191. අවිවිත්ත කථා
දැන් අවිවිත්ත කථා නම් වේ. එහි යම් පුද්ගලයෙකුගේ යම් ධර්මයක් වර්තමාන වේද, හේ එයින් යුක්ත වේ යනු ඒ සමයෙහි නිශ්චයයි. යම්හෙයකින් පෘථග්ජනයා විසින් ත්රෛභූමික ධර්ම අවබෝධ නොකරන ලදී. එහෙයින් හේ ඒකක්ෂණයෙහිම සියළු ත්රෛධාතු ධර්මවලින් යුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාගේය. ප්රතිඥාව අනෙකාගේය. ඵස්සෙහි යනාදි සියළු ස්පර්ශාදීන්ගේ ඒකක්ෂණයේ පැවැත්මේ දෝස දැක්වීම සඳහා කියන ලදී. සෙසු සියළු තැන ප්රකටය.
192. සඤ්ඤොජන කථා
දැන් සංයෝජන කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ හැම බුද්ධ විෂයම නොදනිති. එහෙයින් උන්වහන්සේට එහි අවිජ්ජා විචිකිච්ඡා අප්රහීන විය යුතුය යන සංඥාවෙන් කිසි සංයෝජනයක් ප්රහානය නොකොට රහත්බවට පැමිණියේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අත්ථි කිඤ්චි සක්කාය දිට්ඨි යනාදිය රහතුන්ගේ සියළු සංයෝජන ප්රහානය දැක්වීම සඳහා කියන ලදී. සච්චං බුද්ධ විසයං යන ප්රශ්න දෙකේ රහතුන් සර්වඥ ඤාණ භාවයෙන් ප්රතිසේධනය කරන ලදී. අවිජ්ජා විචිකිච්ඡාවල අප්රහානයෙන් නොවේ. අනෙක් ඒවායේ අප්රහීනතා සඳහා තෙනහී යයි ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේම වේ.
193. ඉද්ධි කථා
දැන් ඉද්ධි කථා නම් වේ. ඉද්ධි නම් මෙය කිසිතැන සමෘද්ධ වේ. කිසිතැන සමෘද්ධ නොවේ. අනිත්යාදියේ නිත්යාදි කරණය ඒකාන්තයෙන් සමෘද්ධ නොවේ. සභාග සන්තතිය විසභාග සන්තති කිරීම හෝ සභාග සන්තති වශයෙන්ම චිර කලක් පැවැත්වීම හෝ යමෙකුගේ ප්රයෝජනය සඳහා කරනු ලැබේ, ඔවුන්ගේ ප්රත්යාදි කරුණු නිසා කිසිවක් සමෘද්ධ වේ. භික්ෂූන්ගේ ප්රයෝජනය සඳහා පැන් ගිතෙල් කිරි ආදිය කිරීම මෙන් මහාධාතු නිදහසේ පහන් ආදියේ බොහෝ කලක් පැවැත්වීම මෙන් ද මෙය ස්ව සමයෙහි සනිටුහනය. ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙර රජුගේ මාළිගය රන් වේවයි අදිටන් කළේය. ඒ නිසා අධිප්පාය ඉද්ධි ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්වකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්ථි අධිප්පාය ඉද්ධි යයි විචාරීම සකවාදියාටය. එහි අධිප්පාය ඉද්ධි යනු අභිප්රායෙන් ඉද්ධි වේ. අදහසෙහි සමෘද්ධිය වන ඍද්ධිය යන අර්ථය වේ. ආමන්තා යයි ලබ්ධිය මත සිට ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට අනිත්යදියේ නිත්ය බව යෙදීමට නිච්ච පණ්ණා රුක්ඛා හොන්තු යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය. ලබ්ධිය පිහිටුවීමේ සුවණ්ණා ච පනාසි යයි රජුගේ පින නිසා විය. හුදෙක් තෙරුන්ගේ අධිප්පායෙන්ම නොවේ. එහෙයින් සාධක නොවේ.
194. බුද්ධ කථා
දැන් බුද්ධ කථා නම් වේ. එහි ඒ ඒ කාලවල ශරීර වෙනස්බව ආයු වෙනස්බව ප්රභා වෙනස්බව හැර සෙසු බුද්ධ ධර්මයෙන් බුදුවරුන්ගේ බුදුබව කෙරෙහි හීන අතිරේකතා නම් නැත. යමෙකුගේ වනාහි අවිශේෂයෙන් ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්ථි බුද්ධානං යයි විචාරීම සකවාදියාගේය. ප්රතිඥාව අනෙකාගේය. ඉක්බිති ඔහු බුද්ධ ධර්මයෙහි යෙදවීමට සතිපට්ඨානතො යයි කීය. අනිකා ඒ ආදි වශයෙන් හීනන්ති රෙකතා නොදක්නේ ප්රතික්ෂේප කෙරේමය.
195. සබ්බදිසා කථා
දැන් සබ්බදිසා කථා නම් වේ. එහි සතර දිසාවල යට උඩ වටේ ලෝක ධාතුවල සන්නිවාස වේ. සියළු ලෝකධාතුවල බුදුවරු සිටිති. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. පුරත්ථිමාය යයි විචාළේ ශාක්යමුනි සඳහා ප්රතික්ෂේප කරයි. නැවත විචාළේ ලබ්ධි වශයෙන් අන්ය ලෝකධාතුවේ සිටීම සඳහා පිළිගනී. කිං නාමො සො භගවා යනාදිය ඉදින් ඔබ නොදන්නෙහිද? නාමාදි වශයෙන් ඔහු කියන්න යයි චෝදනාව පිණිස කියන ලදී. මේ උපායෙන් සියළු තැන අර්ථ දතයුතුය.
196. ධම්ම කථා
දැන් ධම්ම කථා නම් වේ. එහි යම්හෙයකින් රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියතය. එය ස්වභාවය අත් නොහරී. එහෙයින් සියළු ධර්ම නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා සබ්බෙ ධම්මා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ නියතය, මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය හෝ වේද, මෙයින් අන්ය වූ නියතයක් නම් නැතැයි චෝදනා කිරීමට මිච්ඡත්ත නියතා යනාදිය කීය. එහි ප්රතික්ෂේපය ද ප්රතිඥාව ද පරවාදියාටය. රූපං රූපට්ඨෙන යම් අර්ථයකින් නියත යයි කියයි. ඒ අනුව චෝදනා කිරීමට කියන ලදී. එහි අදහස මෙසේය. රූපය රූපාර්ථයෙන් නියතයයි රූපය රූපයම වේ. වේදනාදි ස්වභාවයෙන් යයි නොකිව යුතුය. මෙයින් අන්යාකාරයකින් ද නොකිව යුතුය. කුමක් හෙයින්ද, රූපාර්ථයෙන් අන්ය රූප නැති නිසා. රූප ස්වභාවය රූපාර්ථයයි. රූප ස්වභාවය ද රූපයම වේ. රූපයෙන් අනිකක් නොවේ. වේදනාදියෙන් වනාහි නා නා පැණවීම් සඳහා මේ ව්යවහාරයම වේ. එහෙයින් රූපය රූපාර්ථයෙන් නියතයයි කියමින් රූපය නියත යයි කියන ලද්දේ වේ. නියතය මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය වන්නේය. මෙයින් අන්ය වූ නියමයක් නම් නැත. ඉක්බිති කුමක් හෙයින් පිළිගනීද, අර්ථ අන්තර වශයෙනි. රූපං රූපට්ඨෙන නියතං යන මෙහි රූපය රූපයම වේ. මේ අර්ථයෙන් වේදනාදි ස්වභාවය නොවේ. එහෙයින් පිළිගනී. මෙයින් අන්ය වූ නියත බවක් නැත. නැවත ඒ නයින්ම චෝදනා කිරීමට මිච්ඡත්ත නියතං යනාදිය කීය. ඒ සියල්ල පැහැදිලි වේ. එයින් රූපං යන ලබ්ධිය ද අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේ වේ.