177. සුඤ්ඤතා කථා
දැන් ශූන්යතා කථා නම් වේ. එහි සුඤ්ඤතා යයි අනාත්ම ලක්ෂණ ස්කන්ධ ද නිවනදැයි ශුන්යතා දෙකකි. ඒවායින් අනාත්ම ලක්ෂණය එක් ආකාරයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේ. නිවන අපරියාපන්න වේ. මේ විභාගය නොගෙන ශුන්යතාව සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අනිමිත්ත යනු සියළු නිමිති රහිත නිවනයි. අප්රණිහිත යනු ඊටම නමකි. කුමක්හෙයින් ගෙනෙන ලදද? අවිභජ්ජ වාදයෙහි දෝෂාරෝපනය සඳහා. යමෙකුගේ නොබෝදා ශුන්යතාව ඒකදේශයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් යයි ලබ්ධිය වේ. ඔහුගේ නිවන ද සංස්කාර ස්කන්ධයට ඇතුළත් බවට පැමිණේ. මේ දෝෂාරෝපනය සඳහා අනිමිත්ත අප්පණිහිතං ගෙනෙන ලදී. අනෙකා ඒ ඇතුළත් බව නොකැමැත්තේ ප්රතික්ෂේප කරයි. සංඛාරක්ඛන්ධො න අනිච්චො යනාදි නිවන් සංඛ්යාත ශූන්යතාවේ අනිත්යභාවයට පැමිණි දෝෂ දර්ශනය සඳහා කියන ලදී.
සංඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා යනාදි අන්ය ස්කන්ධයේ ශුන්යතාව අන්ය ස්කන්ධයට ඇතුළත් වේ. සංස්කාර ස්කන්ධ ශුන්යතාව ද සෙසු ස්කන්ධවලට ඇතුළත් විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. සංඛාරක්ඛන්ධ සුඤ්ඤතා න වත්තබ්බ යනාදි ඉදින් සංස්කාර ස්කන්ධ ශූන්යතාව සෙසු ස්කන්ධවලට ඇතුළත් නොවේ යයි ප්රතිලෝම දර්ශනය සඳහා කියන ලදී.
සුඤ්ඤමිදං භික්ඛවෙ සංඛාරා යන සූත්රය පරසමයෙන් ගෙනෙන ලදී. එහි සංඛාරා යනු සබ්බෙ සංඛාරා අනිච්චා යි පැමිණි තැන මෙන් පංචස්කන්ධයයි. එයද ආත්මයට අයත් ශූන්යතා බව ශූන්යතා යයි සාසනාවචර වේ. විරුද්ධ නොවේ. එහෙයින් අනුඥාතය. යම්හෙයකින් මේ ශුන්යතාවෙන් සංස්කාර ස්කන්ධ පරියාපන්නභාවය දක්වයි. එහෙයින් අසාධක වේ.
178. සාමඤ්ඤඵල කථා
දැන් ශ්රමණ ඵල කථා නම් වේ. එහි මාර්ග වීථියද ඵලසමාපත්ති වීථිය ද ආර්ය මාර්ගයේ විපාක සිත ශ්රමණ ඵලයයි ස්ව සමයෙහි නිශ්චය වේ. එසේ නොගෙන යමෙකුගේ ක්ලේශ ප්රහානය ද ඵලයට පැමිණීම ද ශ්රමණඵලය වේ. එහෙයින් අසංඛත ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුව පෙළ පැමිණවිය යුතුය.
179. පත්ති කථා
දැන් පත්ති කථා නම් වේ. එහි යමක් ලබයිද, ඒ ඒ ලාභ පත්ති නම් වේ. එය ද අසංඛතයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කියන ලද නය අනුව පෙළ අනුවම පැමිණවිය යුතුය. න වත්තබ්බං යනාදි යම් ලබ්ධියකින් පත්ති අසංඛත යයි හඟීද, එය ප්රකාශ කිරිමට කියන ලදී. එහි සකවාදියා න හෙවං වත්තබ්බෙ යයි ප්රතික්ෂේප කරන්නේ හුදෙක් පත්තියේ රූපාදිභාවය නොපිළිගනී. පත්ති කිසි ධර්මයක් නැත. අසංඛතභාවය නො අනුදනී. අනෙකා වනාහි ප්රතික්ෂේප මාත්රයෙන්ම අසංඛතයයි ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේමය.
180. තථතා කථා
දැන් තථතා කථා නම් වේ. එහි යමෙකුගේ රූපාදි සියළු ධර්මයන්ගේ රූපාදිභාව සංඛ්යාත තථතා නම් ඇත. එයද සංඛත රූපාදියෙහි ඇතුළත් නොවන බැවින් අසංඛත යයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කියන ලද නය අනුව ප්රකටය.
181. කුසල කථා
දැන් කුසල කථා නම් වේ. එහි අනවද්ය කුසලය ඉෂ්ට විපාක වේ. අනවජ්ජ යනු කෙළෙස් විප්රයුක්ත වේ. මේ නය හැර අකුසලය සියළු ධර්ම භජනය කරයි. ඉෂ්ට විපාකය නම් මතු උපත්වල ඉෂ්ටපල නිපදවන පින වේ. මේ නය කුසල ත්රිකයෙහි මුල් පදම භජනය කරයි. යමෙකුගේ වනාහි මේ විභාගය නොගෙන අනවජ්ජභාව මාත්රයෙන්ම නිවන කුසල යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන්ගේ ඉෂ්ට විපාක අර්ථයෙන් නිවනෙහි කුසල් අභාවය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කී නය අනුව පැහැදිලිය.