12. දොළොස්වෙනි වර්ගය
110. සංවරො කම්මන්ති කථා
දැන් සංවර කම්මං කථා නම් වේ. එහි ‘ඇසින් රූප දැක නිමිති ගන්නේ වේ. නිමිති නොගන්නේ වේ’ යන සූත්රය නසා සංවරය ද අසංවරය ද කර්මය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙන් ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය.
ඉක්බිති ඔහුට ඒ සමයෙහි යම් චේතනාවක් කර්මයයි කියන ලදී. යම්සේ එය කාය වචී මනෝ ද්වාරවල පවතින කාය කර්ම ආදි නම් ලබයි. ඔබේ සංවර කර්මය එසේද එය ද චක්ෂු ඉන්ද්රියාදියෙහි පවතින්නේ චක්ඛු කම්ම ආදි නම ලබන්නේ යයි චෝදනා කිරීමට චක්ඛුන්ද්රියං සංවරො චක්ඛු කම්මං යනාදිය කීය. අනෙකා එබඳු සූත්ර පද නොදක්නේ සතර දොරවල ප්රතික්ෂේප කොට පස්වන කායද්වාරයෙහි ප්රසාද කය සඳහා ප්රතික්ෂේප කරයි. විඤ්ඤත්ති කය සඳහා පිළිගනියි. හේ වනාහි ප්රසාද කය ද විඤ්ඤත්ති කයද කාය ඉන්ද්රියෙහිම කැමති වේ. මනෝ ද්වාරයේ ද විපාක දොර සඳහා ප්රතික්ෂේප කරයි. කර්ම ද්වාරය සඳහා පිළිගනී. අසංවරය ද මේ නයම වේ. චක්ඛුනා රූපං දිස්වා යන සූත්රය ඒ දොරවල සංවරයම දක්වයි. එහි කර්මභාවය එහෙයින් අසාධක වේ.
111. කම්ම කථා
දැන් කම්ම කථා නම් වේ. එහි ‘නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මං’ යන සූත්ර පදය නිසා සියළු කර්ම විපාක සහිතය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ යයි ශාස්තෲන් වහන්සේ විසින් අවිශේෂයෙන් චේතනාව කර්මය යයි කියන ලදී. එය කුසල අකුසලම විපාක සහිතය. අව්යාකෘත අවිපාකය. මේ විභාගය ඔවුන්ට දැක්වීමට සබ්බං කම්මං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. නැවත සබ්බා චෙතනා යයි ප්රශ්නවල අව්යකෘත සඳහා ප්රතික්ෂේපය. කුසල අකුසල සඳහා ප්රතිඥාව දතයුතුය. විපාකාබ්යාකතා යනාදි සවිපාක අවිපාක චේතනා ස්වරූපයෙන් දැක්වීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය. නාහං භික්ඛවෙ සූත්රය ඇති කල්හි දිට්ඨ ධම්මාදියෙහි විපාක විඳීම සඳහා කියන ලදී. එහෙයින් එය සාධක නොවේ.
112. සද්දො විපාකොති කථා
දැන් ශබ්දය විපාක යයි කථා නම් වේ. එහි ‘හේ ඒ කර්මය කරන ලද හෙයින් රැස්කරන ලද හෙයින් උස්සන්න හෙයින් මහත් හෙයින් බ්රහ්මස්වර වේ යයි ආදිය අනුවණින් ගෙන සද්දය විපාක යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන්ගේ කර්මය හටගැනීම අරූප ධර්මයට විපාකයයි නම් ලබයි. රූප ධර්මවල වනාහි මේ ව්යවහාරය නැතැයි දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සුඛවෙදනීයො යනාදි විපාකය නම් මෙබඳු වේ යයි දැක්වීමට කියන ලදී. සො තස්ස කම්මස්ස යන සූත්රය ලක්ෂණ ප්රතිලාභ දැක්වීමට කියන ලදී. මහා පුරුෂයා කර්ම කළ බැවින් පිරිසිදු පිරිවරද වේ. පිරිවර විපාක නොවේ. එහෙයින් මෙය සාධක නොවේ.
113. සළායතන කථා
දැන් සළායතන කථා නම් වේ. එහි යම්සේ කර්ම කළ හෙයින් සළායතන ඇතිවිය. එහෙයින් සළායතන විපාකයයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සාංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්ඛායතනං විපාකො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නය අනුවම වේ. සළායතනං විපාකො යන මෙහි මනායතනය විපාක වන්නේය. සෙසු ඒ හුදෙක් කාමයෙන් හටගත්තේය. විපාක නොවේ. එහෙයින් මෙය සාධක නොවේ.
114. සත්තක්ඛත්තු පරම කථා
දැන් සත්තක්ඛත්තු පරම කථා නම් වේ. එහි යම්හෙයකින් ‘සත්තක්ඛත්තු පරම’ යයි කියන ලදී. එහෙයින් සත්තක්ඛත්තු පරම පුද්ගලයා සත්තක්ඛත්තු පරමතාවෙන් නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ආර්ය මාර්ගය ඔවුන් හැර අන්ය කෙනෙකුට නියම නැත. යමකින් හෝ සත්තක්ඛත්තු පරමාතවෙන් නියත වන්නේ යයි මේ විභාගය දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය.