විපාකුද්ධාරකථා
දැන් විපාකුද්ධාර කථාවෙහි මාතෘකාව තැබිය යුතුයි. ත්‍රිපිටක චූළනාග තෙරණුවෝ වනාහි) මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් සොළොසක් උපදී. ද්වාදසක මාර්ග ද අහේතුක ස්ථාන ද මෙහිමය’ යනුයි. මෝරවැව වැසි මහාදත්ත තෙරණුවෝ වනාහි මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් දොළොසක් උපදී. දසක මාර්ග ද අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි. ත්‍රිපිටක මහා ධම්මරක්ඛිත තෙරණුවෝ මෙසේ කීහ. එක් කුසල චේතනාවක විපාක සිත් දහයක් උපදී. අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි.
මෙතැනදී සාකේත නම් ප්‍රශ්නය ගත්හ. සාකේත නුවර උපාසකවරු වනාහි ශාලාවෙක හිඳ කිමෙක්ද චේතනාවෙක කර්ම රැස්කළ කල්හි එක් ප්‍රතිසන්ධියක් වේද, නැතහොත් නානාප්‍රතිසන්‍ධි වේද, යන ප්‍රශ්නය නගා නිශ්චය කළ නොහැකිව ආභිධම්මික තෙරවරුන් වෙත එළඹ විචාළාහුය. තෙරවරු ‘යම්සේ එක අඹ බීජයකින් එක අඹ අංකුරයක් නික්මේද, මෙසේ එකම ප්‍රතිසන්ධියක් වේ’ යැයි ඇඟවූහ. නැවත එක්දිනෙක කිමෙක් ද නානා චේතනාවන් විසින් කර්ම රැස්කළ කල්හි නානාප්‍රතිසන්ධි වේද, නැතහොත් එකක් ද? යන ප්‍රශ්නය නගා නිශ්චය කළ නොහැකිව තෙරවරුන් විචාළහ. තෙරවරු ‘යම්සේ බොහෝ අඹ බීජ රෝපණය කළ කල්හි බොහෝ අංකුර නික්මේද, මෙසේ බොහෝ ප්‍රතිසන්ධි වේ’ යැයි ඇඟවූහ.
මෙහිදී තවත් අධික බව කීමක් ගන්නා ලදී. මේ සත්ත්වයන්ගේ වනාහි ලෝභයත් උත්සන්න වෙයි. ද්වේෂයත් උත්සන්න වෙයි. මෝහයත් උත්සන්න වෙයි. අලෝභයත් උත්සන්න වෙයි. අද්වේෂයත් උත්සන්න වෙයි. අමෝහයත් උත්සන්න වෙයි. ඔවුන්ගේ ඒ මේ උත්සන්නභාවය අධිකභාවය කවරෙක් නියම කරයි? යනුයි. පූර්වහේතුව නියම කරයි. කර්මායූහන ක්‍ෂණයෙහි (කර්මයන් රැස්කරන ක්‍ෂණයෙහි) ම නානත්වය වෙයි. කෙසේ ද? කර්මායූහනක්‍ෂණයෙහි වනාහි යමෙකුගේ ලෝභය බලවත් වේද, අලෝභය දුර්වල වේද, අදෝෂ අමෝහ බලවත් වේද, ද්වේෂ මෝහ දුර්වල වේද, ඔහුගේ දුර්වල අලෝභය ලෝභය මැඩලන්නට නොහැක්කේ වෙයි. බලවත් අදෝස අමෝහ වනාහි දෝස මෝහයන් මැඩලන්නට සමත් වෙයි. එහෙයින් හෙතෙම ඒ කර්මයෙන් දෙන ලද ප්‍රතිසන්ධි වශයෙන් උපන්නේ ලෝභී වෙයි. සුඛශීලී වෙයි. ක්‍රෝධ නොකරන්නෙක් වෙයි. වජ්‍රෝපම ප්‍රඥාවන්තයෙක් (වෙයි) යනුයි.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි (ක්‍ෂණයෙහි) ලෝභ ද්වේෂ බලවත් ද අලෝභ අද්වේෂ දුර්වල වේද, අමෝහය බලවත්ව මෝහය දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු මෙන්ම දුෂ්ටයෙක් වෙයි. වජ්‍රෝපමඥාන ඇති ප්‍රඥාවන්තයෙක් ද වෙයි. දත්තාභය තෙරුන් මෙනි.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි ලෝභ ද්වේෂ මෝහ බලවත් වේද අත්‍ය මූල දුර්වල වේද හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු මෙන්ම මෝඩයෙක් වෙයි. ක්‍රෝධ නොකරන්නෙකු මෙන්ම (සුඛ) ශීලී අයෙක් ද වෙයි.
එසේම යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි ලෝභ ද්වේෂ මෝහ යන අකුශල මූල තුනම බලවත් වේද, අලෝභාදිය දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු දුෂ්ටයෙකු මෙන්ම මෝඩයෙක් ද වෙයි.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි අලෝභ ද්වේෂ මෝහ බලවත් වේද, අන්‍ය වූ මූල දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම දිව අරමුණ පවා දැක නොසැලෙන මද කෙලෙස් ඇත්තෙක් වෙයි. මද නුවණ ඇති දුෂ්ටයෙක් ද වෙයි.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවේදී අලෝභ අද්වේෂ මෝහ බලවත් වේද, අන්‍යමූල දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම අලෝභියෙකු මෙන්ම (සුඛ) ශීලී මෝඩයෙක් ද වෙයි.