ ද පරිභෝග කරන්නාගේ දැයි දෙදෙනාගේ ඵස්සාදිය සඳහා පිළිගනී. තවද ඔවුන්ගේ පංච විඤ්ඤාණයන්ගේ එකතුවීම ඇතැයි ලබ්ධිය වේ. ඒ අනුව ද පිළිගනී. ඉන් ඔහුගෙන සකවාදියා ප්රශ්නයක් අසයි. එහිද කුසල අකුසලයන්ගේ එකවිට එක්කාසුවීමක් නොමැති හෙයින් ප්රතික්ෂේප කරයි. පරිභෝගමය සිත විප්රයුක්තව උපදීය යන ලබ්ධියෙන් පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා සූත්රයෙන් නිග්රහ කරයි.
සූත්ර සාධනයෙහි ආරාම රෝපකාදීන්ගේ අනුස්සරණ ප්රතිසංස්කරණාදියෙන් අතරතුර උපදින පින සඳහා යදා පුඤ්ඤං පවඩ්ඪති කියන ලදී. අප්පමාණෙ තස්ස පුඤ්ඤාභිසන්දො යන මෙය අප්රමාදව වාසය කරන්නහුට දෙන ලද ප්රත්යය බැවින් මෙබඳු වූ මාගේ සිවුර පරිභෝග කෙරේනුයි අනුමෝදනා වශයෙන් ද කියන ලදී. හේ එය පරිභෝගමය යයි සලකයි. යම්හෙයකින් ප්රතිග්රාහකයකු විසින් පිළිගෙන පරිභෝග නොකරන ලද දේය ධර්මයෙහි ද පින වේමය. එහෙයින් සකවාදි වාදයම බලවත් වේ. එහි පටිග්ගාහකෙ පටිග්ගහිතෙ යන පදයේ ප්රතිග්රාහකයකු විසින් පිළිගන්නා ලදැයි අර්ථය දතයුතුය. සෙස්ස පැහැදිලිය.
64. ඉතොදින්න කථා
දැන් ඉතොදින්න කථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං’ වචන නිසා මෙයින් යම් චීවරාදියක් දෙන ලද ද එයින්ම යැපෙති යන ලබ්ධිය යම්සේ රාජගිරික සිදධත්ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඉතො දින්නෙන යන විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. නැවත චීවරාදි වශයෙන් අනුයුක්ත වූයේ ප්රතික්ෂේප කරයි. අඤ්ඤො අඤ්ඤස්ස කාරකො අන්යයන්ට විපාක දෙන කර්මවල කාරකයා අනිකෙකි. තමාම තමාගේ කර්මය නොකරයි. යනු කියන ලද්දේ වේ. මෙසේ විචාරණ ලද්දේ පරවාදියා සූත්ර විරෝධ භයෙන් ප්රතික්ෂේප කරයි. දානං දෙනතන්ති දානය දෙන්නේ දැක යන අර්ථය වේ. එහි යම්සේ තමාගේ අනුමෝදන්වීම නිසා එහි භෝග උපදී. එහෙයින් මේ කාරණයෙන් ඔහුගේ ලබ්ධිය පිහිටවූයේ ද නොපිහිටියේම වේ. ඔහු මෙයින් දෙන වස්තුවෙන් නො යැපෙති. සෙසු සූත්ර සාධනවල ද මෙම නයම වේ.
65. පඨවි කම්මවිපාක කථා
දැන් පඨවි කම්ම විපාක කථා නම් වේ. එහි යම්සේ ‘අත්ථි ඉස්සරිය සංවත්තනියං කම්මං ආධිපච්ච සංවත්තනියං කම්ම’ යයි මෙහි ඉසුරුමතුන්ගේ සම්පත්, අධිපතීන්ගේ අධිපති බව නමි. පෘථිවි ඓශ්චර්ය, ආධිපත්ය පමුණුවන කර්මය ඇතැයි කියන ලදී. එහෙයින් ඇතමෙකුගේ පඨවිය කර්ම විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයගේ මෙනි. ඔවුන් සඳහා පඨවී යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව ඉතිරි අයටය. සසුඛවෙදනීයා යනාදි කර්මවිපාක ස්වභාව දර්ශන වශයෙන් කියන ලදී. ඵස්සො හොති යනාදී නයින් නිර්දිෂ්ට විපාකවල ස්පර්ශය සැප වේදනාදි ප්රභේද වේ. එයද සංඥාදිය ද සැප වේදනාවලින් යුක්ත වූ වේදනාදිය සංඥාදියෙන් සියළු අරමුණු සහිත වේ. ඒවායේ පෙර හැසිරුණු ආවට්ටනාදි සංඛ්යාත ආවර්ජනා ද ඇත. චේතනා කර්ම ප්රත්ය වේ. යමක් එහි ඉෂ්ට විපාක වේ. ඔහුගේ ප්රාර්ථනා ප්රණිධාන වශයෙන් පවතින මූල තෘෂ්ණාවය. ඔබගේ මෙබඳු වූ පඨවියදැයි අසයි. පරවාදියා ප්රතික්ෂේප කරයි. ප්රතිලෝම විචාරීම් පැහැදිලිය.