106. සමාධි කථා
දැන් සමාධි කථා නම් වේ. එහි යමෙකුගේ ඒක චිත්තක්‍ෂණයෙහි ඉපදුනද ඒකග්ගතාව සමාධාන අර්ථයෙන් සමාධියයි නොගෙන ‘සත්ත රත්තින්‍ධිවාති එකත්ත සුඛ පටිසංවෙදි විහරිතුං’ ආදි වචන නිසා චිත්ත සන්තතිය සමාධියයි ලබ්ධි වේ. යම්සේ සර්වාස්තිවාදීන්ගේ ද උත්තරා පථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා චිත්ත සන්තති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් චිත්ත සන්තතිය සමාධි චිත්ත සන්තති නමි. අතීතය ද ඇත. අනාගතය ද ඇත. වර්තමාන සිත පමණක් චිත්ත සන්තති නොවේ. කිම ඔබගේ ඒ සියළු සමාධියයි චෝදනා කිරීමට අතීත යනාදිය කීය. අනෙකා එසේ අකැමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.
නනු අතීතං නිරුද්ධං යනාදි චිත්ත සන්තතියේ වර්තමාන සිතම කෘත්‍ය කරයි. අතීත අනාගත නිරුද්ධ බැවින් නූපන්නේ ද නැත. කෙසේ නම් එය සමාධි නම් වේදැයි දැක්වීමට කියන ලදී. එක චිත්තක්‍ඛණිකො යයි විචාරීම පරවාදියාටය. එයින් ස්ව සමයෙහි ‘සමාධිං භික්‍ඛවෙ භාවෙථ’ යනාදියෙහි වර්තමාන කුසල සිතින් යුත් ඒකග්ගතාව සමාධිය යයි කියන ලදී. ඒ සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. චක්‍ඛු විඤ්ඤාණ සමංගී යනාදි ‘ඒක චිත්ත ක්‍ෂණික’ යයි වචනය පමණක් ගෙන ජලයෙන් කියන ලදී. එයින් සකවාදියා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. නනු වුත්තං භගවතා යන සූත්‍රය පෙරපසු වශයෙන් පවතින සමාධිය අමිශ්‍රව සිදුකරයි. සන්තතියෙන් සමාධිභාවය නැත. එහෙයින් සාධක නොවේ.
108. ධම්මට්ඨිතතා කථා
දැන් ධම්මට්ඨිතතා කථා නම් වේ. එහි ‘ඨිතාව සා ධාතු’ යන වචනය නිසා පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධම්මට්ඨිතතා නම් එකක් ඇත. එයද පරිනිෂ්පත්තය යනු යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් පරිනිෂ්පන්න වූ අවිජ්ජාදීන්ගේ අන්‍ය වූ ධම්මට්ඨිත්තා නම් පරිනිෂ්පන්නයක් ඇත්ද? ඔබගේ ඒ ධම්මට්ඨිතායෙන් අන්‍ය වූ ස්ථිතියක් පරිනිෂ්පන්න වේදැයි චෝදනා කිරීමට තාය ඨිතාය යනාදිය කීය. පරවාදියා මෙබඳු වූ ලබ්ධියක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ අනන්තර ප්‍රත්‍යය ද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ද සඳහා පිළිගනී. සෙස්ස යට කියන ලද නය අනුව පැහැදිලිය.
109. අනිච්චතා කථා
දැන් අනිච්චතා කථා නම් වේ. එහි අනිත්‍ය වූ රූපාදීන්ගේ අනිත්‍යය ද රූපාදිය මෙන් පරිනිෂ්පන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ රූපාදිය මෙනම් අනිත්‍ය පරිනිෂ්පන්නය. එයින් අන්‍ය වූ පරිනිෂ්පන්න අනිත්‍යතාවක් විය යුතුයයි චෝදනා කිරීමට තාය අනිච්චතාය යයි කීය. අනෙක් අනිත්‍යතා දෙකක් එකවිට නොවීමෙන් ප්‍රතික්‍ෂේප කොට, නැවත යම්සේ ඒ අනිත්‍යතාව නිත්‍ය නොවේ. එහෙයින්ම අනිත්‍ය සමග අතුරුදහන් වේ. එහෙයින් පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා සුළු අවසරයක්වත් නොදී යම් දෙවන අනිත්‍යතාවක් ප්‍රතිඥාතය. එයට ද එයින් පසුව වූ දෙයටද පරම්පරා වශයෙන් නොකැඩුණු දෝෂය ආරෝපනය කරන්නේ තාය තායෙව යනාදිය කීය. ජරා පරිනිප්පන්නා යනාදිය යම්හෙයකින් උපන් ජරාමරණයෙන් අන්‍ය වූ අනිත්‍යතාවක් නම් නැත. එහෙයින් අනිත්‍යතාව විභාගයට යෙදීම් වශයෙන් කියන ලදී. එහිද පරවාදියාගේ ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද දතයුතුය.
රූපං පරිනිප්පන්නං යනාදිය යමෙකුගේ ඒ අනිත්‍යතාවය. ඒවා සමග සැසඳීම සඳහා කියන ලදී. එහි පරිනිෂ්පන්න රූපාදීන්ගේ අනිත්‍යතා ජරාමරණ ඇත. මෙසේ පරිනිෂ්පන්න අනිත්‍යාදියේ ඒවා නැතැයි සිතන්නේ ඒකාන්තයෙන් ප්‍රතික්‍ෂේප කෙරේමය.
එකොළොස්වෙනි වර්ගයයි.
12. දොළොස්වෙනි වර්ගය
110. සංවරො කම්මන්ති කථා
දැන් සංවර කම්මං කථා නම් වේ. එහි ‘ඇසින් රූප දැක නිමිති ගන්නේ වේ. නිමිති නොගන්නේ වේ’ යන සූත්‍රය නසා සංවරය ද අසංවරය ද කර්මය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙන් ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.
ඉක්බිති ඔහුට ඒ සමයෙහි යම් චේතනාවක් කර්මයයි කියන ලදී. යම්සේ එය කාය වචී මනෝ ද්වාරවල පවතින කාය කර්ම ආදි නම් ලබයි. ඔබේ සංවර කර්මය එසේද එය ද චක්‍ෂු ඉන්‍ද්‍රියාදියෙහි පවතින්නේ චක්‍ඛු කම්ම ආදි නම ලබන්නේ යයි චෝදනා කිරීමට චක්‍ඛුන්‍ද්‍රියං සංවරො චක්‍ඛු කම්මං යනාදිය කීය. අනෙකා එබඳු සූත්‍ර පද නොදක්නේ සතර දොරවල ප්‍රතික්‍ෂේප කොට පස්වන කායද්වාරයෙහි ප්‍රසාද කය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. විඤ්ඤත්ති කය සඳහා පිළිගනියි. හේ වනාහි ප්‍රසාද කය ද විඤ්ඤත්ති කයද කාය ඉන්‍ද්‍රියෙහිම කැමති වේ. මනෝ ද්වාරයේ ද විපාක දොර සඳහා ප්‍රතික්‍ෂේප කරයි. කර්ම ද්වාරය සඳහා පිළිගනී. අසංවරය ද මේ නයම වේ. චක්‍ඛුනා රූපං දිස්වා යන සූත්‍රය ඒ දොරවල සංවරයම දක්වයි. එහි කර්මභාවය එහෙයින් අසාධක වේ.