දුකනික්ඛෙපකථා
දුකයන්හි අදෝෂ නිර්දේශයෙහි මෛත්‍රී කිරීම වශයෙන් = මෙත්ති ය. මෛත්‍රී ආකාරය = මෙත්තායනා යනු මෛත්‍රියෙහි යෙදුණාහුගේ මෛත්‍රියෙන් යුක්ත වූවහුගේ සිතෙහි ස්වභාවය = මෙත්තායිතත්තං ය. ආරක්‍ෂා කරයි යනු අනුද්දාය, රක්‍ෂා කරයි යන අර්ථයි. ආරක්‍ෂා කරන ආකාරය අනුද්දයතා ය. අනුද්දායිතහුගේ භාවය = අනුද්දායිතත්තය, හිතය සෙවීම් වශයෙන් = හිතෙයිතා ය. අනුකම්පා කිරීම් වශයෙන් = අනුකම්පාය. මේ සියලුම පදයන්ගෙන් උපචාර අර්පණා ප්‍රාප්ත මෛත්‍රියම කියන ලදී. සෙසු පදයන්ගෙන් ලෞකික ලෝකෝත්තර අද්වේෂය කියන ලදී.
අමෝහ නිර්දේශයෙහි දුක්‍ඛෙ ඤාණං යනු දුඃඛසත්‍යයෙහි ප්‍රඥාවයි. දුක්‍ඛ සමුදයෙ යනාදීන්හි ද මේ නයමය. මෙහි ද දුඃඛසත්‍යයෙහි ඥානය ශ්‍රවණ සම්මර්ශන ප්‍රතිවේධ ප්‍රත්‍යවේක්‍ෂණයන්හි වැටේ. දුඃඛ සමුදයෙහි ද එසේමය. නිරෝධයෙහි වනාහි ශ්‍රවණ ප්‍රතිවේධ ප්‍රත්‍යවේක්‍ෂණයන්හිමය. ප්‍රතිපදාවෙහි ද එසේමය. පුබ්බනෙත යනු අතීත කොට්ඨාසයෙහිය. අපරනෙත යනු අනාගත කොට්ඨාසයෙහි ය. පුබ්බන්තා පරනෙත යනු ඒ දෙකෙහිමය. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං යනු මේ ප්‍රත්‍යයයි. (මේ ප්‍රත්‍යයෙන් උපන්නේය) මෙය නිසා මෙය උපන්නේ යැයි මෙසේ ප්‍රත්‍යයන්හි ද ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්හි ද ඥානයයි.
ලෝභායතන නිර්දේශයෙහි ද යට නො ආ පදයන්ගේ මේ අර්ථයයි. සිත් ඇලවීම් වශයෙන් රාගො ය. (බලවත් රඳවන අර්ථයෙන් = සාරොගො ය. විෂයයන්හි සත්ත්වයන් මෙහෙයවන හෙයින් = අනුනයො ය. රුචි වේ යනු = අනුරාධො ය, කැමතිවේ යන අර්ථයි. සත්ත්වයෝ භවයෙහි යම්කිසි තැනෙක මෙයින් සතුටු වෙති තෙමේ හෝ සතුටුවෙයි යනු = නන්‍දිය, නන්‍දියත් එය ය. සිත් ඇලවීම් අර්ථයෙන් රාගයත් එයයි යනු = නන්‍දිරාගො එහිදී එක් අරමුණක වරක් උපන් තෘෂ්ණාව නන්‍දියයි. නැවත නැවත උපදින්නේ නන්‍දිරාගො යැයි කියනු ලැබේ. චිත්තස්ස සාරාගො ය එය යට දැඩිව සිත් අලවන අර්ථයෙන් සාරාගො යැයි කියන ලදී. එය සත්ත්වයාගේ නොවේ. ඒ රාගය චිත්තයාගේමය යන අර්ථයි.
මෙයින් අරමුණු කැමතිවනු ලැබේ යනු = ඉච්ඡාය, බහුල වූ කෙලෙස් හෙයින් මෙයින් සත්ත්වයෝ මූර්ඡාවෙත් යනු = මුච්ඡා ය. ගිලී නිමාවට පැමිණ ග්‍රහණය කිරීම් වශයෙන් = අජ්ඣොසානය, සත්ත්වයෝ මෙයින් ගිජුවෙත්. ගිජුබවට පැමිණෙත් යනු = ගෙධ ය. බහලාර්ථයෙන් හෝ ගෙධො ය. බහලාර්ථයෙන් ගෙධයම හෝ වනලැහැබකැයි කියන ලදී. අනතුරු පදය උපසර්ග වශයෙන් දියුණු කරන ලදී. සර්වභාගයෙන්ම ගිජු වූයේ යනු හෝ = පලිගෙධො ය, මෙයින් ඇලෙත් යනු = සංගො ය. ඇලීම් අර්ථයෙන් හෝ සංගො ය. ගිලාබැසීම් අර්ථයෙන් පංකො ය. ඇදගැනීම් වශයෙන් =– එජා ය. මෙයින් පුරුෂයා ඒ ඒ භවයෙහි උත්පත්තියට ඇදගනී යැයි කියන ලදී. වචනාර්ථයෙන් මායා ය. සසරෙහි සත්ත්වයන් උපදවන අර්ථයෙන් ජනිකාය, තෘෂ්ණාව පුරුෂයා උපදවයි. ඔහුගේ සිත දුවයි’ යැයි ද කියන ලදී. සංසාරයෙහි සත්ත්වයන් දුකින් යොදමින් උපදවයි යනු = සඤ්ජනනී ය. ගැටීම් අර්ථයෙන් = සිබ්බනී ය. මෙය වනාහි සන්නාලියකු රෙදිකඩින් රෙදිකඩ ගෙන මසන්නාක් මෙන් සත්ත්වයන් සසර ච්‍යුතිප්‍රතිසන්ධ වශයෙන් වසයි. ඝටනය කරයි. එහෙයින් ඝටනාර්ථයෙන් සිබ්බති යැයි කියන ලදී. අනේකප්‍රකාර විෂයජාලයත්, තෘෂ්ණාවෙන් පන්නවා ඇතුළු කිරීම් සංඛ්‍යාත ජාලයක් හෝ මෙයට ඇත්තේය යනු හෝ = ජාලිනී ය.
ඇදගැනීම් වශයෙන් වේගවත් සැඩපහර ඇති නදියක් වැනිය යනු = සරිතා ය. ඊයක් වැනිය යන අර්ථයෙන් ද සරිතා ය. මෙයද වදාරණ ලදී. ‘සරිතානි සිනෙහිතානි සොමනස්සානි භවන්ති ජන්තුනො’ (සත්ත්වයාට ගංගාවක් වැනි ස්නේහවත් සෝමනස්සයෝ වෙත්) යනුයි. තෙත් වූ මෙන්ම සිනිඳු වූ යනු මෙහි අර්ථයයි. විසතා යනු විසත්තිකා (තෘෂ්ණාව) ය. විසමා යනු ද = විසත්තිකා (තෘෂ්ණාව) ය. විශාල වූයේ හෝ = විසත්තිකාය. හැකිවේ යනු ද = විසත්තිකාය, විසංවාදිකා යනු ද = විසත්තිකාය, එක්තැන් කරයි යනුද = විසත්තිකාය, විසමූල යනු ද විසත්තිකාය, විසඵල යනු ද විසත්තිකාය, විසපරිභෝග යනු ද = විසත්තිකාය, (දඟලයි යනු ද = විසත්තිකාය) ඒ තෘෂ්ණාව වනාහි පැතිරුණු හෙයින් හෝ රූප ශබ්ද ගන්‍ධ රස පොට්ඨබ්බ ධර්ම කුල ගණයන්හි පැතිරුණේය. විස්තාරණය වූයේය යනු ද = විසත්තිකාය, විපත්ති ව්‍යසනයන්ට පමුණුවන අර්ථයෙන් කළයක බඳනා ලද නූලක් මෙනි යනු = සුත්ත ය. මෙයද වදාරන ලදී. ‘සුත්තන්ති ඛො භික්‍ඛවෙ, නන්‍දිරාගස්සෙතං අධිවචනං’ යනුයි. (මහණෙනි, සුත්ත යන මෙය නන්‍දිරාගයට නමකි.) රූපාදීන්හි පැතිරෙන අර්ථයෙන් = විසමය, ඒ ඒ ප්‍රතිලාභයන් සඳහා සත්ත්වයන් රැස්කරවයි යනු = ආයූහණීය, කලකිරෙන්නට ඉඩ නොදීම් වශයෙන් සහායවන අර්ථයෙන් = දුතියා ය. මෙය වනාහි සත්ත්වයන්ට සසර කලකිරීමට නොදෙයි. ගිය ගිය තැන ප්‍රිය සහායකයකු මෙන් අභිරමණය කරවයි. එහෙයින්ම වදාරන ලදී.
තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං
ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතීති
දීර්ඝමාර්ගයක (සසර) සැරිසරන පුරුෂයා තෘෂ්ණාව දෙවැන්නා (සහායකයා) කොට ඇත්තේය. මේ තත්වය වෙනස් තත්ත්වයට (ඉපදෙමින් මැරෙමින් ගමන් කරන තත්ත්වය ඇති) පත්කරන සසර නො ඉක්මවයි යනුයි.
ප්‍රාර්ථනා කිරීම් වශයෙන් = පණිධි ය, භවනෙත්ති යනු භවරජ්ජුවයි. බවරැහැනයි. මෙයින් වනාහි රැහැනකින් බෙල්ලෙහි බැඳ ගවයින් කැමති කැමති තැන්වලට ගෙනයන්නාක් මෙන් සත්ත්වයෝ (කැමති කැමති තැන්වල) පමුණුවති. ඒ ඒ අරමුණට ආශාකරයි. භජනය කරයි ඇලෙයි යනු = වනං ය. (ඉල්ලයි) යාචනය කරයි යනු හෝ = වනං ය, වනත්‍ථා යනු බ්‍යඤ්ජනයෙන් පදය දියුණු කරන ලදී. අනත්‍ථකාරී වෘක්‍ෂයන්ගේ මතුවීමෙන් හෝ ගහනවීම් අර්ථයෙන් ද වනයක් මෙනි යනු හෝ = වනං ය. මෙය බලවත් තෘෂ්ණාවට නමකි. ගහණතරාර්ථයෙන් හෝ එයට වඩා බලවතර වූයේ වනථො නමි. එහෙයින් කියන ලදී.
වනං ඡින්‍දථ මාරුක්‍ඛ වනතො ජායතී භයං
ජෙත්‍වා වනඤ්ච වනථඤ්ච නිබ්බාණා හොථ භික්‍ඛවොති
වනය සිඳිව්. රුක නොසිඳිව්. වනයෙන් බිය ඇතිවේ. මහණෙනි, වනයත් වනථයත් සිඳ වනයෙන් නික්මුණෝ (නිවනට පත්වූවෝ) වව්.
සන්‍ථවන වශයෙන් සන්‍ථවො ය. සංසර්ගය යන අර්ථයි. එය තෘෂ්ණා සන්‍ථවය, මිත්‍ර සන්‍ථවය යැයි දුවිධය. ඔවුනතුරෙන් මෙහිදී තෘෂ්ණා සන්‍ථවය අභිප්‍රේතය. ස්නේහ වශයෙන් සිනෙහො ය. ආලය කිරීම් වශයෙන් අපේක්‍ෂා කෙරේ යනු = අපෙක්‍ඛා ය. මෙයද වදාරන ලදී. ‘ඉමානි තෙ දෙව, චතුරාසීති නගර සහස්සානි කුසාවති රාජධානප්පමුඛානි. එත්‍ථ දෙව, ඡන්‍දං ජනෙහි විජිතෙ අපෙක්‍ඛං කරොහී’ති (දේවයන් වහන්ස, කුසාවතී රාජධානිය ප්‍රමුඛ කරගත් ඔබවහන්සේගේ මේ අසූහාරදහසක් රාජධානිය, දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවන්න, රාජ්‍යයෙහි අපේක්‍ෂාව ඇතිකර ගන්න) යනුයි. මෙහි අර්ථය වනාහි ආලය කරන්න යනුයි. වෙන් වෙන් වූ අරමුණෙහි බැඳේ යනු = පටිබන්‍ධු ය. ඥාති යන අර්ථයෙන් හෝ වෙන් වෙන් වූ බන්‍ධු යනු ද = පටිබන්‍ධු ය. නිතර ඇසුරු කිරීම් අර්ථයෙන් වනාහි සත්ත්වයින්ට තෘෂ්ණාව සමාන බන්‍ධු කෙනෙක් නම් නැත යනුයි.