නෙවසඤ්ඤානාසඤ්ඤායතනං
ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙහි ද පළමු කී නයින්ම ආකිඤ්චඤ්ඤං ආයතනයනමස්ස අධිට්ඨානෙන යනු මොහුගේ ධ්‍යානයත් ආකිඤ්චඤ්ඤායතනයයි. කියන ලද නයින්ම අරමුණත් එසේය. මෙසේ මේ ධ්‍යානයත් අරමුණත් යන දෙකම නො පැවතීම කිරීමෙන් ද මෙනෙහි නො කිරීමෙන් ද ඉක්මවා ද යම්හෙයකින් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කළයුතුයි. එහෙයින් මේ දෙකම එක්කොට ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙය කියන ලදැයි දතයුතුයි.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඤ්ඤාසහගතං යන මෙහි වනාහි ඒ සංඥාවගේ ස්වභාවයෙන් එය නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි කියනු ලැබේ. යම් අයුරකින් පිළින්පනෙකුට ඒ සංඥාව වේද පළමුව එය දැක්වීමට විභංගයෙහි ‘නෙවසඤ්ඤීහොති’ යැයි උපුටා ඒ ආකිඤ්චඤ්ඤායතනයම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි ද සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි ද එහෙයින් නේවසඤ්ඤී නාසඤ්ඤී යැයි කියනු ලැබේ යැයි කියන ලදී. එහි සන්තතො මනසිකරොති යනු මේ සමාපත්තිය ඒකාන්තයෙන් ශාන්තය. එහි වනාහි නත්‍ථිභාවය ද අරමුණු කොට සිටීයැයි මෙසේ ශාන්ත අරමුණු ඇති හෙයින් එය ශාන්ත යැයි මෙනෙහි කරයි. ශාන්ත වශයෙන් හෝ මෙනෙහි කරයි. කෙසේ නම් සමතික්‍රමය වේ ද? ආවර්ජනයට නොනැවති බැවිනි. හෙතෙම වනාහි යම්ලෙසකින් එය මෙනෙහි කරයිද, ඉක්බිති ඔහුට මම මෙය ආවර්ජනය කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්‍රත්‍යවේක්‍ෂා කරමි යන මේ සිතාබැලීමක් එක්තැන් කිරීමක් මෙනෙහි කිරීමක් නොවේ. කවරහෙයින් ද? ආකිචඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා, නාසඤ්ඤායතනයේ අතිශයින්ම ශාන්ත අතිශයින්ම ප්‍රණීතතාව නිසාය.
යම්සේ වනාහි මහත් වූ රාජානුභාවයෙන් යුත් රජ ඇතුපිට නැගී නුවර වීථියෙහි හැසිරෙනුයේ එක් වස්ත්‍රයක් දැඩිව හැඳ එකකින් හිස වෙළා දත්සුනු ආදිය තැවරුණු ශරීර ඇති නොයෙක් දළ කැටයම් ආදිය කරන දන්තකාරාදී ශිල්පීන් දැක බොලව් ඒකාන්තයෙන් පුදුමයි. දක්‍ෂ ආචාර්යවරු මෙබඳු වූද ශිල්ප කරන්නේ යැයි මෙසේ ඔවුන්ගේ දක්‍ෂතාවෙහි සතුටු වෙයි. ඔහුට මම රාජ්‍යය හැර මෙබඳු වූ ශිල්පියෙක් වන්නේ නම් ඉතා හොඳය යන මෙබඳු අදහසක් නො වන්නේය. එයට හේතු කවරේ ද? රාජ්‍යශ්‍රීයෙහි මහානිසංසතාවෙනි. හෙතෙම ශිල්පීන් ඉක්මවාම යයි. මෙපරිද්දෙන් මෙතෙම ඔහුට මම මේ සමාපත්තිය ආවර්ජනා කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්‍රත්‍යවේක්‍ෂා කරමියි යන මේ සිතාබැලීමත් සිත එක්තැන් කිරීමත් මෙනෙහි කිරීමක් නොවේමය. හෙතෙම එය ශාන්ත වශයෙන් මෙනෙහි කරනුයේ පළමු කී නයින්ම ඒ අතිශයින්ම සියුම් සමාධිගත සංඥාවට පැමිණෙයි. හෙතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වෙයි. සංස්කාරාවශේෂ සමාපත්තිය යනු අතිශයින්ම සියුම් බවට පැමිණි සංස්කාර ඇති චතුර්ථ අරූප සමාපත්තියයි.
දැන් මෙසේ අධිගම කළ සංඥාවෙහි වශයෙන් යම් ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය යැයි කියනු ලැබේද, එය අර්ථ වශයෙන් දක්වන්නට නේවසඤ්ඤානාසඤ්ඤායතන යනු නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණහුගේ හෝ පැමිණියහුගේ හෝ මෙලොව සැප විහරණයෙහි යෙදුණෙකුගේ හෝ චිත්ත චෛතසික ධර්මයෝයැයි කියන ලදී. ඔවුනතුරෙන් මෙහිදී සමවැදුණහුගේ චිත්ත චෛතසික ධර්මයෝ අභිප්‍රේතයහ.
මෙහි වචනාර්ථය වනාහි ඔළාරික සඤ්ඤාවගේ අභාවයෙන් ද සියුම් සඤ්ඤාව හෝ ඇති බැවින් ද මේ සය සම්ප්‍රයුක්ත ධර්මයන්ගෙන් යුත් ධ්‍යානයට සංඥා නැත්තේය. අසංඥ ද නොවේ යනු = නේවසඤ්ඤානාසඤ්ඤාය, ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ද මනායතන ධම්මායතනයන්හි ඇතුළත් හෙයින් ආයතන ද වේ යනු = නේවසඤ්ඤානාසඤ්ඤායතනය, නොහොත් මෙහි යම් සංඥාවක් වේද, එය පටු සංඥා කෘත්‍යයක් කරන්නට අසමර්ථ හෙයින් නේවසඤ්ඤාය, සංස්කාරවශේෂ සූක්‍ෂමභාවයෙන් (සංඥාවක්, විද්‍යාමාන හෙයින් නාසඤ්ඤා යැයි නේවසඤ්ඤානාසඤ්ඤාය, නේවසඤ්ඤානාසඤ්ඤ ද වූ එය සෙසු ධර්මයන් අධිෂ්ඨානාර්ථයෙන් ආයතන ද වෙයි යනු - නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි,
හුදෙක් මෙහි සංඥාව පමණක් මෙබඳු නොවේ. එසේම වේදනාව ද වේදනාත් නොවේ. වේදනා නොවන්නෙත් නොවේ. සිත ද සිතක් නොවේ. සිත නො වන්නේ ද නොවේ. ස්පර්ශය ද ස්පර්ශයත් නොවේ. ස්පර්ශ නො වන්නේ ද නොවේ. සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්හි ද මේ නයමය. මේ දේශනාව වනාහි සංඥාව මුල්කරගෙන කරන ලදැයි දතයුතුයි. පාත්‍රයෙහි තවරන කෙල ආදිකොට ඇති උපමාවලින් මේ අර්ථය පැහැදිලි කරගත යුතුයි. සාමණේර නමක් වනාහි පාත්‍රයේ තෙල් තවරා තැබීය. කැඳ වළඳන වෙලාවෙහි තෙරණුවෝ පාත්‍රය ගෙනෙවයි සාමණේර නමට කීහ. සාමණේර නම පාත්‍රයෙහි තෙල් ඇතැයි කීය. සාමණේරය, එසේ නම් ගෙනෙන්න. තෙල් බෝතලය පුරවමුයි කී කල්හි ස්වාමීනි, නැතැයි කීය. යම්සේ එහි ඇතුළත තැවරී ඇති හෙයින් කැඳත් සමග නො ගැළපෙන හෙයින් තෙල් ඇත්තේ ද වෙයි. බෝතලය පිරවීම ආදියට (අභාව) වශයෙන් නැත්තේ ද වෙයි. මෙසේ ඒ සංඥාව ද පටු සංඥා කෘත්‍යයක් කරන්නට අසමර්ථ හෙයින් නේවසඤ්ඤාය, සංස්කාරාවශේෂ සූක්‍ෂම බැවින් විද්‍යමාන නිසා නාසඤ්ඤා වේ.
මෙහි වනාහි සංඥාකෘත්‍යය යනු කුමක් ද? අරමුණ හැඳිනගැනීම මෙන්ම විදර්ශනාවේ ද විෂයභාවයට පැමිණ කළකිරීම ඇතිකිරීම ද සිහිල් දියෙහි දැවීම් කිස මෙන් තේජෝධාතුව හැඳිනගැනීම් කිස පවා මේ සංඥාව දක්‍ෂව කරන්නට නො හැක්කේ වෙයි. සෙසු සමාපත්තීන්හි සංඥාව මෙන් විදර්ශනාවෙහි විෂයභාවයට පැමිණ නිර්වේදජනනය කිරීමටද නො හැක්කේ ය. අන්‍ය ස්කන්‍ධයන්හි නො කළ පිවිසීම් ඇති භික්‍ෂුව නේවසඤ්ඤානාසඤ්ඤායතන ස්කන්‍ධයන් සම්මර්ශනය කොට කළකිරිමට පත්වීමට සමර්ථ නම් නැත. තවද ශාරිපුත්‍රා යුෂ්මතුන් වහන්සේ ප්‍රකෘතියෙන් විදර්ශකයාන කෙනෙකි. මහාප්‍රාඥයාණ කෙනෙකි. ශාරිපුත්‍රයන් සමාන කෙනෙක්ම හැකිවෙත්, හෙතෙමේ ද මේ ධර්මයෝ වනාහි මෙසේ නැති වී හටගනිත් හටගෙන නැතිවෙත් නැසෙත්යැයි මෙසේ කලාප සම්මර්ශන වශයෙන්ය. අනුපද ධර්ම විදර්ශනා වශයෙන් නොවේ. මේ සමාපත්තිය මෙසේ සියුම්බවට පැමිණියේය.