140. ආසව කථා
දැන් ආසව කථා නම් වේ. එහි යම්හෙයකින් ආශ්රවවලින් මත්තෙහි අනිත් ආශ්රවයක් නම් නැත. යමකින් ආශ්රව සතර සාසව වන්නේය. එහෙයින් සතර ආසව අනාසව වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ ආසව අනාසව වේ. මෙසේ ඇති කල්හි ඒවා මාර්ගාදි ලක්ෂණයට පැමිණියා සෙයින් විය යුතුයයි චෝදනා කිරීමට මග්ගො යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය.
141. ජරාමරණ කථා
දැන් ජරාමරණ කථා නම් නම් වේ. එහි ජරාමරණ අපරිනිෂ්පන්න බැවින් ලෞකික යයි හෝ ලෝකෝත්තර යයි හෝ නොකිව යුතුය. ‘ලොකියා ධම්මා ලොකුත්තරා ධම්මා’ යන දුකයෙහි ජරාමරණ ලෞකික පදයෙහිවත් ලෝකෝත්තර පදයෙහිවත් දක්වා නැත. එහි යමෙකුගේ මේ ලක්ෂණය නොගෙන ලෝකෝත්තර ධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවයි.
142. සඤ්ඤා වෙදයිත කථා
දැන් සඤ්ඤාවෙදයිත කථා නම් වේ. එහි සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති නම් කිසියම් ධර්මයක් නැත. සතර ස්කන්ධයන්ගේ නිරෝධයයි. මෙසේ එය ලෞකික නොවේ. ලෝකෝත්තර නොවේ. යම්හෙයකින් වනාහි ලෞකික නොවේ නම් එහෙයින් ලෝකෝත්තර වේ යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම් හේතූවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.
143. දුතිය සඤ්ඤාවෙදයිත කථා
දැන් යම්හෙයකින් එය ලෝකෝත්තර නොවේ නම් එහෙයින් ලෞකික වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස පෙර හා සමාන වේ.
144. තතිය සඤ්ඤාවෙදයිත කථා
දැන් යම්හෙයකින් අසවල් දෙය මරණ ධර්මය, අසවල් දෙය මරණ ධර්ම නොවේ යයි සත්ත්වයින්ගේ මරණ ධර්මතාවයේ නියමයක් නැතැයි සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුනේ ද කලුරිය කරන්නේය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ මෙනි. මරණ ධර්මතාවේ මරණ සමයද නොමැරෙණ සමය ද දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්සේ කළුරිය කරන්නාට නම් මරණාසන්නයේ ඵස්සාදියෙන් විය යුතුය. එහෙයින් ඒ ආකාරයෙන් චෝදනා කිරීමට අත්ථි යනාදිය කීය.
අඵස්සකස්ස කාලකිරියා යනාදිය විචාරණ ලද්දේ සෙසු සතුන් සඳහා ප්රතික්ෂේප කරයි. විසං කමෙය්යා යනාදිය විචාරණ ලද්දේ සමාපත්ති ආනුභාවය සඳහා ප්රතික්ෂේප කරයි. දෙවන වාරයෙහි ශරීර ප්රකෘතිය සඳහා පිළිගනී. මෙසේ ඇති කල්හි සමාපත්ති ආනුභාවයක් නැත. එයින්ම ඔහු න නිරොධ සමාපන්නො යයි යෙදේ.
න කාලංකරෙය්ය යයි විචාරීම පරවාදියාටය. අත්ථි සො නියාමො යයි පරවාදියාගේ ප්රශ්නයෙහි මෙබඳු වූ නියාමයක් නම් නැත. එනිසා ප්රතික්ෂේප කරයි. චක්ඛු විඤ්ඤාණ සමංගී යනාදි සකවාදියා විසින් නියාමය නැති කල්හිද මැරෙන කාලයෙහිම මැරෙයි. අකාලයෙහි නොවේ යයි දැක්වීමට කියන ලදී. එහි අදහස මෙසේය. ඉදින් නියමයක් නොවීමෙන් මරණය වන්නේ නම් චක්ඛු විඤ්ඤාණය සමග වන්නේය. එයින් ‘පංච විඤ්ඤාණවලින් චුත නොවෙයි, නො උපදියි’ යන සූත්ර විරෝධය වන්නේය. යම්සේ චක්ඛු විඤ්ඤාණය සමග කාලකිරියා නොවේ නම් එසේ නිරෝධ සමාපන්නයාගේ ද වේ.
145. අසඤ්ඤ සත්තුපිකා කථා
දැන් අසඤ්ඤසත්තුපිකා කථා නම් වේ. එහි සංඥා විරාග වශයෙන් පවත්වන භාවනාව අසංඥ සමාපත්තිය ද නිරෝධ සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති නම් වේ. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති දෙකකි. එහි ලෞකිකය පෘථග්ජනයා පිළිබඳ අසඤ්ඤසත්තුපිකා නම් වේ. ලෝකෝත්තරය ආර්යයනට වේ. එය නාසඤ්ඤ සත්තුපිකා වේ. මේ විභාගය නොකොට අවිශේෂයෙන්ම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති අසඤ්ඤසත්තුපිකා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් අසඤ්ඤ සමාපත්තියට සමවැදුනහුට අලෝභාදිය ඇත. නිරෝධ සමාපත්තිය නැත. එහෙයින් ඒවායින් චෝදනා කිරීමට අත්ථි යනාදිය කීය.