අනාගතාදිඑකච්චකථාවණ්ණනා
අනාගතං අත්‍ථි යනාදියෙහි ද එකච්චං අත්‍ථි යනු උපදින ධර්ම සඳහා කියයි. සෙසු සියළු තැන යට කියන ලද නය අනුව දතයුතුය.
9. සතිපට්ඨාන කථා
දැන් සතිපට්ඨාන කථා නම් වේ. එහි ‘මහණෙනි, සතර සතිපට්ඨානවල ඇතිවීම ද නැතිවීම ද දේශනා කරන්නෙමි’ යයි සතිපට්ඨාන සංයුත්තයෙහි කියන ලද නයින්ම කායාදිය සිහියෙන් අරමුණු දහම් ගෙන සියළු ධර්ම සතිපට්ඨාන යයි ලබ්ධිය, යම් සේ දැන අන්ධකයන්ගේ මෙනි. අන්ධකයෝ නම් පූර්ව ශෛලිය, අපර ශෛලිය, රාජගිරිය, සිද්ධත්‍ථික යයි පසුව පහළ වූ මේ තිකය වෙති. ඔවුන්ගේ ලබ්ධි සමාන බව විමසීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. එහි යම්තැනක පිහිටියේ ද ඒවායෙහි යයි පට්ඨාන නම් වේ. කවරක් පිහිටියේ ද? සති සිහියෙන් පිහිටීම සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහිය ගෝචර වූයේද සතිපට්ඨාන වේ. පිහිටතියි පට්ඨාන වේ. කුමක් පිහිටයිද? සිහිය. සිහිය පිහිටියේ සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහියම සතිපට්ඨාන වේ. එහෙයින් වාද දෙකම පරියායෙන් යෙදේ. යමෙක් ඒ පරියාය හැර සියළු ධර්ම ඒකාන්තයෙන් සතිපට්ඨාන යයි කියති. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. අරමුණු වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. සියළු දහම් සිහිය යයි අනුයුක්තයේ වනාහි සියළු සිහි ස්වභාවය අභාවයෙන් ප්‍රතික්‍ෂේපය ඔහුටමය. එහි ඛයගාමි ආදිය මාර්ග විශේෂණයෝය. ඒකායන මාර්ගය කෙලෙසුන්ගේ ක්‍ෂය භූත වූ නිවණට යේනුයි ඛයගාමී වේ. සතර සත්‍යයන් අවබෝධයට යේනුයි බොධගාමී වේ. සසර රැස් නොකරමින් යේනුයි අපචයගාමී වේ. මෙසේ මේ පදවලින් ඔබේ සියළු දහම් මෙබඳු රූපය. ඒවා ඒකායන මාර්ගය වේදැයි විචාරයි. අනාසවා අසංයොජනියා යනාදියද ලොවුතුරු බව විචාරීම සඳහා කියන ලදී. බුද්ධානුස්සති යනාදිය ප්‍රභේද විචාරීම් වශයෙන් කියන ලදී.
චක්‍ඛායතනං සතිපට්ඨානං යනාදිය සියළු ධර්මවල ප්‍රභේද විචාරීම් වශයෙන් කියන ලදී. එහිද සිහිය වශයෙන් ප්‍රතික්‍ෂේපය. අරමුණු වශයෙන් ප්‍රතිඥාතය. මෙසේ සියළු ප්‍රශ්නවල අර්ථය දතයුතුය. සූත්‍ර සාධනය නොගැඹුරුය.
10. හෙවත්‍ථි කථා
දැන් හෙවත්‍ථි කථා වේ. එහි අතීතාදි භේද සියළු දහම් රූපාදි වශයෙන් ඇත. අතීත අනාගත වර්තමාන වශයෙන්, අනාගත වර්තමාන හෝ අතීතාදී වශයෙන් නැත. මේ සියල්ල මෙසේ ඇත. මෙසේ නැතැයි ලබ්ධිය, යම්සේ දැන කියන ලද අන්ධකයින්ගේ ප්‍රභේද මෙනි. ඔවුන් සඳහා අතීතං අත්‍ථි යයි විචාරීම සකවාදියාටය. හෙවත්‍ථි හෙවනත්‍ථි යන විසඳීම පරවාදියාටය. එහි හෙවා යනු මෙසේ යන්නය. ඉක්බිති සකවාදියා ඉදින් අතීතයම මෙසේ ඇත. මෙසේ නැතැයි ලබ්ධිය, මෙසේ ඇති කල්හි එයම ඇත එයම නැතැයි විචාරන්නේ සෙවත්‍ථි සෙව නත්‍ථි යයි ඔහුට කීය. අනිත් තැනැත්තා ඒ භාවයෙන් ඇති බව එයින්ම නැති බව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ස්වකීය ස්වභාවයෙන් ඇති බව පරභාවයෙන් නැතිබව සඳහා පිළිගනී. ඉන්පසු අත්‍ථට්ඨො නත්‍ථට්ඨො යයි ඇති ස්වභාවය නැති ස්වභාවය නම් වේ යයි විචාරයි. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය. අවසානයෙහි වනාහි තෙනහි අතීතං හෙවත්‍ථි හෙවනත්‍ථි යයි ද තෙනහි රූපං හෙවනත්‍ථි හෙනත්‍ථි යයි නුනුවණින් පිහිටුවන ලදැයි ද යන ආදිය කියා පරවාදිය විසින් පිහිටුවන ලද ලබ්ධිය කිසිසේත් පිහිටියේ නැත්තේමය.
මහා වර්ගය නිමියේය.
2. දෙවෙනි වර්ගය
11. පරූපහාර කථා
දැන් පරූපහාර කථා නම් වේ. එහි යමෙක් රහත්බව දැනගන්නේ, නොපැමිණ පැමිණි සංඥා ඇත්තේ, අධිමානය ඇත්තේ කොහොන් වූයේ හෝ සැබෑ රහතුන්ගේ ශුක්‍ර විසට්ඨි දැක, මාරකායික දෙවියෝ රහතුන්ගේ අසූචි එක්තැන් කරතියි සිතයි. යම්සේ දැන් පූර්ව ශෛලීහූ සහ අපර ශෛලීහු මෙනි. අත්‍ථි අරහතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. දැන් යම්හෙයකින් සුක්ක විස්සට්ඨි නම් රාගය හටගැන්ම වේ. එහෙයින් අත්‍ථි අරහතො රාගො යයි අනුයෝගය ඇරඹීය. ඒ සියල්ල පැහැදිලිය.
මාරකායිකා දෙවතා අත්තනො යනාදි ප්‍රශ්නයෙහි යම්සේ ඒ දේවතාවන්ගේ සුක්ක විසට්ඨි නම් නැත. අන්‍යයන්ගේ ශුක්‍ර ගෙන එකතු නොකරති. රහතුන්ගේ වනාහි ශුක්‍රම නැත එහෙයින් නහවං යයි ප්‍රතික්‍ෂේප කරති.