ලොකුත්තරවිපාකකථා
ලෝකෝත්තර විපාකය ද කුශලය සමාන බැවින් කුශලානුගතිකම කොට බෙදන ලදී. යම්හෙයකින් වනාහි ත්‍රෛභූමක කුශලය ච්‍යුතිප්‍රතිසන්ධි වශයෙන් වෘත්තය රැස්කරයි ද වඩයි ද, එහෙයින් එහි කතත්තා උපචිත්තතා යැයි කියන ලදී. ලෝකෝත්තරය වනාහි එයින් රැස්කරන ලද්දේ ද විනාශ කරයි. තෙමේ ද ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් රැස් (නො) කරයි. එහෙයින් මෙහිදී කතන්තා උපචිතත්තා යැයි නොකියා කතත්තා භාවිතත්තා යැයි කියන ලදී.
සුඤ්ඤතං යන ආදීන්හි මාර්ගය වනාහි ආගමන වශයෙන් සගුණ වශයෙන් ආරම්මණ වශයෙන් යන කරුණු තුනකින් නම් ලබයි යැයි මෙය යට කුශලාධිකාරයෙහි විස්තර කරන ලදී. එහි සූත්‍රාන්තික පර්යායයෙන් ස්වගුණ වශයෙන් ද ආරම්මණ වශයෙන් ද නම් ලබයි. මෙය වනාහි පර්යාය දේශනාවයි. අභිධර්ම කථාව වනාහි නිෂ්පර්යාය දේශනාය. එහෙයින් මෙහි ස්වගුණ වශයෙන් හෝ ආරම්මණ වශයෙන් නාමය නො ලබයි. ආගමන වශයෙන්ම ලබයි. ආගමනයම අධිපති වෙයි. එය විදර්ශනාගමනය මාර්ගාගමනය යැයි දෙවැදෑරුම්ය.
එහි මාර්ගය මාර්ගය පැමිණි තැන විදර්ශනාගමනය අධිපතිය ඵලය පැමිණි තැන මාර්ගාගමනය අධිපති යැයි මෙය ද යට කියන ලදමය. ඔවුනතුරෙන් මෙය ඵලය පැමිණි තැනයි. එහෙයින් මෙහි මාර්ගාගමනය අධිපතියැයි දතයුතුයි. ඒ මේ මාර්ගය ද ආගමනයෙන් ශූන්‍යයැයි නාමය ලැබ ගුණ වශයෙන් ද ආරම්මණ වශයෙන් ද අනිමිත්තය. අප්‍රණිහිත යැයි ද කියනු ලැබේ. එහෙයින් තමා ආ යුතු තැන සිට තමාගේ ඵලයට නම් තුනක් දෙයි. කෙසේ ද? මේ ශූන්‍යතා මාර්ගය ශුද්ධාගමන වශයෙන්ම ලබන ලද නාමයකි. තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නාමය දෙනුයේ සුඤ්ඤත යැයි නම් කෙළේය. ශූන්‍යතා අනිමිත්ත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නම් දෙනුයේ අනිමිත්ත යැයි නම් කෙළේය. ශුන්‍යතා අප්‍රණිහිත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නම් දෙනුයේ අප්‍රණිහිත යැයි නම් කෙළේය. මේ නම් තුන වනාහි මාර්ගයන් අතර ඵල සිතෙහිම මේ නයින් ලැබේ. අපර භාගයෙහි වළඳනා ඵලසමාපත්තියෙහි නො ලබයි. අපර භාගයෙහි වනාහි අනිත්‍යතා ආදී ත්‍රිවිධ විදර්ශනාවන්ගෙන් බලන්නට හැකිවෙයි. ඉක්බිති ඔහුට (නැඟිටි) නැඟිටි විදර්ශනා වශයෙන් අනිමිත්ත අප්‍රණිහිත ශුන්‍යතා සංඛ්‍යාත තිවිධ ඵල උපදී. ඔවුන්ට ඒ සංස්කාරම අරමුණු වෙයි. අනිත්‍යානු දර්ශනාදී ඥාන ගෝත්‍රභූ ඥාන නම් වෙයි.
මෙය ද ශූන්‍යතා මාර්ගයෙහි කියන ලදී. අප්‍රණිහිත මාර්ගයෙහි ද මේ නයමය. මෙයද සුද්ධාගමන වශයෙන් ලද නම් ඇති අප්‍රණිහිත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයේ සිට තම ඵලයට නම් දෙනුයේ අප්‍රණිහිත යැයි නම් කෙළේය. අප්‍රණිහිත අනිමිත්ත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයේ සිට තම ඵලයට නම් දෙනුයේ අනිමිත්ත යැයි නම් කෙළේය. අප්‍රණිහිත ශුන්‍යතා කර්මය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට ශුන්‍යතා යැයි නම් කෙළේය. මේ නම් තුන ද මාර්ගයන් අතර එලසිතෙහිම මේ නයින් ලබයි. අපරභාගයෙහි වළඤ්ජනක ඵල සමාපත්තියෙහි නොවේ. මෙසේ මේ විපාක නිර්දේශයෙහිම කුසල සිත්වලින් ත්‍රිගුණ විපාක සිත් දතයුතුයි.
යම්සේ වනාහි ත්‍රෛභූමක කුශලයෝ තමාගේ විපාකයට අධිපතියෙකු ලබාදෙන්නට නො හැකි වෙත් ද, ලෝකෝත්තර (කුශලයෝ) එසේ නො වෙත්. කවර හෙයින් ද? ත්‍රෛභූමක කුශලයන්ගේ වනාහි ආයූහන කාලය අනෙකෙකි. විපාක කාලය අනෙකකි. එහෙයින් මොව්හු තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙන්නට නොහැකි වෙත්. ලෝකෝත්තර කුශලයෝ වනාහි ඒ ශ්‍රද්ධාව ඒ වීර්යය ඒ ස්මෘතිය ඒ සමාධිය ඒ ප්‍රඥාව නොසන්සුන් කල්හි අපණ්ණක - අවිරුද්ධ මාර්ගයට අනතුරුවම විපාකය ලබත්. එහෙයින් තම විපාකයට අධිපතියෙකු ලබාදෙන්නට හැකිවෙත්.
යම්සේ වනාහි ස්වල්ප වූ ගින්නක් ගිය තැන ගින්න නිවුණු සැනින්ම උණුබව නිවී කිසිවක් (ඉතිරි) නො වෙයි. ඇවිලුණු මහත් ගිනිකන්දක් නිවා ගොම පිරිබඩ කළ කල්හිද උණුසුම් බව නො සන්සිඳුණේම වෙයි. මෙපරිද්දෙන්ම ත්‍රෛභූමක කුශලයෙහි කර්මක්‍ෂණය කර්මක්‍ෂණය එකකි. විපාක ක්‍ෂණය අනෙකකි. ස්වල්ප වූ ගින්න තිබුණු තැන උණුසුම් බව නිවුණු කාලය මෙන් වෙයි. එහෙයින් එය තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙන්නට නො හැකි වෙයි. ලෝකෝත්තර කුශලයෙහි වනාහි ඒ ශ්‍රද්ධාව -පෙ- ඒ ප්‍රඥාව නො සන්හුන් කල්හි මාර්ගයට අනතුරුවම ඵලය උපදී. එහෙයින් එය තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙයි යැයි දතයුතුයි. එහෙයින් පොරාණයෝ (මෙසේ) කීහ. ‘විපාකෙ අධිපති නත්‍ථි ඨපෙත්‍වා ලොකුත්තරං’ යනුයි.
සතරවන මාර්ගඵල නිර්දේශයෙහි අඤ්ඤතාවින්‍ද්‍රියං යනු චතුරාර්ය සත්‍යයෙහි නිමවන ලද ඥානකෘත්‍ය ඇති සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තහුගේ ඉන්‍ද්‍රියයි. චතුස්සත්‍යයන්හි නිමවන ලද කෘත්‍ය ඇති චතුස්සත්‍යය දැන ප්‍රතිවේධකර සිටි එය සම්පූර්ණයෙන් දත් අයගේ ධර්මයන් අතර ඉන්‍ද්‍රාර්ථ සාධනයෙන් ඉන්‍ද්‍රියයි. නිර්දේශ වාරයෙහි ද මෙය අඤ්ඤාතාවීතං යනු දැන සිටියවුන්ගේ, ධම්මානං යනු සම්ප්‍රයුක්තක ධර්මයන්ගේ අභ්‍යන්තරයෙහි, අඤ්ඤා යනු දැනීමයි. පඤ්ඤා පජානනා යනාදිය කියන ලද අර්ථ ඇත්තේමය. මග්ගංගං මග්ගපරියාපන්නං යනු ඵලමාර්ගයේ අංගයයි. ඵලමාර්ගයට ඇතුළත් යන අර්ථයි.