නසුත්තසාධනකථාවණ්ණනා
දැන් අතීත ස්කන්ධ යනාදි කථා වේ. එහි ස්කන්ධභාවය අත් නොහැරීමෙන් අතීත අනාගතවල ඇති බව කැමති වන්නාට අතීතං ඛන්ධා යයි ඇසීම පරවාදියාටය. අතීතයේ ස්කන්ධ සංග්රහවී බැවින් ආමන්තා යයි ප්රතිඥාව සකවාදියාටය. නැවත අතීතං අත්ථි යන ඇසීම පරවාදියාටය. එහි නිරුක්ති මාර්ගය සූත්රයෙන් ඇති බව වළකන ලද හෙයින් ප්රතික්ෂේපය සකවාදියාටය. ආයතන ධාතු විචාරවලද අනාගත ප්රශ්නවලද වර්තමානය සමග සසඳා අනුලෝම ප්රතිලෝම වශයෙන් පැමිණි ප්රශ්නවලද අතීතං රූපං යන ප්රශ්නවලද මේ උපායෙන් අර්ථ දතයුතුය.
සුත්තසාධනවණ්ණනා
සූත්ර සාධනයෙහි වනාහි න වත්තබ්බං යන විචාරීම සකවාදියාටය. එහි නත්ථි චෙතෙති මේ ධර්ම නැතැයි යන අර්ථයයි. ස්කන්ධාදිභාවය ඇති කල්හි අකැමැත්තාගේ නැති බව ආමත්තා යයි ප්රතිඥාව පරවාදියාටය. ඒවායේ නැති බව සාධනය පිණිස සූත්රය දැක්වීම සකවාදියාටය. දෙවන විචාරීමද පරවාදියාටය. ප්රතිඥාව සකවාදියාටය. සූත්රය දැක්වීම පරවාදියාටය. එය වනාහි ඒවායේ ස්කන්ධාදිභාවයම සාධය. ඇති බව නොවේ. ගෙනෙන ලද්දේ ද නොගෙනෙන ලද්ද හා සමාන වේමය.
8. එකච්චං අත්ථිති කථා
අතීතාදිඑකච්චකථාවණ්ණනා
දැන් එකච්චං අත්ථිති කථා නම් වේ. එහි යමෙක් අතීතය පමණක් ඇතැයි සිතයි. කස්සපිකයන් මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳිනු පිණිස අතීතං අත්ථි යන විචාරීම සකවාදියාගේය. එකච්චං අත්ථි යන විසඳීම පරවාදියාගේය. එහි අදහස මෙසේය. විපාක නොදුන් විපාක ඇත. විපාක දුන් විපාක නැත. එකච්චං නිරුද්ධං යන අනුයෝගය සකවාදියාගේය. එහි අර්ථය: ඉදින් ඔබේ අතීතය එක ලෙසකින් ඇත. එක ලෙසකින් නැත. මෙසේ ඇති කල්හි එක්ලෙසකින් අතීතය නිරුද්ධය. එක් ලෙසකින් අතීතය නිරුද්ධ නොවේ. එසේම සිටි බවට පැමිණේ. විගතං යනාදියෙහිද මෙම නයයි.
අවිපක්ක විපාකා ධම්මා එකච්චෙ යන මෙය යම්හෙයකින් ඔහු යම් විපාක නොදුන් විපාකවල ඇති බව කැමති වෙති. එයද අතීතයේමය. එහෙයින් ඔබගේ අතීතය එක් ලෙසකින් ඇත. එසේම විපාක නොදුන් ධර්ම ද එක් ලෙසකින් ඇත. එක් ලෙසකින් නැතැයි චෝදනා කිරීම කියන ලදී. විපක්ක විපාකා යයි මෙය යමක නැති බව හේ කැමති වේ. ඒවායේ වශයෙන් චෝදනා කිරීමට කියන ලදී. අවිපාකා මෙසේ අව්යාකත වසයෙන් චෝදනා කිරීමට කියන ලදී. මෙසේ මේවායේ තුනේ සමූහ වශයෙන් සියළු අනුලෝම ප්රතිලෝමවල ප්රතිඥා ද ප්රතික්ෂේප ද දතයුතුය. අතීතා එකදෙසං විපක්ක විපාකා එකදෙසං අවිපක්ක විපාකා යයි අඩාල කළ විපාක කියනු ලැබේ. යම් කර්මයකින් ප්රතිසන්ධිය උපදවන ලදී. භවාංගය ද චුතියද එහිම විපාක වේ. එහෙයින් ප්රතිසන්ධියේ සිට චුතිය දක්වා එය අඩාල කළ විපාක නම් වේ. එබඳු වූ ධර්මය සඳහා මෙය කියන ලදී.
විපච්චිස්සන්තීති කත්වා තෙ අත්ථි යයි විචාරීම සකවාදියාගේය. යම්සේ ධර්මධර පුද්ගලයෙකුගේ නිදනවිට ද බහුලව පවතින ධර්මය ඇතැයි කියනු ලැබේ. මෙසේ ලෝක ව්යාවහාර වශයෙන් ඇති බව සඳහා ප්රතිඥාව පරවාදියාගේය. විපච්චිස්සන්තීති කත්වා පච්චුප්පන්ත යයි දෙවන ප්රශ්නයේ කර්මයන්ගේ අවිනාශ සංඛ්යාවෙන් කර්මයෙන් රැස්කළ දෙයක් ඇතැයි ලබ්ධියේ සිට ප්රතිඥාව පරවාදියාගේය.
අනාගතාදිඑකච්චකථාවණ්ණනා
අනාගතං අත්ථි යනාදියෙහි ද එකච්චං අත්ථි යනු උපදින ධර්ම සඳහා කියයි. සෙසු සියළු තැන යට කියන ලද නය අනුව දතයුතුය.
9. සතිපට්ඨාන කථා
දැන් සතිපට්ඨාන කථා නම් වේ. එහි ‘මහණෙනි, සතර සතිපට්ඨානවල ඇතිවීම ද නැතිවීම ද දේශනා කරන්නෙමි’ යයි සතිපට්ඨාන සංයුත්තයෙහි කියන ලද නයින්ම කායාදිය සිහියෙන් අරමුණු දහම් ගෙන සියළු ධර්ම සතිපට්ඨාන යයි ලබ්ධිය, යම් සේ දැන අන්ධකයන්ගේ මෙනි. අන්ධකයෝ නම් පූර්ව ශෛලිය, අපර ශෛලිය, රාජගිරිය, සිද්ධත්ථික යයි පසුව පහළ වූ මේ තිකය වෙති. ඔවුන්ගේ ලබ්ධි සමාන බව විමසීම සකවාදියාගේය. ප්රතිඥාව පරවාදියාගේය. එහි යම්තැනක පිහිටියේ ද ඒවායෙහි යයි පට්ඨාන නම් වේ. කවරක් පිහිටියේ ද? සති සිහියෙන් පිහිටීම සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහිය ගෝචර වූයේද සතිපට්ඨාන වේ. පිහිටතියි පට්ඨාන වේ. කුමක් පිහිටයිද? සිහිය. සිහිය පිහිටියේ සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහියම සතිපට්ඨාන වේ. එහෙයින් වාද දෙකම පරියායෙන් යෙදේ. යමෙක් ඒ පරියාය හැර සියළු ධර්ම ඒකාන්තයෙන් සතිපට්ඨාන යයි කියති. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. අරමුණු වශයෙන් ප්රතිඥාව පරවාදියාටය. සියළු දහම් සිහිය යයි අනුයුක්තයේ වනාහි සියළු සිහි ස්වභාවය අභාවයෙන් ප්රතික්ෂේපය ඔහුටමය. එහි ඛයගාමි ආදිය මාර්ග විශේෂණයෝය. ඒකායන මාර්ගය කෙලෙසුන්ගේ ක්ෂය භූත වූ නිවණට යේනුයි ඛයගාමී වේ. සතර සත්යයන් අවබෝධයට යේනුයි බොධගාමී වේ. සසර රැස් නොකරමින් යේනුයි අපචයගාමී වේ. මෙසේ මේ පදවලින් ඔබේ සියළු දහම් මෙබඳු රූපය. ඒවා ඒකායන මාර්ගය වේදැයි විචාරයි. අනාසවා අසංයොජනියා යනාදියද ලොවුතුරු බව විචාරීම සඳහා කියන ලදී. බුද්ධානුස්සති යනාදිය ප්රභේද විචාරීම් වශයෙන් කියන ලදී.