කිරියමනොවිඤ්ඤාණධාතුචිත්තානි
මනො විඤ්ඤාණධාතු, උප්පන්නා හොති -පෙ- සොමනස්ස සහගතා යන මේ සිත අන්යයන්ට අසාධාරණය. රහතන් වහන්සේටම පෞද්ගලිකය. ෂට්ද්වාරයෙහි ලැබේ. චක්ෂුර් ද්වාරයෙහි වනාහි වීර්යය වැඩීමට සුදුසු ස්ථානයක් දැක ක්ෂීණාශ්රවයන් වහන්සේ මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ශ්රෝතද්වාරයෙහි බඩු බෙදන තැනකට පැමිණ මහත් ශබ්දකොට ලෝභ ලෝභී අය ගනිද්දී මාගේ මෙවැනි ලොල්වීමේ තෘෂ්ණාව ප්රහීණයැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ඝාණ ද්වාරයෙහි ගඳින් හෝ මලින් සෑයක් පුදා මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ජීව්හා ද්වාරයෙහි රස සම්පන්න පිණ්ඩපාතයක් ලැබ බෙදා පරිභෝග කරනුවෝ මා විසින් සිහිකටයුතු ධර්මයන් පුරන ලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. කායද්වාරයෙහි ආභිසමාචාරික (උසස් හැසිරීමට සම්බන්ධ) වතක් කරනසේක් මා විසින් කායද්වාරයෙහි වතක් පුරනලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. මෙසේ වනාහි පංච ද්වාරයෙහි ලැබේ.
මනෝද්වාරයෙහි ද අතීත අනාගත අරබයා උපදී. ජෝතිපාල මානව මඛාදේව රාජ කණ්හ තාපස ආදී කාලයන්හි කරන ලද කරුණු ද ආවර්ජනය කොට තථාගතයන් වහන්සේ සිනා පහළ කළ සේක. එය වනාහි පූර්වේනිවාසානුස්මෘති ඥානය සර්වඥතා ඥානය යන ඥානයන්ගේ කෘත්යයයි. ඒ ඥානද්වයේ රැස්කිරිම කෙළවර සිනාවෙමින් මේ සිතින් උපදී. අනාගතයෙහි තන්තිස්වර මුදිංගස්වර නමි පසේබුදුවන්නේ යැයි සිනා පහළ කළ සේක. එයද අනාගත ඥාන සර්වඥතා ඥානයන්ගේ කෘත්යයයි. ඒ ඥානයන්ගේ රැස්කිරීම කෙළවර සිනහවෙමින් මේ සිත උපදී.
නිර්දේශ වාරයෙහි වනාහි මෙය සෙසු අහේතුක සිත්වලට වඩා බලවතර හෙයින් චිත්තෙකාග්රතාව සමාධි බලයට පමුණුවා තබන ලදී. (වීර්යය ද වීරිය බලයට පමුණුවා තබන ලදී.) උද්දේශ වාරයෙහි වනාහි සමාධි බලය වේ. වීර්ය බලය වේ යැයි නා හෙයින්, මේ දෙක සම්පූර්ණ බලාර්ථයෙන් බල නම් නොවේ. නෙවකුසලං නාකුසලං යැයි වේද එහෙයින් බලයැයි කියා තබන ලදී. නිෂ්පර්යාය වශයෙන් බලයැයි නොවන හෙයින් සංග්රහ වාරයෙහි ද බල දෙකක් වේයැයි නො කියන ලදී. සෙසු සියල්ල සොම්නස් සහගත අහේතුක මනෝවිඥාන ධාතු නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
උපෙක්ඛා සහගතා යන මේ සිත ත්රිවිධ භවයන්හි සචිත්ත සියලු සතුන්ට සාධාරණය. සචිත්තක වූ (කිසිවෙකුට) නූපදනේ ද වේ. උපදිතොත් පංචද්වාරයෙහි වොත්ථපනය වේ. මනෝද්වාරයෙහි ආවර්ජනය වේ. ෂට් අසාධාර ඥානයෝ ද මෙයින් ගන්නා ලද අරමුණම ගනිත්. මේ සිත මහාගජ නමි. මෙයට අරමුණු නොවන්නක් නම් නැත. සර්වඥතා ඥානය නොවූ සර්වඥතා ඥානගතික සිත කුමක්දැයි ඇසූ කල්හි මෙය යැයි කිවයුතුයි. මෙහි සෙස්ස පළමු සිතෙහි කීනයින්ම දතයුතුයි. හුදෙක් එහි සර්වත්රික හෙයින් සංස්කාර ස්කන්ධය නවාංගිකව බෙදන ලදී. මෙහි නිෂ්ප්රීතික හෙයින් අෂ්ටාංගිකය.
දැන් කුශලයෙන් (යම්) මහා සිත් අටක්ම ක්ෂීණාශ්රවයන් වහන්සේට උපදනා හෙයින් කිරිය නම් වීද, එහෙයින් ඒ සිත් කුශල නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
මෙහි සිට හසනක සිත් සමෝධානය කළයුතුයි. මේ සිත් කෙතෙක් වේද යත්, තෙළෙසෙකැයි (කියනු ලැබේ) පෘථග්ජනයෝ වනාහි කුශලයෙන් සොම්නස් සහගත සිත් සතරකින්ද අකුශලයෙන් සතරකින්දැයි සිත් අටකින් සිනාසෙත්. ශෛක්ෂයෝ කුශලයෙන් සෝමනස්ස සහගත සිත් සතරකින් ද අකුශලයෙන් දිට්ඨි විප්පයුත්ත සොම්නස් සහගත දෙකකින්දැයි සිත් සයකින් සිනාසෙත්. ක්ෂිණාශ්රවයන් වහන්සේලා සෝමනස්ස සහගත කිරියසිත් පසකින් සිනාසෙත් යැයි
රූපාවචරාරූපාවචරකිරියං
රූපාවචර අරූපාවචර ක්රියා නිර්දේශයන්හි (දක්වන ලදී.) දිට්ඨධම්ම සුඛවිහාරං යනු දිට්ඨධම්මයෙහි මේ ආත්මභාවයෙහිම සුඛවිහාර මාත්රයයි. එහි ක්ෂීණාශ්රවයන් වහන්සේ පෘථග්ජන කාලයෙහි උපදවන ලද සමාපත්තිය එයට සම නොවදනා තෙක් කුශලමය. සමවන් කල්හි ක්රියා වෙයි. උන්වහන්සේ ක්ෂීණාශ්රව කාලයෙහි උපදවන ලද සමාපත්තිය ක්රියාම වෙයි. සෙසු සියල්ල ඒ හා සමාන හෙයින් කුශල නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
අත්ථසාලිනි ධම්මසංගණී අට්ඨකථාවේ චිත්තුපාද කථාව නිමි.
අඛ්යාකත පදය වනාහි තවමත් නො නිමියේය.
චිත්තෝත්පාදකණ්ඩ වර්ණනාව සමාප්තයි.