180. තථතා කථා
දැන් තථතා කථා නම් වේ. එහි යමෙකුගේ රූපාදි සියළු ධර්මයන්ගේ රූපාදිභාව සංඛ්‍යාත තථතා නම් ඇත. එයද සංඛත රූපාදියෙහි ඇතුළත් නොවන බැවින් අසංඛත යයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කියන ලද නය අනුව ප්‍රකටය.
181. කුසල කථා
දැන් කුසල කථා නම් වේ. එහි අනවද්‍ය කුසලය ඉෂ්ට විපාක වේ. අනවජ්ජ යනු කෙළෙස් විප්‍රයුක්ත වේ. මේ නය හැර අකුසලය සියළු ධර්ම භජනය කරයි. ඉෂ්ට විපාකය නම් මතු උපත්වල ඉෂ්ටපල නිපදවන පින වේ. මේ නය කුසල ත්‍රිකයෙහි මුල් පදම භජනය කරයි. යමෙකුගේ වනාහි මේ විභාගය නොගෙන අනවජ්ජභාව මාත්‍රයෙන්ම නිවන කුසල යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන්ගේ ඉෂ්ට විපාක අර්ථයෙන් නිවනෙහි කුසල් අභාවය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කී නය අනුව පැහැදිලිය.
182. අච්චන්ත නියාම කථා
දැන් අච්චත්ත නියාම කථා නම් වේ. එහි ‘යමෙකුගේ වරක් ගිලුනේ ගිලුනේම වේ. සූත්‍රය නිසා පෘථග්ජනයාට අත්‍යන්ත නියාමයක් ඇතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මාතුඝාතකො යනාදි නියත මිථ්‍යාදෘෂ්ටිකයාට ද මාතුඝාතකාදින්ට සමානව මිච්ඡත්ත නියාමයෙහි මාතුඝාතකාදීන් අත්‍යන්ත නියතයෙන් යයි චෝදනා කිරිමට කියන ලදී. අනෙකා නියත මිථ්‍යාදෘෂ්ටිකයා සසර කනුවක්ව භවාන්තරයෙහි ද නියතය. මෙහි වනාහි එක ආත්මභාවයකැයි ලබ්ධියෙන් න හෙවං ප්‍රතික්‍ෂේප කරයි.
විචිකිච්ඡා උප්පජ්ජෙය්‍ය යන මෙය නියත හෝ නොවේ හෝ මෙසේ උපදින්නේ යයි විචාරයි. අනෙකා නොඉපදීමට කරුණු නොදක්නේ පිළිගනී. නූපජ්ජෙය්‍ය යයි විචාරණ ලද්දේ යම් දෘෂ්ටියක් සේවනය කරන්නේ නියාමයට බැසගන්නේ එහි නොඉපදීම සඳහා පිළිගනී. එයින් පහිනා යයි විචාළේ මාර්ගයෙන් අප්‍රහීන බැවින් ප්‍රතික්‍ෂේප කරයි. ඒ දෘෂ්ටිය අරබයා නොපැවැත්ම වශයෙන් පිළිගනී. ඉක්බිති ඔහුට යම්හෙයකින් ප්‍රහානය නම් ආර්ය මාර්ගයෙන් හැර නැත. එහෙයින් එයින් චෝදනා කිරීමට සෝතාපත්ති මග්ගෙන යනාදිය කීය. හේ එක මගකින්වත් අප්‍රහීන බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත කතමෙන යයි විචාළේ මිථ්‍යා මාර්ගය සඳහා අකුසලෙන යනාදිය කීය.
උච්ඡෙද දිට්ඨි උප්පජ්ජෙය්‍ය යයි දෙවන නියාම උපත විචාරයි. අනෙකා යම්හෙයකින් ‘යෙපි තෙ උක්කණ්ණවස්ස අඤ්ඤා නත්‍ථික වාදා අකිරිය වාදා අහෙතුක වාදා’ යන වචනයෙන් තිදෙනාම නියත මිථ්‍යාදෘෂ්ටික බැවින් එකට උපදී. එහෙයින් පිළිගනී.
ඉක්බිති ඔහුට හේ නව නාම වේ. අත්‍යන්ත නියමයයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. අත්‍යන්ත නියතයාට දෙවන නියාමය නිරර්ථකය. නුප්පජ්ජෙය්‍ය යන ප්‍රශ්නයෙහි ශාස්වත දෘෂ්ටියෙන් ශාස්වත යයි යමක් ගන්නා ලදද එයම උපදින්නේ යයි ගෙන අනුප්‍රාප්තිය සඳහා පිළිගනී. පහීනා යයි විචාළේ මාර්ගයෙන් අප්‍රහීන බැවින් ප්‍රතික්‍ෂේප කරයි. කියන ලද නයින් නොඉපදීමෙන් පිළිගනී. සස්සත දිට්ඨි උප්පජ්ජෙය්‍ය යනාදියෙහි ද මෙම නයම වේ. සෙස්ස විචිකිච්ඡා චාරයෙහි කියන ලද නයමය.
න වත්තබ්බං යයි විචාරය පරවාදියාගේය. සූත්‍රයේ ඇති බැවින් ප්‍රතිඥාව සකවාදියාගේය. හේ භවාන්තරයේ ද ගිලුනේ නොවේ. මේ භවයේම නුසුදුස්සෙකි. හේ එම දෘෂ්ටිය අත්හරින්නට යයි මෙහි අදහස වේ. එහෙයින් මෙය සාධක නොවේ. සියළු කාලයේ මතුවී ගිලේ යයි වචන මාත්‍රයෙන් තීරණයකට නොඑළඹ අර්ථය සෙවිය යුතුයයි දැක්වීමට කියන ලදී.