ත්‍රෛභූමක කුශල වර්ණනාව
දැන් යම් හෙයකින් මේ සියලුම ත්‍රෛභූමක කුශලයෝ හීනාදී ප්‍රභේදයෙන් යුතුව පවතිත් ද, එහෙයින් ඔවුන්ගේ ඒ ප්‍රභේදය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි හීන ලාමකය. එය රැස්කිරීම් වශයෙන් දතයුතුයි. හීන උත්තම මධ්‍යයෙහි වූයේ මධ්‍යමය, ප්‍රධානත්වයට පමුණුවන ලද්දේ ප්‍රණීතය, උත්තම යන අර්ථයි. ඒවාද ආයූහන වශයෙන් දතයුතුයි. යමෙකුගේ වනාහි ආයු හණක්‍ෂණයෙහි ඡන්‍දය හෝ වීර්යය හෝ චිත්තය හෝ වීමංසාව හෝ හීන වේද, එය හීන නමි. යමෙකුගේ ඒ ධර්මයෝ මධ්‍යම ද ප්‍රණීත ද වෙත් ද ඒ මධ්‍යම ද ප්‍රණීත ද වෙයි. යමක් වනාහි කත්තුකම්මතා නම් වූ ඡන්‍දය, ප්‍රධාන වූ ඡන්‍දය, ජ්‍යෙෂ්ඨ වූ ඡන්‍දය පූර්වාංගම කොට රැස්කරන ලදද, එය ඡන්‍දාධිපත්‍යයෙන් ආ හෙයින් ඡන්‍දාධිපතෙය්‍ය නමි. විරියාධිපතෙය්‍ය ආදියෙහි ද මේ නයමය.
මෙතැන සිට වනාහි නය ගණනය කළ යුතුයි. සියල්ලට වනාහි බෙදන ලද්දේ එකම නයකි. හීන යනු එකකි. මධ්‍යම යනු එකකි. ප්‍රණීත යනු එකකි. ඡන්‍දාධිපතෙය්‍ය යනු එකකි. මේ වනාහි ඡන්‍දාධිපතෙය්‍ය පංච නයයි. මෙසේ විරියාධිපතෙය්‍ය ආදියෙහි ද පංචක සතරක් වශයෙන් විස්සක් වෙයි. පළමුවැන්න එක් සුද්ධික නයකි. හීනං යනාදී තුනෙකි. දොළොසක්දැයි මෙසේ ද නය විස්සක් වේ.
මේ මහානය විස්ස කොහිදී බෙදන ලදද යත්? මහා ප්‍රකරණයෙහි හීනත්‍රිකයේදී බෙදන ලදී. මෙතැනදී වනාහි හීනත්‍රිකයෙන් මධ්‍යම රාශිය ගෙන හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් කොටස් තුනක් කළ යුතුයි. එයින් ද මධ්‍යම රාශිය හැර හීනප්‍රණීත රාශි ගෙන කොටස් නවය නවය වශයෙන් කළ යුතුයි. හීනයෙහිම වනාහි හීනයක් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණීතයත් ඇත. ප්‍රණීතයෙහි ද හීනයත් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණිතයත් ඇත. ප්‍රණීතයෙහි ද හීනයත් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණීතයත් ඇත. එසේම හීන හීනයෙහි හීනය, හීන හීනයෙහි මධ්‍යමය, හීන හීනයෙහි ප්‍රණීත ය, හීන මධ්‍යමයෙහි හීන ය, හීන මධ්‍යමයෙහි මධ්‍යම ය, හීන මධ්‍යමයෙහි ප්‍රණීත ය. හීන ප්‍රණීතයෙහි හීන ය, හීන ප්‍රණීතයෙහි මධ්‍යම ය, හීන ප්‍රණීතයෙහි ප්‍රණීතය යැයි මේ එක් නවකයෙකි. ප්‍රණීත හීනයෙහි ද හීනයක් නම් ඇත. ප්‍රණීත හීනයේ ද මධ්‍යමයෙක, ප්‍රණීත මධ්‍යමයෙහි හීනයක, ප්‍රණීත මධ්‍යමයෙහි මධ්‍යම ය, ප්‍රණීත මධ්‍යමයෙහි ප්‍රණීත ය, ප්‍රණීත ප්‍රණීතයෙහි හීන ය, ප්‍රණීත ප්‍රණීතයෙහි මධ්‍යමය, ප්‍රණීත ප්‍රණීතයෙහි ප්‍රණීතයැයි මේ දෙවන නවකයැයි නවක දෙකකි. දහඅටකි. මේ දහඅට කර්මද්වාර නමි. මොවුන්ගෙන් ප්‍රභාවිත හෙයින් මොවුන්ගේ වශයෙන් ක්‍ෂත්‍රියෙන් දහඅටෙක බමුණෝ දහඅටෙක වෛශ්‍යයෝ දහඅටෙක ශුද්‍රයෝ දහඅටෙක (මෙසේ) හතළිස් අටක් ගෝත්‍ර චරණයෝ දතයුත්තාහ.
මේ ත්‍රෛභූමක කුශලයන් අතුරෙන් කාමාවචර කුශලය වනාහි ද්වි හේතුක ද ත්‍රිහේතුක ද වෙයි. රූපාවචරය ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් රූපාවචරය වනාහි ත්‍රිහේතුකමය, ඥාන සම්ප්‍රයුක්තමය, මෙහිදී කාමාවචරය අධිපතියා සමග ද අධිපතියාගෙන් තොරව ද උපදී. රූපාවචර අරුපාවචර අධිපති සම්පන්නම වෙයි. මෙහි කාමාවචර කුශලයෙහි ද ආරම්මණාධිපති සහජාතාධිපති යන අධිපතීහු දෙදෙනාම ලැබෙත්. රූපාවචර අරූපාවචරයන්හි ආරම්මණාධිපති නොලැබෙයි. සහජාතාධිපතිම ලැබෙයි. එහි සිත පිළිබඳව සිතේ අධිපති බව සම්ප්‍රයුක්ත ධර්මය වශයෙන් කියන ලදී. සිත්දෙක එකට නොවීමෙන් සම්ප්‍රයුක්ත සිතට චිත්තාධිපති නම් නැත. ඡන්‍දාදීන්ට ඡන්‍දාධිපති ආදිය ද එසේය. ඇතැම් අයෙක් වනාහි සිත ඇත්තහුට කුසල් වේ නම් මටත් වන්නේ යැයි මෙසේ යම් සිතක් ප්‍රධාන කොට ජ්‍යෙෂ්ඨ කොට වෙනත් කුසල් සිතක් එක්කරන ලද ද, ඔහුගේ ඒ පළමු සිත චිත්තාධිපති නම් වෙයි. එයින් ආ හෙයින් මෙය චිත්තාධිපතෙය්‍ය නමැයි මෙසේ ආගමන වශයෙන් ද අධිපති නම් කැමති වෙත්, මේ නය වනාහි පාළියෙහි වත් අටුවාවෙහි වත් නො දැක්වේ. එහෙයින් කියන ලද නයින්ම අධිපතිභාවය දතයුතුයි. මේ එකුන්විසි මහ නයෙහි ද පළමු සුද්ධිකනයෙහි කියන ලද ප්‍රමාණම සිත් ද නවක ද පාඨවාර ද වෙයි. එහෙයින් ඥාන සම්ප්‍රයුක්තයන්හි කියන ලද ප්‍රමාණයට වඩා චිත්ත නවකවාර භේදයෙහි විසිගුණයක් ද ඥාන සම්ප්‍රයුක්ත සතරෙහි සොළොස් ගුණයක් ද දතයුතුයි. මේ ත්‍රෛභූමක කුශලයෙහි ප්‍රකීර්ණක කථා නමි.