ආකිඤ්චඤ්ඤායතනං
විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම යනු මෙහිද පෙර කියන ලද නයින්ම මොහුගේ විඤ්ඤාණවං ආයතය අධිෂ්ඨානාර්ථයෙන් ධ්යානය ද විඤ්ඤාණඤ්චායතනයි. කියන ලද ක්රමයෙන් ආරම්මණය ද එසේය. මෙසේ මේ ධ්යානයත් ආරම්මණයත් යන දෙකම නො පැත්ම කිරීමෙන්ද මෙනෙහි නොකිරීමෙන් ද ඉක්මවා ද යම්හෙයකින් මේ ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසිය යුතුද, එහෙයින් මේ දෙකම එක්කොට විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම යන මෙය කියන ලදැයි දතයුතුයි.
ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාසහගතං යන මෙහි වනාහි මොහුට කිසිවක් නැත යනු = අකිඤ්චනය, යටත්පිරිසෙයින් මොහුගේ භවාංග මාත්රයකුදු නැතැයි කියන ලද්දේ වෙයි. ආකිඤ්චනයේ භාවය = ආකිඤ්චඤ්ඤය, ආකාසානඤ්චායතනයේ විඤ්ඤාණපගමනයට මේ නමකි. ඒ ආකිඤ්චඤ්ඤාය අධිෂ්ඨානාර්ථයෙන් මේ සංඥාවට ආයතනය යනු = ආකිඤ්චඤ්ඤායතනයයි. ඒ ආකිඤ්චඤ්ඤායතනයේ පැවති සංඥාවෙන් යුක්තය යනු = ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා සහගතයි, ආකාසයෙහි පැවති විඤ්ඤාණය පහවූ අරමුණ ඇති ධ්යානයට මේ නමකි. මෙහි විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය පිළිබඳ ආශාව විනාශ කිරීම දුක්හෙයින් දුක්ඛා පටිපදාය, නසන ලද ආසවගේ අර්පණා පරිවාය දන්ධතාව නිසා දන්ධාභිඤ්ඤාය, විපරීත වශයෙන් සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ද වේ. පරිත්ත කසිණය ඉගිළු ආකාසයෙහි පැවති විඤ්ඤාණාපගම අරමුණ හෙයින් පරිත්තාරම්මණතාය, විපරීත වශයෙන් අප්පමාණාරම්මණතාව ද දතයුතුයි. සෙස්ස පෙර හා සමානමය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං
ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙහි ද පළමු කී නයින්ම ආකිඤ්චඤ්ඤං ආයතනයනමස්ස අධිට්ඨානෙන යනු මොහුගේ ධ්යානයත් ආකිඤ්චඤ්ඤායතනයයි. කියන ලද නයින්ම අරමුණත් එසේය. මෙසේ මේ ධ්යානයත් අරමුණත් යන දෙකම නො පැවතීම කිරීමෙන් ද මෙනෙහි නො කිරීමෙන් ද ඉක්මවා ද යම්හෙයකින් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කළයුතුයි. එහෙයින් මේ දෙකම එක්කොට ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙය කියන ලදැයි දතයුතුයි.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඤ්ඤාසහගතං යන මෙහි වනාහි ඒ සංඥාවගේ ස්වභාවයෙන් එය නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි කියනු ලැබේ. යම් අයුරකින් පිළින්පනෙකුට ඒ සංඥාව වේද පළමුව එය දැක්වීමට විභංගයෙහි ‘නෙවසඤ්ඤීහොති’ යැයි උපුටා ඒ ආකිඤ්චඤ්ඤායතනයම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි ද සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි ද එහෙයින් නේවසඤ්ඤී නාසඤ්ඤී යැයි කියනු ලැබේ යැයි කියන ලදී. එහි සන්තතො මනසිකරොති යනු මේ සමාපත්තිය ඒකාන්තයෙන් ශාන්තය. එහි වනාහි නත්ථිභාවය ද අරමුණු කොට සිටීයැයි මෙසේ ශාන්ත අරමුණු ඇති හෙයින් එය ශාන්ත යැයි මෙනෙහි කරයි. ශාන්ත වශයෙන් හෝ මෙනෙහි කරයි. කෙසේ නම් සමතික්රමය වේ ද? ආවර්ජනයට නොනැවති බැවිනි. හෙතෙම වනාහි යම්ලෙසකින් එය මෙනෙහි කරයිද, ඉක්බිති ඔහුට මම මෙය ආවර්ජනය කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්රත්යවේක්ෂා කරමි යන මේ සිතාබැලීමක් එක්තැන් කිරීමක් මෙනෙහි කිරීමක් නොවේ. කවරහෙයින් ද? ආකිචඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා, නාසඤ්ඤායතනයේ අතිශයින්ම ශාන්ත අතිශයින්ම ප්රණීතතාව නිසාය.
යම්සේ වනාහි මහත් වූ රාජානුභාවයෙන් යුත් රජ ඇතුපිට නැගී නුවර වීථියෙහි හැසිරෙනුයේ එක් වස්ත්රයක් දැඩිව හැඳ එකකින් හිස වෙළා දත්සුනු ආදිය තැවරුණු ශරීර ඇති නොයෙක් දළ කැටයම් ආදිය කරන දන්තකාරාදී ශිල්පීන් දැක බොලව් ඒකාන්තයෙන් පුදුමයි. දක්ෂ ආචාර්යවරු මෙබඳු වූද ශිල්ප කරන්නේ යැයි මෙසේ ඔවුන්ගේ දක්ෂතාවෙහි සතුටු වෙයි. ඔහුට මම රාජ්යය හැර මෙබඳු වූ ශිල්පියෙක් වන්නේ නම් ඉතා හොඳය යන මෙබඳු අදහසක් නො වන්නේය. එයට හේතු කවරේ ද? රාජ්යශ්රීයෙහි මහානිසංසතාවෙනි. හෙතෙම ශිල්පීන් ඉක්මවාම යයි. මෙපරිද්දෙන් මෙතෙම ඔහුට මම මේ සමාපත්තිය ආවර්ජනා කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්රත්යවේක්ෂා කරමියි යන මේ සිතාබැලීමත් සිත එක්තැන් කිරීමත් මෙනෙහි කිරීමක් නොවේමය. හෙතෙම එය ශාන්ත වශයෙන් මෙනෙහි කරනුයේ පළමු කී නයින්ම ඒ අතිශයින්ම සියුම් සමාධිගත සංඥාවට පැමිණෙයි. හෙතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වෙයි. සංස්කාරාවශේෂ සමාපත්තිය යනු අතිශයින්ම සියුම් බවට පැමිණි සංස්කාර ඇති චතුර්ථ අරූප සමාපත්තියයි.