123. ආශ්වාදන කථා
දැන් සමාපන්න වූයේ ආශ්වාදනය කෙරේ යයි කථා නම් වේ. එහි පළමු ධ්‍යානයට සමවැදී වාසය කරයි. හේ එය ආශ්වාදනය කෙරේ යයි ආදි වචන නිසා සමාපන්න ආශ්වාදනය කරයි. එය ඔහුගේ ධ්‍යාන ආශාව යයි ධ්‍යාන අරමුණ වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපන්නො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. තං ඣහං තස්ස ඣානස්ස ආරම්මණං යන ප්‍රශ්නවල එයම ඒ අරමුණ නොදක්නේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්‍ෂේප කරයි. ‘තදස්සාදෙති’ වචන මාත්‍රයෙන් පිළිගනී. සො තං අස්සාදෙති යන සූත්‍රය ධ්‍යානලාභියා ධ්‍යානයෙන් නැගිට ධ්‍යාන ආශ්වාදය සාධයි. සමාපත්තිය තුළදීම ධ්‍යාන ආශාව ධ්‍යාන අරමුණු බව නොවේ. එහෙයින් සාධක නොවේ.
124. අසාත රාග කථා
දැන් අසාත රාග කථා නම් වේ. එහි ‘යං කිංචි වෙදතං වෙදෙති සුඛං වා දුක්‍ඛං වා අදුක්‍ඛමසුඛං වා සො තං වෙදනං අභිනන්‍දති අභිවදති’ (යම්කිසි සැප හෝ දුක් හෝ අදුක්‍ඛමසුඛ හෝ වේදනාවක් විඳීද හෙතෙම ඒ වේදනාවට සතුටු වේ. ප්‍රකාශ කරයි.) යන සූත්‍රයෙහි මෙලොව වශයෙන් සතුටුවීම කියන ලදී. අභිනන්‍දති යන වචනය නිසා දුක්වේදනාවේ ද රාග ආශ්වාද වශයෙන් සතුටු වේ. එනිසා ආසාත රාගය ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි ඔවුන් සඳහා අත්‍ථි අසාත රාගො විචාරීම සකවාදියාටය. එහි අසා රාග යනු දුක්වේදනා විඳින කල්හි අහෝ මට මෙය වන්නේ යයි ඇලීම. ආමන්තා යයි ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය.
සො තං වෙදනං අභිනන්‍දති යන සූත්‍රයෙහි වෙනස්වී දුක්වේදනාව අරබයා රාගය ඉපදීමක් නම් නැත. සමූහ වශයෙන් ගැනීමෙන් වනාහි විදීම් ලක්ෂණ වූ ධර්මය දුක්වේදනාවම හෝ ආත්ම වශයෙන් බලන්නේ දිටු හැඟීම් වූ දුටු අභිනන්‍දනයෙන් සතුටු වේ. දුකින් වෙනස්වන වේදනාවෙන් සතුටු නොවේ. දුක් වේදනාවෙන් යුක්ත වූ ඊට ප්‍රතිපක්‍ෂ වූ කාම සුව පතන්නේ දුක් වේදනාව සතුටු වේ. මෙසේ දුක් වේදනාවෙන් සතුටුවේ යන අදහසයි. එනිසා මේ අසාත රාගය අසාධක වේ.
125. ධම්ම තණ්හා අබ්‍යාකතා කථා
දැන් ධම්ම තණ්හා අඛ්‍යාකතා කථා නම් වේ. එහි රූප තෘෂ්ණාව -පෙ- ධර්ම තෘණා යයි මේ තෘෂ්ණා සයේ යම්සේ සියල්ලටම පසු තෘෂ්ණාව ධර්ම තෘෂ්ණා යයි කියන ලදී. එහෙයින් එය අව්‍යාකෘත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙසු ප්‍රශ්නවල පෙළෙන් අර්ථය පමුණුවයි. කාම තෘෂ්ණාදි කොටස් තුනෙන් තෘෂ්ණා සය හකුළුවා දක්වන ලදී. රූපාදි අරමුණු සයෙහි කාමාශ්වාද වශයෙන් පවතිනා තෘෂ්ණාව කාම තෘෂ්ණා වේ. ආත්මය ද ලෝකය ද යයි ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. නොවන්නේ යයි උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණාව විභව තෘෂ්ණා වේ. නනු සා ධම්ම තණ්හා යන පද තෘෂ්ණාවෙන් ධර්ම අරමුණු අරබයා පැවතීම දක්වයි. අව්‍යාකෘතභාවය නොවේ. එහෙයින් සාධක නොවේ.
126. ධම්ම තණ්හා න දුක්‍ඛ සමුදයොති කථා
දැන් ධර්ම තෘෂ්ණාව දුක්‍ඛ සමුදය නොවේය කථා නම් වේ. එහිද යම්හෙයකින් එය ධර්ම තෘෂ්ණාව යයි කියන ලදී. එහෙයින් දුක්‍ඛ සමුදය නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පෙරකථාව හා සමාන වේ.
තෙළෙස්වැනි වර්ගය නිමයි.
14. තුදුස්වන වර්ගය
127. කුසලාකුසල පටිසන්‍ධාන කථා
දැන් කුසල අකුසල ප්‍රතිසන්ධි කථා නම් වේ. එහි අකුසලයේ කුසල හෝ කුසලයේ අකුසල හෝ අනතුරුව ඉපදීමක් නම් නැතැයි ඒවායේ අන්‍යොන්‍ය ප්‍රතිසන්ධානය නො යෙදේ. යම්හෙයකින් යමෙක් වනාහි එක් වස්තුවකම ඇලීම ද නො ඇලීම ද වේ. එහෙයින් එය අන්‍යෝන්‍යව නැවත ගලපයි යන ලබ්ධිය ගෙන සිටී. මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අවාට්ටනා පණිධි යයි ආවජ්ජන දෙකටම නමකි. ඒ භවංගය පෙරලේය ආවට්ටනා වේ. භවංග අරමුණකින් වෙනත් අරමුණක සිත පිහිටයි තබයි යනු පණිධි වේ. කුසලං ආවට්ටන්තස්ස යයි යම් ඒ අකුසලයට අනතුරුව නැවත ගලපන කුසලය උපදී. එය නොපෙරලී උපදීදැයි අසයි. අනිකා ආවර්ජනය හැර කුසලයේ ඉපදීම නො දක්නේ ප්‍රතික්‍ෂේප කරයි. කුසලං අයොනිසො මනසිකරොති යන මෙය අකුසලයට අනතුරුව කුසලය උපදින්නේ නම් අකුසලයම ආවර්ජනයෙන් නුනුවණින් මෙනෙහි කරන්නාට උපදින්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. නනු යස්මිඤ්ඤෙව වත්‍ථුස්මිං යන වචනය එක අරමුණෙහි සරාගය සහ විරාගය දක්වයි. කුසල අකුසල අන්තරභවය ඒ නිසා අසාධක වේ.