ද්වාදසමචිත්තං
දොළොස්වැන්නට සමය ව්‍යවස්ථානයෙහි උද්ධච්චය සමග සම්ප්‍රයුක්ත වූයේ යනු = උද්ධච්ච සම්පයුත්තං ය, මේ සිත වනාහි ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථව උද්ධන වෙයි. (මෙහි) සමුද්දෙසයෙහි විචිකිච්ඡා ස්ථානයෙහි උද්ධච්චය වේයැයි ආවේය. පද පිළිවෙළින් පද අටවිස්සක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් තුදුසකි. සවිභක්තික අවිභක්තිකයන්ගේ රාශි විධානය ඔවුන්ගේ වනයෙන් දතයුතුයි. අධිමොක්‍ඛ මනසිකාර යන දෙකම යේවාපනකයෝ ය.
නිර්දේශ වාරයාගේ උද්ධච්ච නිර්දේශයෙහි චිත්තස්ස යනු සත්ත්වයෙකුට නොවේ. පුරුෂයෙකුට නොවේ. උද්ධච්චං යනු නොසන්සුන් ආකාරයයි. නො සන්සිඳුණේ යනු = අවූපසමොය, සිත වික්‍ෂේප වේ යනු = චෙතසො වික්‍ඛෙපො ය, භන්තත්තං චිත්තස්ස යනු සිතේ භ්‍රාන්ත භාවයයි. භ්‍රාන්තයාන භ්‍රාන්ත ගොන් ආදීන් මෙනි. මෙයත් එක් අරමුණෙක විෂ්ඵන්‍දනයම කියන ලදී. උද්ධච්චය වනාහි එක් අරමුණෙක විෂ්ඵන්‍දනය වේ. විචිකිච්ඡාව නානාරම්මණයෙහි විෂ්ඵන්‍දනය වේ. සෙස්ස සියලු වාරයන්හි යට කියන ලද නයින්ම දතයුතුයි.
දැන් මේ සිත් දෙකෙහි ප්‍රකීර්ණක විනිශ්චය වෙයි. අරමුණෙහි පෙරළෙන සිත් කෙතෙක් නම් වේදැයි කීමෙහි දී වනාහි මේ දෙකම යැයි කිවයුතුයි. එහි විචිකිච්ඡා සහගත සිත ඒකාන්ත වශයෙන් පෙරළේ උද්ධච්ච සහගතය වනාහි ලබ්ධාධිවිමෝක්‍ෂ බැවින් ලබන ලද ප්‍රතිෂ්ඨාවෙන් පෙරළේ. යම්සේ වනාහි වටවූත් සතරැස් වූත් මැණික් දෙකක් අතුරෙන් බෑවුම් තැනෙක පෙරළා දැමූ වටමැණික ඒකාන්තයෙන්ම පෙරළෙයි. සිවුරැස් මැණික හිට හිට පෙරළෙයි. මෙය ද මෙබඳු යැයි දතයුතුයි. සියල්ලෙහිම හීනාදිභේදය මතුකොට නො දක්වන ලදී. සියල්ලම ඒකාන්ත හීන බැවින් සහජාතාධිපත ලැබෙද්දීත් යටදක්වන ලද නය ඇතිහෙයින් මතුකොට නො දක්වන ලදී. මෙහි වනාහි ඤාණාභාවය නිසා වීමලසාධිපති නම් නොවේ. පශ්චිම ද්වයෙහි සෙස්ස ද නැත්තේමය. කවර හෙයින් ද? කිසියම් ධර්මයක් ප්‍රධාන කොටගෙන නූපදනා හෙයිනුත් පට්ඨානයෙහි ද සිද්ධ කොට ඇති හෙයින්ය.
මේ දොළොස් අකුසල චිත්තයන් විසින් කර්ම රැස් කළ කල්හි උද්ධච්ච සහගත සිත හැර සෙසු එකොළොසම ප්‍රතිසන්‍ධිය දෙසට අදී. නො ලබන ලද අධිෂ්ඨාන ඇති දුර්වල වූ විචිකිච්ඡා සහගත සිත ප්‍රතිසන්‍ධිය දෙසට අදිද්දී ලබන ලද අධිෂ්ඨාන ඇති (බලවත්) උද්ධච්ච සහගත සිත කවර හෙයින් නො අදී ද යත්? සෝවාන් මාර්ග ඥානයෙන් පහකළ යුත්තක් නැති හෙයිනි. යම්හෙයකින් අදී ද, (ඒ පිළිබඳව) සෝවාන් මාර්ග ඥානයෙන් පහකළයුතු පද පිළිබඳ විභංගයෙහි එන්නේය. එහෙයින් එය හැර සෙසු එකොළොස ඇදගනී. ඔවුනතුරෙන් යම්කිසිවෙකු විසින් කර්මයන් රැකළ කල්හි ඒ චේතනාවෙන් සතර අපායෙහි ප්‍රතිසන්‍ධිය වෙයි. අකුසල විපාකයන් අතුරෙන් අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව උපේක්‍ෂා සහගත ප්‍රතිසන්‍ධිය ගනී. අනෙකට ද මෙහිම ප්‍රතිසන්‍ධි දානය වන්නේය. යම්හෙයකින් වනාහි එය නැද්ද, එහෙයින් දස්සනෙන පහාතබ්බ පද විභාගයෙහි නාවේය.
අකුසලා ධම්මා යන පදය පිළිබඳ වර්ණනාව නිමියේ ය.
අබ්යාකතපදං
අහෙතුකකුසලවිපාකො
දැන් අඛ්‍යාකත යන පදය බෙදා දක්වන්නට කතමෙ ධම්මා අඛ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි විපාක කිරිය රූප නිබ්බාණ යැයි අව්‍යාකෘතය චතුර්විධය. ඔවුනතුරෙන් විපාඛ්‍යාකතය විපාකාඛ්‍යා කතයෙහි ද කුසල විපාකය, එහි ද පරිත්ත විපාකය (එහි ද අහේතුකය, අහේතුකයෙහි ද පංච විඤ්ඤාණය) එහි ද ද්වාර පටිපාටියෙන් චක්‍ඛු විඤ්ඤාණය, එහි ද ද්වාරා රම්මණාදි සාධාරණ ප්‍රත්‍යය හැර අසාධාරණ කර්මප්‍රත්‍ය වශයෙන්ම උත්පත්තිය දක්වන්නට කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා යන ආදිය කියන ලදී. එහි කකත්තා යනු කළ කාරණයෙන්, උපචිතත්තා යනු රැස්කරන ලද හෙයින් වර්ධනය කරන ලද හෙයින්, චක්‍ඛු විඤ්ඤාණං යනු හේතුභූත චක්‍ෂුස පිළිබඳ විඥානය, චක්‍ෂු සිත් පැවති හෝ චක්‍ෂුසෙහි ආශ්‍රිත වූ හෝ විඥානය යනු චක්‍ඛු විඤ්ඤාණයයි. අන්‍ය වූ ශ්‍රෝත විඥානාදියෙහි ද මේ නයමය.
එහි චක්‍ෂුස නිශ්‍රිත රූප දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ චක්‍ඛු විඤ්ඤාණයයි. රූපමාත්‍ර අරමුණම රසයකොට ඇත්තේ ය. රූපයට අභිමුඛ වීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. රූපාරම්මණාකිරිය මනෝ ධාතුවෙන් පහව යෑම ආසන්න කාරණය කොට ඇත්තේ ය. පිටතින් පැමිණි ශ්‍රෝතාදිය ඇසුරු කළ ශබ්දාදිය දැනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ ශ්‍රෝත ඝාණ ජිව්හාකාය විඥානයෝ ය. ශබ්දාදී වස්තු අරමුණු කරගැනීම රසයකොට ඇත්තාහ. ශබ්දාදියට අභිමුඛ වීම එළඹසිටි කාරණය කොට ගත්තෝ ය. ශබ්දාදිය අරමුණු කොටගත් කිරිය මනෝධාතූන්ගෙන් පහවීම ආසන්න කාරණය කොට ඇත්තාහ.
මෙහි වනාහි (පද) පිළිවෙළින් පද දසයක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් සතකි. ඔවුනතුරෙන් පසක් අවිභක්තිකය දෙකක් සවිභක්තිකය. ඔවුනතුරෙන් සිත ඵස්සපඤ්චමක වශයෙනුත් ඉන්‍ද්‍රිය වශයෙනුත් දෙතැනක බෙදීමට යෙයි. වේදනාව ඵස්ස පඤ්චමක ඣානඞ්ග ඉන්‍ද්‍රිය වශයෙන් ස්ථාන තුනෙකමය. මේ තුනම රාසි ද වෙයි. එකම මනසිකාරය යේවාපනකය.
නිර්දේශ වාරයෙහි වක්‍ෂුර් විඥානය පණ්ඩර යැයි වස්තු වශයෙන් කියන ලදී. කුසලය වනාහි තමාගේ පරිශුද්ධතාවෙන් පණ්ඩර නම් වෙයි. වස්තු පණ්ඩරත්වය නිසා භවාංග නිර්දේශයෙහි අකුසලය අවිපාකය,
චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි චිත්තසස ඨිති යන එකම පදය කියන ලදී. මේ දුර්වල සිත ද මෙහිදී ප්‍රවෘත්ති ස්ථිති මාත්‍රයම ලබයි. සංස්ථිති අවස්ථිති භාවයට පැමිණීමට නො හැකි වෙයි. සංග්‍රහ වාරයෙහි ධ්‍යානාංග මාර්ගාංගයෝ මතුකොට නො දක්වන ලදහ. කවර හෙයින්? ධ්‍යානය වනාහි විතර්ක පශ්චිමක නමි. මාර්ගය නම් හේතුපශ්චිමකය. ප්‍රකෘතියෙන් විතර්ක රහිත සිතෙහි ධ්‍යානාංගය නොලැබෙයි. අහේතුක සිතෙහි ද මාර්ගාංග නො ලැබෙයි. එහෙයින් මෙහි දෙකම මතුකර නො දක්වන ලදී. මෙහිදී සංස්කාර ස්කන්‍ධය ද චතුරංගිකවම බෙදන ලදී. ශුන්‍යතා වාරය ප්‍රකෘතිකමය. ශ්‍රෝත විඥානාදී නිර්දේශ ද මේ නයින්ම දතයුතුයි.