96. ද්වීහි සීලෙහීති කථා
දැන් ද්වීහි සීලෙහි කථා නම් වේ. එහි ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො යනාදි වචනයෙන් යම්සේ ලෞකික ශීලයෙන් සිල්වත් වූයේ ලෝකෝත්තර මාර්ගය වඩයි. එහෙයින් පළමුව ලෞකික වූද මාර්ග ක්ෂණයෙහි ලෝකෝත්තර වූ ද සීල දෙකකින් යුක්ත වූයේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා මග්ග සමංගී විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් හේ එකවිට ලෞකික ලෝකෝත්තර සීල දෙකින් යුක්ත වූයේ, ස්පර්ශ දෙකින් ද යුක්ත විය යුතුයයි චෝදනා කිරිමට ද්වීහි ඵස්සෙහි යනාදිය කීය. අනිකා එබඳු වූ නයක් නොදක්නේ ප්රතික්ෂේප කරයි. ලොකියෙන වා ලොකුත්තරෙන ච යන ප්රශ්නයෙහි පෙර සමාදන්වීම ද මාර්ග ක්ෂණයෙහි උපන් සම්මා වාචාදිය ද සඳහා පිළිගනී.
ලොකියෙ සීලෙ නිරුද්ධෙ යයි විචාරීම පරවාදියාටය. ක්ෂණභංග නිරෝධය සඳහා ප්රතිඥාව සකවාදියාටය. අනිකා වනාහි එය ව්යතික්රමණය මෙන් සලකන්නේ දුස්සීලො යනාදිය කීය. ඔහුගේ ලබ්ධිය පිහිටුවීම වනාහි පෙර අභින්න වූ සීලභාවයෙහිම දක්වයි. දෙකකින් යුක්ත නොවේ. එහෙයින් ලබ්ධිය නොපිහිටියේමය.
97. සීලං අචෙතසිකන්ති කථා
දැන් සීලය අචේතසික යයි කථා නම් වේ. එහි යම්හෙයකින් සීලය ඉපිද නිරුද්ධ වුවද සමාදාන හේතුව වූ සීල උපචය නම් ඇත. යමකින් එය සිල්වත් නම් වේද එහෙයින් සීලය අචේතසික යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස දානය අචේතසික කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. ලබ්ධිය පිහිටුවීමද අනුවණින් ගන්නා ලද බැවින් නොපිහිටියේමය.
98. සීලං න චිත්තානු පරිවත්තී කථා
දැන් සීලය චිත්තානුපරිවත්තති නොවේය යන කථා නම් වේ. එහි න චිත්තානුපරිවත්තති යයි භාෂාන්තුරයෙහිම නා නා විධය. සෙස්ස පෙර කථා සමාන වේමය.
99. හේතු සමාදාන හෙතු කථා
දැන් සමාදාන හෙතු කථා නම් වේ. එහි ‘ආරාමරොපා’ යන ගාථාවේ අර්ථය අනුවණින් ගෙන ‘සදා පුඤ්ඤං පවඩ්ඪති’ යයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. චිත්ත විප්රයුක්ත සීලොපචය සඳහා ප්රතිඥාව පරවාදියාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.
100. විඤ්ඤත්ති සීලත්ති කථා
දැන් විඤ්ඤත්තිය සීලය යයි කථා නම් වේ. එහි කාය විඤ්ඤත්ති කාය කර්ම වේ. වචී විඤ්ඤත්ති වාක් කර්ම වේයයි ගන්නා ලද බැවින් විඤ්ඤත්තිය සීලය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විඤ්ඤත්ති යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්සේ සීලය නම් විරතියකි. රූප ධර්මයක් නොවේ. එහෙයින් මෙයින් චෝදනා කිරිමට පාණාතිපාතා වෙරමණී යනාදිය කීය. අභිවාදනං සීලං යනාදි යථාරූප වූ විඤ්ඤත්ති සීලය යයි හඟී. එය උපුටා දැක්වීමට කියන ලදී. යම්හෙයකින් එය විරති නොවේ නම් එහෙයින් නැවත පාණාතිපාතා යනාදිය කීය. ලබ්ධිය වනාහි ජලයෙන් පිහිටුවන ලද බැවින් නො පිහිටියේමය.
101. අවිඤ්ඤත්ති දුස්සීල්යන්ති කථා
දැන් අවිඤ්ඤත්ති දුස්සීල කථා නම් වේ. එහි චිත්ත විප්රයුක්ත අකුසල් රැස්කිරීම ද පාණාතිපාතාදියෙහි අංග සම්පූර්ණවීම සඳහා ඇණවීමද අවිඤ්ඤත්ති දුස්සීලබව යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහාසංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දුසිල්බව පාණාතිපාතාදියෙහි එක්තරා එකක වන්නේ යයි චෝදනා කිරීමට පාණාතිපාතො යනාදිය කීය. පාපකම්මං සමාදියිත්වා මෙසේ පාප සමාදානය වී උභො වඩ්ඪන්ති යයි විචාරණ ලද්දේ දෙන ක්ෂණයෙහි පාපයේ නො ඉපදීම සඳහා ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ චිත්ත විප්රයුක්ත පව් රැස්කිරීම සඳහා පිළිගනී. මෙහි සෙස්ස පරිභොගමය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. ඔහුගේ ලබ්ධි පිහිටුවීම පාප සමාදාන පූර්ව භාගයෙහි සාධනය වේ. අවිඤ්ඤත්ති දුසිල්බවේ නොවේ.