14. දුක්‍ඛහාර කථා
දැන් දුක්‍ඛහාර කථා නම් වේ. එහි දුක් දුක්යයි වචන කියන්නේ දුක්වල ඤාණය ගෙන එයි. එය දුක්‍ඛාහාර යයි කියනු ලැබේ. එයද වනාහි ඒ මාර්ග අංගය මාර්ග පරියාපත්ත (ඇතුළත්) යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන පුබ්බසෙලිය මෙනි. ඔවුන් සඳහා දුක්‍ඛාහාරො යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. යෙ කෙචි යයි පළමුවන ප්‍රශ්නයෙහි නොදක්නහු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි දක්නහු සඳහා පිළිගනී. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. එහෙයින් සබ්බෙ තෙ යයි වාදයේ බිඳීමට බාල පුථුජ්ජනා යනාදිය කීය.
15. චිත්තට්ඨිති කථා
දැන් චිත්තට්ඨිති කථා වේ. එහි යමෙකුගේ සමාපත්ති සිත මෙන්ම භවාංග සිත ද නොසිඳීමෙන් පවත්නා බව දැක එකම සිත කලක් සිටී යයි ලබ්ධිය, දැන් යට කියන ලද භේද ඇති අන්ධකයින්ගේ ඒ ලබ්ධි විශෝධනය පිණිස එක චිත්තං දිවසං තිට්ඨති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. උපඩ්ඪදිවසො උප්පාදඛණො යයි මෙහි ඨිති ක්‍ෂණය නොගෙන ‘අනිච්චා වත සංඛාරා උප්පාද වයධම්මිනො’ යන දේශනා නයින් උප්පාද ව්‍යය වශයෙන් විචාරණ ලදී.
තෙ ධම්ම චිත්තෙන ලහුපරිවත්තො යයි විචාරණ ලද්දේ සිත් වශයෙන් වහා පෙරලෙන දහම නොදන්නේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ යමෙකුගේ සිතේ දිගුපැවැත්මක් කැමති වෙයි. ඒ සඳහා පිළිගනී. යාවතායුකං තිට්ඨති යන ප්‍රශ්නයෙහි ‘කල්ප අසූ ලක්‍ෂයක් සිටිති යම් දෙවියෝ’ ආදි වචන වශයෙන් ආරුප්පයෙන් අන්තැනක ප්‍රතික්‍ෂේප කරයි. ආරුප්පයෙහි (අරූපාවචර ලෝකවල) පිළිගනී. මුහුත්තං මුහුත්තං උප්පජ්ජති ප්‍රශ්නයෙහි පරවාදියාට ‘උප්පාද වය ධම්මිනො’ යයි ආදි සූත්‍ර විරොධ භයෙන් පිළිගනී. ඨිතිය වනාහි ඔහුගේ ලබ්ධි වශයෙන් කැමති වේ. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
16. කුක්කුළ කථා
දැන් කුක්කුළ කථා නම් වේ. එහි ‘මහණෙනි, සියල්ල ඇවිල ගන්නා ලදී. සියළු සංස්කාර දුක් වේ’ ආදි සූත්‍ර කල්පනා නොකර ගෙන වෙනසක් නැතිව සියළු සංස්කාර කුක්කුළ නරකයෙහි මෙන් පහවූ ගිනිඅඟුරු ඇති මිශ්‍ර වූ උනු අළු සමාන යයි ලබ්ධිය, යම්සේ දැන් ගෝකුලිකයන් මෙනි. ඔවුන්ගේ නොයෙක් ආකාර සැප සංසන්දනයෙන් ඒ ලබ්ධිය විවේචනය සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එහි අනොධිං කත්‍වා යනු සීමාවක් නොකොට අවිශේෂයෙන් සියල්ලම යන අර්ථය වේ. සෙසු සියල්ල පෙළ වශයෙන්ම සූත්‍ර සාධනය ද සමග දතයුතුය.
17. අනුපුබ්බාභිසමය කථා
දැන් අනුපූර්ව අභිසමය කථා නම් වේ. එහි යමෙකුගේ:
ටික ටික සැණ විසින් - නුවණැත්තා පිළිවෙළින්
රිදියෙහි සිපි ලෙසින් - තම මල බැහැර ලන්නේ
ආදි දේශනා නුනුවණින් ගෙන සෝවාන්පලය අවබෝධ කිරීම සඳහා පිළිපන්නේ ඇතැම් කෙලෙස් දුක් දැකීමෙන් අත්හරියි. ඇතැම් කෙලෙස් සමුදය නිරෝධ මාර්ග දැකීමෙන් අත්හරියි. සෙස්ස ද මෙසේ සොළොස් කොටසකින් පිළිවෙළින් කෙලෙස් ප්‍රහානය කොට රහත්වීම වෙයි. මෙබඳු වූ නොයෙක් අවබෝධ ලබ්ධිය ඇතිවිය. දැන් අන්ධක, සර්වාස්තිවාදි, සමිමිතිය, භද්‍රයානිකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධි විවේචනයට අනුපුබ්බාති සමයො යයි විචාරීම සකවාදියාය. ප්‍රතිඥාව පරවාදියාටය. අනුපුබ්බෙන සොතාපත්ති මග්ගං යයි විචාරණ ලද්දේ එක මගකට බොහෝ ආකාර පැමිණීම බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ දුක්‍ඛ දර්ශන වශයෙන් පිළිගනී. ඒවා හෝ සතර ඤාණය ද එකම සෝවාන් මාර්ගයයි පිළිගනී. පලය වනාහි එකක්ම කැමති වේ. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. සකදාගාමි මාර්ග ආදියේ ද මෙම නයම වේ.