50. ඵලෙ ඤාණ කථා
දැන් ඵල ඤාණ කථා නම් වේ. එහි බුදුවරයෝ ද සත්ත්වයින්ගේ ආර්යඵල ප්‍රාප්තිය සඳහා දහම් දෙසති. ශ්‍රාවකයෝ ද එසේ දේශනා කරති. මෙසේ මේ සමානකමින් බුදුවරුන්ගේ මෙන් ශ්‍රාවකයන්ගේ ද ඒ ඒ සතුන් පැමිණවිය යුතු ඵලයෙහි ඤාණය ඇතැයි ඇතමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සාවකස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඉදින් ශ්‍රාවකයාගේ ඵලයෙහි ඤාණය ඇතැයි, බුදුවරුන් මෙන් සමාන වේ නම්, සෝවාන් පලයෙහි, තමාගේ ඤාණ බලයෙන් මේ ඒකබීජිය, මේ කෝලංකෝලය, මේ සත්තක්‍ඛත්තුපරම යයි ඔහුගේ පලාවබෝධය පනවන්නාහ. කිම ඔබගේ ශ්‍රාවකාය ද යයි චෝදනා පිණිස සාවකො ඵලස්සකතං පඤ්ඤාපෙති යයි කීය. පරවාදියා ප්‍රතික්‍ෂේප කරයි.
අත්‍ථි සාවකස්ස ඵලපරොපරියත්ති යනාදි ඵලයෙහි ඤාණය ඇති බව ප්‍රත්‍ය විචාරීම සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. බුදුවරුන්ගේ මේ ඵලය හීනය. මේ ඵලය පළමුවය. මෙසේ ඵලයන්ගේ උසස් පහත්භාවය දැනීම් සංඛ්‍යාත ඵලයෙහි පරොපරියත්ති නම් නුවණක් ඇත. එසේ ඉන්‍ද්‍රිය, පුග්ගල පරොපරියත්ති උන්වහන්සේලාට ඇති බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ ඉන්‍ද්‍රිය වශයෙන් ඒ ඒ ඵල දනිති. කිම ඔබගේ ශ්‍රාවකයාට ද මේ පරොපරියත්ති තිබේද?
අත්‍ථි සාවකස්ස ඛන්‍ධ පඤ්ඤත්ති යනාදිය ද ඉදින් ඔබේ ශ්‍රාවකයාට බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය ඇත්ද? මෙය ඔහුගේ පැමිණීම විය යුතුය. කිම උන්වහන්සේට මෙය තිබේද? මෙම පැණවීම් තමාගේ ඵලයෙන් දැනගැනීමට හෝ පැණවීමට ඔහුට/ ශ්‍රාවකයාට හැකිවේ යයි චෝදනා පිණිස කියන ලදී. සාවකො ජිනොති ආදිය ඉදින් ශ්‍රාවකයාට බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය ඇත. මෙසේ ඇති කල්හි හෙතෙමේ ම ජින වේයයි චෝදනා පිණිස කියන ලදී. සාවකො අනුප්පන්නස්ස යන ප්‍රශ්නයෙහි ද මෙම නයයි. අඤ්ඤාණී යන ප්‍රශ්නයෙහි අවිද්‍යා සංඛ්‍යාත අඤ්ඤාණයේ විනාශය නිසා ප්‍රතික්‍ෂේප කරයි. උන්වහන්සේට (ශ්‍රාවකයාට) බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය නැත. එහෙයින් පරවාදියාගේ වාදය නොපිහිටියේමය.
පස්වෙනි වර්ගය නිමි.
මහා පණ්ණාසකය නිමියෙය.
6. සයවන වර්ගය
51. නියාම කථා
දැන් නියාම කථා නම් වේ. එහි නියාම යනු ‘සුදුසු’ කුසල ධර්මයන්හි සුදුසු බවට පැමිණීමට සමත් යන වචනයෙන් ආර්ය මාර්ගය කියයි. යම්හෙයකින් ඉපදී නිරුද්ධ වූ කල්හි ද පුද්ගලයෙක් අනියත නම් නොවේ. එහෙයින් හෙතෙමේ නියම වේ. නිති අරුතින් අසංඛත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එයින් ඉදින් හෝ අසංඛත වේ නම් මෙබඳු ස්වරූපයෙන් ඔහු විය යුතු යයි දක්වන්නේ නිබ්බානං යනාදිය කීය. සංසන්දන විමසීම නොගැඹුරුය.
අත්‍ථි කොවී යනාදිය නියාමයේ සංඛතභාවය දැක්වීමට කියන ලදී. මග්ගො අසංඛතො යන ප්‍රශ්නයෙහි ඔහුගේ ඉපදීම් නිරුද්ධවීම් භාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නියාමො සංඛතො යන ප්‍රශ්නයෙහි මාර්ගය නිරුද්ධ වූයේද නියාමයේ ඇතිව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සොතාපත්ති නියාමො යනාදී ප්‍රශ්නවලද අනුලෝම වශයෙන් ද ප්‍රතිලෝම වශයෙන් ද මෙම නයින්ම අර්ථය දතයුතුය. පඤ්ච අසංඛතාති යයි විචාරණ ලද්දේ පංච අසංඛතයන්ගේ පැමිණි ස්ථානයක් නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ සතර සම්මත නියමයන්ගේ නියාම වචනයෙන් නිවණේ ද අසංඛත භාවයෙන් පිළිගනී. මිච්ඡත්ත නියාම ප්‍රශ්නය නියාම වචන මාත්‍රයෙන් අසංඛත බවේ අයුතු බව දැක්වීම සඳහා කියන ලදී.
52. පටිච්ච සමුප්පාද කථා
දැන් පටිච්ච සමුප්පාද කථා නම් වේ. එහි යමෙකුගේ නිදාන වර්ගයෙහි ‘තථාගතයන්ගේ ඉපදීම හෝ තථාගතයන්ගේ නො ඉපදීම හෝ ඒ ධාතු සිටියේම ධර්මය ස්ථිත යයි ආදි වචනයෙන් පටිච්ච සමුප්පාදය අසංඛත යයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බ සේලියන්ගේ සහ මහිංසාසකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.