196. ධම්ම කථා
දැන් ධම්ම කථා නම් වේ. එහි යම්හෙයකින් රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියතය. එය ස්වභාවය අත් නොහරී. එහෙයින් සියළු ධර්ම නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා සබ්බෙ ධම්මා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ නියතය, මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය හෝ වේද, මෙයින් අන්ය වූ නියතයක් නම් නැතැයි චෝදනා කිරීමට මිච්ඡත්ත නියතා යනාදිය කීය. එහි ප්රතික්ෂේපය ද ප්රතිඥාව ද පරවාදියාටය. රූපං රූපට්ඨෙන යම් අර්ථයකින් නියත යයි කියයි. ඒ අනුව චෝදනා කිරීමට කියන ලදී. එහි අදහස මෙසේය. රූපය රූපාර්ථයෙන් නියතයයි රූපය රූපයම වේ. වේදනාදි ස්වභාවයෙන් යයි නොකිව යුතුය. මෙයින් අන්යාකාරයකින් ද නොකිව යුතුය. කුමක් හෙයින්ද, රූපාර්ථයෙන් අන්ය රූප නැති නිසා. රූප ස්වභාවය රූපාර්ථයයි. රූප ස්වභාවය ද රූපයම වේ. රූපයෙන් අනිකක් නොවේ. වේදනාදියෙන් වනාහි නා නා පැණවීම් සඳහා මේ ව්යවහාරයම වේ. එහෙයින් රූපය රූපාර්ථයෙන් නියතයයි කියමින් රූපය නියත යයි කියන ලද්දේ වේ. නියතය මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය වන්නේය. මෙයින් අන්ය වූ නියමයක් නම් නැත. ඉක්බිති කුමක් හෙයින් පිළිගනීද, අර්ථ අන්තර වශයෙනි. රූපං රූපට්ඨෙන නියතං යන මෙහි රූපය රූපයම වේ. මේ අර්ථයෙන් වේදනාදි ස්වභාවය නොවේ. එහෙයින් පිළිගනී. මෙයින් අන්ය වූ නියත බවක් නැත. නැවත ඒ නයින්ම චෝදනා කිරීමට මිච්ඡත්ත නියතං යනාදිය කීය. ඒ සියල්ල පැහැදිලි වේ. එයින් රූපං යන ලබ්ධිය ද අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේ වේ.
197. කම්ම කථා
දැන් කම්ම කථා නම් වේ. එහි යම්හෙයකින් දිට්ඨධම්ම වේදනාදිය දිට්ඨ ධම්ම වේදනාදියෙන් නියත වේ. එහෙයින් සියළු කර්ම නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඔවුන්ගේම මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. දිට්ඨධම්ම වෙදනියට්ඨෙන නියතං යන මෙහි දිට්ඨධම්ම වෙදනිය දිට්ඨධම්ම වෙදනියම වේ. ඉදින් මේ ආත්මයේම විපාක දීමට හැකිවේ නම් දෙයි. නොඑසේ නම් අහෝසි කර්ම නම් වේයයි මෙම අර්ථය සඳහා ප්රතිඥාව සකවාදියාටය. මිච්ඡත්ත සම්මත්ත නියාම වශයෙන් මෙය අනියතම වේ. සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
එක් විසිවැනි වර්ගය නිමියේය.
22. දෙවිසි වැනි වර්ගය
198. පරිනිබ්බාන කථා
දැන් පරිනිබ්බාන කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ සර්වඥ විෂයෙහි සංයෝජන අප්රහීනවම පිරිනිවන්පාති. එහෙයින් කිසියම් සංයෝජන ඇතිවම පිරිනිවන් පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුවය.
199. කුසල චිත්ත කථා
දැන් කුසල චිත්ත කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ සිහිය විපුලභාවයට පැමිණ පිරිනිවන් පාන්නේ ද? සති සම්පත්තියෙන්ම පිරිනිවන්පාති. එහෙයින් කුසල සිත පිරිනිවන්පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් කුසල සිත නම් පුඤ්ඤාභිසංඛාර අභිසංඛරණ වශයෙන් වේ. එහෙයින් ඒ අර්ථයෙන් චෝදනා කිරිමට අරහා පුඤ්ඤාභිසංඛාරං යනාදිය කීය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය. සතො සම්පජානො යන මෙය ජවන ක්ෂණයෙහි කිරිය සති සම්පජන්ය වශයෙන් නුමුළා මරණ දැක්වීම සඳහා කියන ලදී. කුසල සිත දැක්වීම සඳහා නොවේ. එහෙයින් අසාධක වේ.
200. ආනෙඤ්ජ කථා
දැන් ආනෙඤ්ජ කථා නම් වේ. එහි භාග්යවතුන් වහන්සේ චතුර්ථ ධ්යානයෙහි සිටියේ පිරිනිවන්පෑහයි සලකා රහතන් වහන්සේ ආනෙඤ්ජයෙහි සිට පිරිනිවන් පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. පකති චිත්තෙ යනු භවංග සිතෙහි. සියළු සංඥී සත්ත්වයෝ භවංග සිතේ සිටියාහු භවංග අවසානයේ චුති සිතින් කළුරිය කරති. මෙසේ ඔහුට මේ අර්ථයෙන් චෝදනා කිරීමට මෙසේ කීය. එහි චතුවෝකාර භවයෙහි රහතන් වහන්සේගේ ප්රකෘති සිත ද ආනෙඤ්ජ වේ. මේ ප්රශ්නය වනාහි පංචවෝකාර භව වශයෙන් උදුරන ලදී. නො වත රෙ වත්තබ්බෙ යයි ද කීය. මෙහි සෙස්ස පැහැදිලිය.