132. පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
දැන් පරියුත්‍ථානය චිත්ත විප්‍රයුක්ත යයි කථා නම් වේ. එහි අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන්නාට ද රාගාදිය උපදී. මෙය කියන ලදී. ‘භාරද්වාජය, එක් දිනක අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමියි සුභ වශයෙන්ම මෙනෙහි කරයි’. එහෙයින් පරියුට්ඨානය චිත්ත විප්‍රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේමය.
133. පරියාපන්න කථා
දැන් පරියාපන්න කථා නම් වේ. එහි යම්හෙයකින් කාමරාගය කාමධාතුවේ නිද්‍රා අවස්ථා වේ. කාමධාතුවේ ඇතුළත් යයි ද කියනු ලැබේ. එහෙයින් රූප අරූප රාගය ද රූප ධාතු අරූප ධාතුවල නිද්‍රාවේ සිටී. රූප ධාතු අරූප ධාතු පරියාපන්න වේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද සමමිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූප රාගො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි අනුසෙති යයි යම්සේ කාමරාගය කාම විතර්ක සංඛ්‍යාත කාමධාතුව සහජාත වශයෙන් නිදයි. කිම ඔබගේ රූප රාගය රූප ධාතුදැයි විචාරයි. පරියාපන්න යයි යම්සේ ඒ ත්‍රිවිධ වූ කාමධාතුවේ ක්ලේශකාම වශයෙන් ඇතුළත් වූ බැවින් කාමධාතු පරියාපන්න වේ. කිම ඔබගේ මෙසේ රූප රාගය ද රූපධාතු පරියාපන්නදැයි විචාරයි. අනිකා වනාහි අදහස නො සලකන්නේ හුදෙක් ලබ්ධි වශයෙන් ආමත්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට එම අර්ථය සලසාලන්නට කුසල විපාක කිරිය සංඛ්‍යාත සමාපත්ති ආදියෙන් සසඳා විචාරීමට සමාපත්තෙසියො යනාදිය කීය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවෙයි. නනු කාමරාගො යනාදි වචනය ද කාමරාගයේම කාමධාතුවේ අනුසය බවද ඇතුළත් බවද දක්වයි. ඉතිරිවා ඉතිරි ධාතුවල නොවේ.
134. අඛ්‍යාකත කථා
දැන් අව්‍යාකෘත කථා නම් වේ. විපාක කිරිය රූප නිබ්බාන සංඛ්‍යාත චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් අව්‍යාකෘත යයි කියන ලදී. දෘෂ්ටිගත වූ ‘වච්ඡය, ලෝකය ශාස්වතය. මෙය අව්‍යාකෘතය’ යයි ශාස්වතාදි භාවයෙන් නොකියන ලද බැවින් යමෙකුගේ වනාහි මේ විභාගය නොගෙන පෙර අව්‍යාකෘතය මෙන් දෘෂ්ටිගතයා ද අව්‍යාකෘත යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ ද උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන්ගේ ඒ විභාගය දැක්වීමට දිට්ඨිගතං අඛ්‍යාකතං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවා ගනී.
135. අපරියාපන්න කථා
දැන් අපරියාපන්න කථා නම් වේ. එහි යම්හෙයකින් ධ්‍යානලාභී පෘථග්ජනයා කාමවල පහවූ රාග ඇත්තේ යයි කිවයුතු වේ. එසේ වුවත් පහ වූ දෘෂ්ටි නොවේ. එහෙයින් දෘෂ්ටිය අපරියාපන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
තුදුස්වන වර්ගය නිමි.
15. පසළොස් වන වර්ගය
136. පච්චය කථා
දැන් පච්චය කථා නම් වේ. එහි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. යමක් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේද, එයම යම්හෙයකින් ආරම්මණ අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවේ. යමක් ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේද, එයම යම්හෙයකින් අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවේ. එහෙයින් ප්‍රත්‍යභාවය විකල්පයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පැමිණවිය යුතුය.
137. අඤ්ඤමඤ්ඤ පච්චය කථා
දැන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි නමුත් සංස්කාර ප්‍රත්‍යයෙන් අවිද්‍යා නැත. එහෙයින් අවිද්‍යාවම සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ. අවිද්‍යාවට සංස්කාර ප්‍රත්‍ය නොවේ යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අවිද්‍යා සංස්කාරාදීන්ගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යබව ද ඇතැයි දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අවිජ්ජා සංඛාරෙන යයි මෙහි අපුඤ්ඤාභි සංඛාරම ගන්නා ලදී. එහෙයින් සංඛාර පච්චයා අවිජ්ජා යන මෙහි සහජාත අඤ්ඤමඤ්ඤ අත්‍ථි අවග්ගත සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍යභාවය දතයුතුය. උපාදාන පච්චාපි තණ්හා යන මෙහි කාම උපාදානය හැර සෙසු උපාදාන තුන අවිද්‍යාවට සංස්කාර මෙන් තණ්හාවට ප්‍රත්‍ය වේයි දතයුතුය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. ජරාමරණ පච්චයා විචාරීම පරවාදියාටය. නාමරූපං විඤ්ඤාණ පච්චයා යයි විචාරීම සකවාදියාටය.