121. නිවුත කථා
දැන් නිවුත කතා නම් වේ. එහි පිරිසිදු පුද්ගලයාට පිරිසිදු කෘත්ය නැති බැවින් නීවරණයන්ගේ යටකරන ලද පැතිර ඇති ගැවසීගත් පුද්ගලයාට නීවරණ දුරුකිරීම වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා නිවුතො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. රත්තො රාගං යනාදිය නිවුතයාගේ (වටකළහුගේ) නීවරණ දුරුකිරිමෙහි දොස් දැක්වීමට කියන ලදී. පරිසුද්ධෙ පරියොදාතෙ යනාදිය විෂ්කම්භන විසුද්ධියෙන් පිරිසිදු වූවහුගේ සමුච්ඡෙද විසුද්ධිය දැක්වීමට කියන ලදී. තස්ස එවං ජානතො යනාදිය දැනීමෙන් දැකීමෙන් නිවන දක්වයි. නිවුත්තයාගේ නීවරණ දුරකිරීම නොවේ. එහෙයින් අසාධක වේ.
122. සම්මුඛීභූත කථා
දැන් සම්මුඛී භූත කථා නම් වේ. එහි සම්මුඛීභූතො සංයෝජනවල සම්මුඛභාවයයි. ඒවායින් යුක්ත බවට පැමිණියේය. මෙහි සෙස්ස නිවුත කථා හා සමාන වේමය.
123. ආශ්වාදන කථා
දැන් සමාපන්න වූයේ ආශ්වාදනය කෙරේ යයි කථා නම් වේ. එහි පළමු ධ්යානයට සමවැදී වාසය කරයි. හේ එය ආශ්වාදනය කෙරේ යයි ආදි වචන නිසා සමාපන්න ආශ්වාදනය කරයි. එය ඔහුගේ ධ්යාන ආශාව යයි ධ්යාන අරමුණ වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපන්නො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. තං ඣහං තස්ස ඣානස්ස ආරම්මණං යන ප්රශ්නවල එයම ඒ අරමුණ නොදක්නේ සූත්ර විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. ‘තදස්සාදෙති’ වචන මාත්රයෙන් පිළිගනී. සො තං අස්සාදෙති යන සූත්රය ධ්යානලාභියා ධ්යානයෙන් නැගිට ධ්යාන ආශ්වාදය සාධයි. සමාපත්තිය තුළදීම ධ්යාන ආශාව ධ්යාන අරමුණු බව නොවේ. එහෙයින් සාධක නොවේ.
124. අසාත රාග කථා
දැන් අසාත රාග කථා නම් වේ. එහි ‘යං කිංචි වෙදතං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සො තං වෙදනං අභිනන්දති අභිවදති’ (යම්කිසි සැප හෝ දුක් හෝ අදුක්ඛමසුඛ හෝ වේදනාවක් විඳීද හෙතෙම ඒ වේදනාවට සතුටු වේ. ප්රකාශ කරයි.) යන සූත්රයෙහි මෙලොව වශයෙන් සතුටුවීම කියන ලදී. අභිනන්දති යන වචනය නිසා දුක්වේදනාවේ ද රාග ආශ්වාද වශයෙන් සතුටු වේ. එනිසා ආසාත රාගය ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි ඔවුන් සඳහා අත්ථි අසාත රාගො විචාරීම සකවාදියාටය. එහි අසා රාග යනු දුක්වේදනා විඳින කල්හි අහෝ මට මෙය වන්නේ යයි ඇලීම. ආමන්තා යයි ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාටය.
සො තං වෙදනං අභිනන්දති යන සූත්රයෙහි වෙනස්වී දුක්වේදනාව අරබයා රාගය ඉපදීමක් නම් නැත. සමූහ වශයෙන් ගැනීමෙන් වනාහි විදීම් ලක්ෂණ වූ ධර්මය දුක්වේදනාවම හෝ ආත්ම වශයෙන් බලන්නේ දිටු හැඟීම් වූ දුටු අභිනන්දනයෙන් සතුටු වේ. දුකින් වෙනස්වන වේදනාවෙන් සතුටු නොවේ. දුක් වේදනාවෙන් යුක්ත වූ ඊට ප්රතිපක්ෂ වූ කාම සුව පතන්නේ දුක් වේදනාව සතුටු වේ. මෙසේ දුක් වේදනාවෙන් සතුටුවේ යන අදහසයි. එනිසා මේ අසාත රාගය අසාධක වේ.