අට්ඨමහාවිපාකචිත්තවණ්ණනා
දැන් අෂ්ටමහා විපාක සිත් දක්වන්නට නැවත කතමෙ ධම්මා අඛ්යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි පාළියෙහි නයමාත්රය දක්වා සියලුවාර සංක්ෂේප කරන ලදී. ඔවුන්ගේ අර්ථය යට කියන ලද නයින්ම දතයුතුයි. මෙහි යමක් වෙනස් වී නම් එය දක්වන්නට අලොභො අඛ්යාකත මූලං යන ආදිය කියන ලදී. යමක් නොකියන ලද නම් එය මෙසේ දතයුතුයි. කාමාවචර කුශලයන්හි කරමද්වාර කර්මපථ පුණ්යක්රියා වස්තු පිළිබඳ යම් භේදයක් කියන ලද ද? එය මෙහි නැත. කවර හෙයින් ද? අවිඥප්තිජනක වශයෙනුත් අවිපාක ධර්ම වශයෙනුත් එසේ නො පවත්නා හෙයිනුත්ය. යේවාපනකයන්හි යම් ඒ කරුණා මුදිතා කියන ලද ද ඒ සත්වාරම්මණ බැවින් විපාකයන්හි නොමැත. ඒකාන්ත පරිත්තාරම්මණ වූ කාමාවචරයෝත්, හුදෙක් කරුණා මුදිතා පමණක් නොව විරතීහු ද මෙහි නොවෙත්. පංච ශික්ෂාපද කුසලම යැයි කියන ලදී.
මෙහි අසංඛාර සසංඛාර විධානයත් කුශල වශයෙන් මෙන්ම ප්රත්ය භේදයෙන් ද දතයුතුයි. අසංඛාරික කුසලයට අසංඛාරික විපාකමය. සසංඛාරිකයට සසංඛාරික විපාකය. අසංඛාරික බලවත් හේතූන්ගෙන් උපන්නේය. අන්ය වූ සසංඛාරිකය අන්ය වූ දුර්වල ප්රත්යයන්ගෙනි. හීනාදී භේදයෙහි ද මොව්හු හීනමධ්යම ප්රණීත වූ ඡන්දාදීන් විසින් නූපදවන ලද හෙයින් හීන මධ්යම ප්රණීත නම් නො වෙත්. හීන අකුසලයාගේ විපාකය වනාහි හීනය. මධ්යමයාගේ විපාකය මධ්යමය. ප්රණීතයාගේ ප්රණීතය. මෙහි අධිපතීහු නැත්තාහ. කවරහෙයින් ද යත්, ඡන්දාදීන් අධිපති කොට නූපදිය යුතු හෙයිනි. සෙසු සියල්ල අෂ්ට කුශලයන්හි කියන ලද්ද සමානමය.
දැන් මේ මහා විපාක සිත් අට විපාක දෙන තැන දතයුතුයි. මේ සිත් ප්රතිසන්ධිය භවංගය චුතිය හා තදාරම්මණය ස්ථාන සතරෙහි විපාක දෙයි. කෙසේද යත්, මනුෂ්යයන් අතරෙහි හා කාමාවචර දෙවියන් අතුරෙහි ද ද්විහේතුක ත්රිහේතුක පුණ්යවන්තයන්ට පිළිසිඳ ගන්නා කාලයෙහි ප්රතිසන්ධිය වී විපාක දෙයි. ප්රතිසන්ධිය ඉක්මවා පැවැත්මේදී අවුරුදු හැටක් හෝ අසූවක් හෝ අසංඛ්යයක් හෝ ආයු කාලයෙහි භවංගය වී ද බලවත් අරමුණෙහි ෂට් ද්වාරයන්හි තදාරම්මණය වී ද මරණ කාලයෙහි චුතිය වීදැයි මෙසේ සිව් තැනෙක විපාක දෙයි.
එහිදී සියලුම සර්වඥ බෝධිසත්ත්වවරු (පශ්චිම) ප්රතිසන්ධි ග්රහණයෙහි දී පළමුවන සොම්නස් සහගත ත්රිහේතුක අසංස්කාරික මහාවිපාක සිතින් පිළිසිඳ ගනිත්. එය වනාහි මෛත්රී පූර්වභාග සිතට විපාකය වෙයි. එයින් දෙන ලද ප්රතිසන්ධියෙන් ආයු අසංඛ්යයකි. නැවත කාල වශයෙන් පරිණාමය වෙයි. මහාසිව ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. සොමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවතරය. එයින් පිළිසිඳ ගනිත්. එයින් එයින් ගන්නා ලද ප්රතිසන්ධියෙන් වනාහි මහා අදහස් ඇත්තේ වෙත්. දිව්යමය ආරම්මණයන්හි පවා අධික ප්රීති ඇත්තෝ නොවෙත්. ත්රිපිටක චූලනාග ස්ථවිරාදීන් මෙනි. අටුවාවෙහි වනාහි තෙරුන්ට මේ මනෝරථය නැතැයි එය ප්රතික්ෂේප කොට සර්වඥ බොධිසත්ත්ව වරයන්ගේ හිතෝපචාරය බලවත් වෙයි. එහෙයින් මෛත්රී පූර්වභාග කාමාවචර කුශලවිපාක සෝමනස්ස සහගත ත්රිහේතුක අසංස්කාරික සිතින් පිළිසිඳ ගනිත් යැයි කියන ලදී.
විපාකුද්ධාරකථා
දැන් විපාකුද්ධාර කථාවෙහි මාතෘකාව තැබිය යුතුයි. ත්රිපිටක චූළනාග තෙරණුවෝ වනාහි) මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් සොළොසක් උපදී. ද්වාදසක මාර්ග ද අහේතුක ස්ථාන ද මෙහිමය’ යනුයි. මෝරවැව වැසි මහාදත්ත තෙරණුවෝ වනාහි මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් දොළොසක් උපදී. දසක මාර්ග ද අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි. ත්රිපිටක මහා ධම්මරක්ඛිත තෙරණුවෝ මෙසේ කීහ. එක් කුසල චේතනාවක විපාක සිත් දහයක් උපදී. අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි.