163. න වත්තබ්බං සංඝො භුඤ්ජති කථා
දැන් සංඝයා වළඳයි යනු නො කිවයුතු කථා නම් වේ. එහිද මාර්ගවලම සංඝයා වේ. ඒවා කිසිවක් අනුභව නොකරයි. එහෙයින් සංඝයා වළඳයි. බොයි. කයි. රසවිඳියි යනු නො කිවයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා නො වළඳන්නේ නම් සංඝ භත්තාදිය නිරරර්ථක වන්නේ යයි චෝදනා කිරීමට නනු අත්ථි කෙචි සංඝභත්තාදීනී කරත්දැයි යනාදිය කීය. ගණ භොජනං යනාදි ඉදින් සංඝයා නො වළඳන්නේ නම් ඔවුන්ට භෝජනාදිය නොවන්නේ යයි චෝදනාව සඳහා කියන ලදී. අට්ඨපානානි මෙයද ඉදින් සංඝයා පානය නොකරන්නේ නම් මේ පානයන්, අනුදැන වදාළේ කාටදැයි චෝදනාව පිණිස කියන ලදී. මෙහිද සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
164. සංඝයාට දෙන ලද්ද මහත්ඵලයයි නොකිවයුතු කථා
දැන් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවේය යන කථා වේ. එහිද මාර්ගඵල සංඝ නම් වේ. ඒවාට කිසිවක් දීමට හැකි නොවේ. ඒවාට පිළිගැනීමට හැකි නොවේ. දීමෙන් ඒවා කිසි උපකාරයක් බලාපොරොත්තු නොවේ. එහෙයින් සංඝයාට දෙන දේ මහත්ඵලයයි නො කිවයුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්යයන් මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ආහුණෙය්යො යනාදි ඉදින් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවන්නේ නම් බුදුහු මෙසේ ප්රශංසා නොකරන්නාහයි දැක්වීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව යොදාගන්න.
165. බුදුරදුන්ට දුන් දේ මහත්ඵලයයි නොකිවයුතු කථා
දැන් බුදුරදුන්ට දෙන ලද්ද මහත්ඵල යයි නොකිවයුතු කථා නම් වේ. එහි භාග්යවත් බුදුන් වහන්සේ කිසිවක් නොවළඳති. ලෝකයට අනුවර්තනය වීම සඳහා වළඳන්නාක් මෙන් තමන්වහන්සේ දක්වති. එහෙයින් නිරූපනාකාරය බැවින් උන්වහන්සේ දෙන ලද්ද මහත්ඵල යයි නොකිවයුතු යනු යමෙකුගේ ලබ්ධිය වේ. මෙසේ වෛතුල්යයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. දිපදානං අග්ගො ආදි මනුස්ස දුස්සීලයන්ට ද දෙන දානය දහස් ගුණයක් විපාක වේ. මෙබඳු වූ අග්ර පුද්ගලයකු යයි දැක්වීම සඳහා කියන ලදී. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
166. දක්ඛිණා විසුද්ධි කථා
දැන් දක්ෂිණා විසුද්ධි කථා නම් වේ. එහි ඉදින් ප්රතිග්රහණයෙන් දක්ෂිණාව පිරිසිදු වේනම් මහත්ඵල වන්නේය. දායකයා විසින් දානය දෙන ලදී. ප්රතිග්රාහකයා විසින් විපාකය නිපදවන ලදී යයි අන්යයෙක් අන්යයෙකුගේ කරන්නා වන්නේය. අනුන් කළ සුවදුක් පැමිණෙන්නේය. අනෙකෙක් කරන්නේය. අනෙකෙක් විඳින්නේය. එහෙයින් දීමෙන්ම දානය පිරිසිදු වේ. ප්රතිග්රහණයෙන් නොවේ. මෙහි දායකයාගේම, විසුද්ධියෙන් විපාක දීම වේයයි ඇතමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ආහුණෙය්යා යනාදි ඉදින් ප්රතිග්රහණයෙන් දානය පිරිසිදු නොවේ නම් ආහුණෙය්යාදි භාවය කුමක් කරන්නේදැයි දැක්වීමට කියන ලදී. අඤ්ඤො අඤ්ඤස්ස කාරකො ඉදින් දායකයාට දාන චේතනා ප්රතිග්රාහකයා විසින් කළා වන්නේය. ප්රතිග්රාහක සංඛ්යාත වස්තුව නිසා ඔහුගේ දාන චේතනාව පිරිසිදු වී මහා විපාක අර්ථයෙන් පිරිසිදු කරයි. එහෙයින් ප්රතිග්රහණයෙන් දානය පිරිසිදු නොවේයයි චෝදනාව අචෝදනම වේ.
සතළොස්වන වර්ගය නිමියේය.
18. අටළොස්වැනි වර්ගය
167. මනුස්ස ලෝක කථා
දැන් මනුස්ස ලෝක කථා නම් වේ. එහි ‘භාග්යවතුන් වහන්සේ ලෝකයෙහි උපන්හ. ලෝකයෙහි වැඩුණාහ. ලෝකයෙන් නො ඇලී ලෝකය මැඩ වාසය කරති’ යන සූත්රය අනුවණින් ගෙන භාග්යවතුන් වහන්සේ තුසිත භවනයෙහි උපන්හ. එහිම වාසය කරති. මනුෂ්ය ලෝකයට නොපැමිණෙති. නිර්මිත රූපය පමණක් මෙහි දක්වති යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන් වෛතුල්යයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට විචාරීමෙන් ද සූත්ර සාධනයෙන් ද දැක්වීමට නනු අත්ථි යනාදිය කීය. ලොකෙ ජාතො පරවාදියා තුසිත පුරය සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ විසින් මනුෂ්ය ලෝකයම සඳහා ලෝකං යයි කියන ලදී. ලොකං අභිභුය්ය යයි පරවාදියා මනුෂ්ය ලෝකය අභිභවනය කොට දෘෂ්ටියෙන් කියයි. ශාස්තෲන් වහන්සේ වනාහි අරමුණු ලෝකය මැඩ වාසය කළහ. අනුපලිත්තො ලොකෙන පරවාදියා මනුෂ්ය ලෝකයෙහි නො ඇලීම සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ ලෝක ධර්මයෙහි කෙළෙසුන්ගෙන් නො ඇලී වාසය කළහ. එහෙයින් මෙය අසාධකය.