මනොධාතුචිත්තං
දැන් කිරිය අව්‍යාකෘත බෙදා දක්වන්නට නැවත කතමෙ ධම්මා අබ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි කිරියා යනු කරණ මාත්‍රයයි. සියලුම කිරියයන් අතුරෙන් යමක් වනාහි ජවන භාවයට නොපැමිණියේද, එය වාත පුෂ්පයක් මෙනි. යම් සිතක් ජවනභාවයට පැමිණියේ ද එය මුල්සිඳින ලද රුකක පුෂ්පයක් මෙන් ඵලරහිත වෙයි. ඒ ඒ කෘත්‍ය සාධන වශයෙන් පැවතියේ වනාහි කරණ මාත්‍රයම වෙයි. එහෙයින් කිරියා යැයි කියන ලදී. නෙවකුසලා (නාකුසලා) යන ආදීන්හි කුසලමූල නම් කුසල හේතුවගේ අභාවයෙන් නෙවකුසලා ය. අකුසල මූල නම් වූ අකුසල හේතුවගේ අභාවයෙන් නෙවඅකුසලා ය. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර නම් වූ ද කුසලාකුසල හේතුන්ගේ අභාවයෙන් නෙවකුසලා නාකුසලා ය. කුසලාකුසල නම් වූ ජනක හේතුවගේ අභාවයෙන් නෙවකම්ම විපාකා ය.
මෙහිද චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි ප්‍රවෘත්ති ස්ථිති මාත්‍රයම ලැබේ. පංචවිඥාන දෙකය. මනෝධාතු තුනය. මනෝවිඥානධාතු තුනය. විචිකිච්ඡා සහගතය යන මේ සතළොස් සිත් දුර්වල හෙයින් සණ්ඨිති අවට්ඨිති ආදිය නොලබයි. සෙසු සියල්ල විපාක මනෝධාතු නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. උත්පත්ති ස්ථාන අන්තැනෙකය. ඒ සිත වනාහි පංච විඤ්ඤාණයට අනතුරුව උපදී. මෙය වනාහි පංච ද්වාරයෙහි වළඤ්ජන ප්‍රවෘත්ති කාලයෙහි සියල්ලට (පෙර) උපදී. කෙසේද? චක්‍ෂුර් ද්වාරයෙහි වනාහි ඉෂ්ට ඉෂ්ට මධ්‍යස්ථ අනිෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ රූපාරම්මණයන් අතුරෙන් යම්කිසිවක් ප්‍රසාදයෙහි ගැටුණු කල්හි ඒ අරමුණ ගෙන ආවර්ජන වශයෙන් පුරෝගාමිකව භවංගය වැටෙමින් උපදී. ශ්‍රෝත ද්වාරයෙහි ද මේ නයමය.
කිරිය මනෝධාතු සිත නිමියේ ය.
කිරියමනොවිඤ්ඤාණධාතුචිත්තානි
මනො විඤ්ඤාණධාතු, උප්පන්නා හොති -පෙ- සොමනස්ස සහගතා යන මේ සිත අන්‍යයන්ට අසාධාරණය. රහතන් වහන්සේටම පෞද්ගලිකය. ෂට්ද්වාරයෙහි ලැබේ. චක්‍ෂුර් ද්වාරයෙහි වනාහි වීර්යය වැඩීමට සුදුසු ස්ථානයක් දැක ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ශ්‍රෝතද්වාරයෙහි බඩු බෙදන තැනකට පැමිණ මහත් ශබ්දකොට ලෝභ ලෝභී අය ගනිද්දී මාගේ මෙවැනි ලොල්වීමේ තෘෂ්ණාව ප්‍රහීණයැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ඝාණ ද්වාරයෙහි ගඳින් හෝ මලින් සෑයක් පුදා මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ජීව්හා ද්වාරයෙහි රස සම්පන්න පිණ්ඩපාතයක් ලැබ බෙදා පරිභෝග කරනුවෝ මා විසින් සිහිකටයුතු ධර්මයන් පුරන ලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. කායද්වාරයෙහි ආභිසමාචාරික (උසස් හැසිරීමට සම්බන්ධ) වතක් කරනසේක් මා විසින් කායද්වාරයෙහි වතක් පුරනලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. මෙසේ වනාහි පංච ද්වාරයෙහි ලැබේ.
මනෝද්වාරයෙහි ද අතීත අනාගත අරබයා උපදී. ජෝතිපාල මානව මඛාදේව රාජ කණ්හ තාපස ආදී කාලයන්හි කරන ලද කරුණු ද ආවර්ජනය කොට තථාගතයන් වහන්සේ සිනා පහළ කළ සේක. එය වනාහි පූර්වේනිවාසානුස්මෘති ඥානය සර්වඥතා ඥානය යන ඥානයන්ගේ කෘත්‍යයයි. ඒ ඥානද්වයේ රැස්කිරිම කෙළවර සිනාවෙමින් මේ සිතින් උපදී. අනාගතයෙහි තන්තිස්වර මුදිංගස්වර නමි පසේබුදුවන්නේ යැයි සිනා පහළ කළ සේක. එයද අනාගත ඥාන සර්වඥතා ඥානයන්ගේ කෘත්‍යයයි. ඒ ඥානයන්ගේ රැස්කිරීම කෙළවර සිනහවෙමින් මේ සිත උපදී.