සුත්තන්තිකදුකනික්ඛෙපකථා
සූත්රාන්තික ද්විකයෙහි මාතෘකා කථාවෙහි අර්ථ වශයෙන් විවේචනය කළහෙයින් ද ඔවුන්ගේ යම් නිර්දේශ පදයෝ වෙත්නම් ඔවුන් පිළිබඳව ද යට කියන ලද නයින්ම මනාව දතහැකි බැවිනුත් බොහෝසෙයින්ම ප්රකට අර්ථ ඇත්තාහුමය. මෙය වනාහි මෙහි විශේෂ මාත්රයයි. විජ්ජූපමදුකයෙහි වනාහි ඇස් ඇති පුරුෂයෙක් මේඝාන්ධකාර (රාත්රියක) මගට පිළිපන්නේය. අඳුරු බැවින් ඔහුට මාර්ගය නො පෙනිණ. විදුලියක් නික්ම අඳුර නැති කෙළේය. ඉක්බිති අඳුර පහවීමෙන් මාර්ගය ප්රකට විය. හෙතෙම දෙවන වර ද ගමන ඇරඹීය. දෙවන වර ද අඳුර පැතිරිණ. (මාර්ගය නො පෙනිණ.) විදුලිය නික්ම එය විනාශ කෙළේය. අඳුර පහව ගිය කල්හි මාර්ගය ප්රකට විය. තුන්වෙනි වර ද ගමන ඇරඹීය. අඳුර පැතිරිණ. මාර්ගය නො පෙනිණ. විදුලිය නික්ම අඳුර විනාශ කෙළේය.
එහිදී ආර්ය ශ්රාවකයාගේ සෝවාන් මාර්ගය සඳහා විදර්ශනාරම්භය ඇස් ඇති පුරුෂයා අඳුරෙහි මඟට බැසීම මෙනි. සත්යය වසන මෝහාන්ධකාරය අඳුරෙහි මාර්ගය නොපෙනෙන කාලය මෙනි. සෝවාන් මාර්ගයේ ආලෝකයෙන් ඉපිද සත්යය වසන මෝහාන්ධකාරය දුරුකරන කාලය විදුලිය නික්ම අඳුර දුරුකරන කාලය මෙනි. සෝවාන් මාර්ගයට චතුරාර්ය සත්යය ප්රකට වූ කාලය අඳුර පහවූ කල්හි මාර්ගය ප්රකට වූ කාලය මෙනි. මාර්ගය ප්රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්රකටමය. සකෘදාගාමී මාර්ගය පිණිස විදර්ශනාරම්භය දෙවනවර ගමන් ඇරඹීම මෙනි. සත්යය වසාලන මෝහාන්ධකාරය අඳුරෙහි මාර්ගය පෙනෙන කාලය මෙනි. සකෘදාගාමී මාර්ගාලෝකයෙන් ඉපිද සත්යය වසාලන අඳුර දුරුකරන කාලය දෙවනවර විදුලිය නික්ම අඳුර දුරුකරන කාලය මෙනි. සකෘදාගාමි මාර්ගයට චතුරාර්ය සත්යය ප්රකට වූ කාලය අඳුර පහවගිය කල්හි මාර්ගය ප්රකට වූ කාලය මෙනි. මාර්ගය ප්රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්රකටමය. අනාගාමී මාර්ගය පිණිස විදර්ශනාරම්භය තුන්වන ගමනාරම්භය මෙනි. සත්යය වසාලන මෝහාන්ධකාරය අඳුරෙහි මාර්ගය නො පෙනෙන කාලය මෙනි. අනාගාමි මාර්ගයේ ආලෝකයෙන් ඉපිද සත්යය වසාලන මෝහාන්ධකාරය දුරුකළ කාලය තුන්වන වර විදුලිය නික්ම අන්ධකාරය දුරුකළ කාලය මෙනි. තුන්වන වර විදුලිය නික්ම අන්ධකාරය දුරුකළ කාලය මෙනි. අනාගාමී මාර්ගයට චතුරාර්ය සත්යය ප්රකට වූ කාලය අඳුර පහව ගිය කල්හි මාර්ගය ප්රකට වූ කාලය මෙනි. මාර්ගය ප්රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්රකටමය.
වජ්රයට නොබිඳිය හැකි පාෂාණයක් හෝ මැණිකක් නම් නැත. යම්තැනෙක වැටේ ද එය විනිවිදිනේ ම වෙයි. වජ්රය ගෙවාදමන වස්තුව ඉතිරි නොකොට ගෙවාදමයි. වජ්රය ගිය මාර්ගය නම් නැවත ප්රකෘතිමත් නොවෙයි. මෙපරිද්දෙන් අර්හත් මාර්ගයට විනාශ නොකළ හැකි ක්ලේශයක් නම් නැත. වජ්රය මෙන් සකල ක්ලේශයන් විනිවිද යයි. වජ්රය ගිය මාර්ගය නැවත ප්රකෘතිභාවයක් නැත්තා සේ අර්හත් මාර්ගය ද කෙලෙස් ක්ෂය කරනුයේ ඉතිරි නො කොට ක්ෂය කරයි. අර්හත් මාර්ගයෙන් ප්රහීණ ක්ලේශයන් නැවත උදාවීමක් නම් නැත යනුයි.
බාලද්වික නිර්දේශයෙහි බාලයන් කෙරෙහි අහිරික අනොත්තප්ප ද සෙසු බාලධර්මයන්ගේ මූල ද ප්රකටමය. අහිරික පුද්ගලයා ද අනොත්තාපි පුද්ගලයා ද කිසි අකුශලයක් නො කරන්නේ නම් නොවේ යැයි මේ දෙක පළමුවෙන්ම වෙන්ව කියන ලදී. ශුක්ල පක්ෂයේද මේ නයමය. කෘෂ්ණාද්විකයෙහි ද එසේමය.
තපනීයද්වික නිර්දේශයෙහි කළහෙයින් ද නො කළ හෙයින් ද තැවීම දතයුතුයි. කායදුශ්චරිතාදිය වනාහි කළහෙයින් තැවෙයි. කාය සුචරිතාදිය නොකළ හෙයින් තැවෙයි. ඒ එසේමය. පුද්ගලයා මා විසින් කායදුශ්චරිතයක් කරන ලදැයි තැවෙයි. මා විසින් කාය සුචරිතයක් නොකරන ලදැයි තැවෙයි. මා විසින් වාක් දුශ්චරිතයක් කරන ලදැයි තැවෙයි. -පෙ- මා විසින් මනෝ සුචරිතයක් නො කරන ලදැයි තැවෙයි. අතපනීයයෙහි ද මේ නයමය. කල්යාණකාරි පුද්ගලයා වනාහි මා විසින් කාය සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි. මා විසින් කාය දුශ්චරිතයක් නොකරන ලදැයි නොතැවෙයි. (මා විසින් වචී සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි) -පෙ- මා විසින් මනෝ සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි යනුයි.
අධිවචනද්වික නිර්දේශයෙහි යා තෙසං තෙසං සත්තානං යනු සර්වධර්ම ග්රහණයයි. නම්කෙරේනුයි = සංඛාය, නම් කියයි යන අර්ථයි. සංකථියති යනු කිම? අහං යැයි ද මමං යැයි ද පාරො යැයි ද පරස්ස යැයි ද සත්ත්වයා යැයි ද ගාවො යැයි ද පොසො යැයි ද පුද්ගලයා යැයි ද නර යැයි ද මානවයා යැයි ද කියයි යැයි ද දත්ත යැයි ද මඤ්ච යැයි භිසි යැයි ද බිම්බොහන යැයි ද විහාරය යැයි ද පරිවේණ යැයි ද ද්වාරය යැයි ද වාතපාතය යැයි ද මෙසේ නොයෙක් ආකාරයෙන් නම් කියානුයි =– සංඛාය නම් කෙරේනුයි = සමඤ්ඤාය, කුමක් නම් කෙරේ ද? අහං යැයි ද මමං යැයි ද -පෙ- ද්වාරය වාතපානය යැයි නම් කෙරේනුයි = සමඤ්ඤා ය, පණවනු ලැබේනුයි –= පඤ්ඤත්ති ය. ව්යවහාර කෙරේනුයි = වොහාරො ය. කුමක් ව්යවහාර කෙරේ ද? අහං යැයි ද මමං යැයි ද - පෙ- ද්වාරං වාතපානං යැයි ද ව්යවහාර කෙරේනුයි = වොහාරො ය.
නාමං යනු සාමාන්ය නාමය ගුණ නාමය කීර්ති නාමය ඔපපාතික නාමය යන චතුර්විධ නාමයයි. එහි ප්රථම කල්පිත මහාජනයා විසින් සම්මන්ත්රණය කොට තැබූ හෙයින් මහාසම්මත යන රජුගේ නාමය සාමාන්ය නාමය නමි. එය සඳහා මෙසේ කියන ලදී. ‘වාසෙට්ඨය, මහාජන සම්මතය යන්න වනාහි මහාසම්මත යැයි ම පළමු අකුර උපන්නේ ය’ යනුයි. ධර්ම කථිකයාය පංසුකූලිකයාය විනයධරයාය ත්රිපිටකධරයාය ශ්රද්ධාවන්තයාය ප්රසන්නයාය යනාදිය ද තථාගතයන් වහන්සේගේ නොයෙක් සියගණන් ගුණනාමයෝ ද ගුණනාමයෝම ය. එහෙයින් මෙසේ කියන ලදී.