ධම්මුද්දෙසවාරො
ඵස්සපඤ්චමකරාසිවණ්ණනා
තස්මිං සමයෙ යන මෙය අනියමින් දක්වන ලද සමය ශබ්දයාගේ නියම වශයෙන් ප්‍රතිනිර්දේශ (නැවත දැක්වීම) වචනයකි. එහෙයින් යම් සමයෙක්හි කාමාවචර කුශල සිතක් උපන්නේ වේද, එ සමයෙහිම ස්පර්ශය වෙයි -පෙ- අවික්‍ෂෙපය වෙයි යන මේ අර්ථය දතයුතුයි. එහි සිත යම්සේද ස්පර්ශාදියෙහි ද මෙසේ ස්පර්ශය වෙයි. කුමක් වේ ද, කාමාවචර වෙයි. කුසල වෙයි. උපන්නේ වෙයි. සොම්නස් සහගත වෙයි. යන ආදී නයින් ලබන පද වශයෙන් යෝජනා කළයුතුයි. වේදනාවෙහි වනාහි සොම්නස් සහගත යනු පඤ්ඤින්‍ද්‍රියෙහි ද ඥාන සම්ප්‍රයුක්තයැයි නො ලැබේ. එහෙයින් ලබන ලද පද වශයෙන් යැයි කියන ලදී. මෙය අර්ථකථාවෙන් තොර ආචාර්ය මතයකි. මෙය වනාහි සාර වශයෙන් නොගත යුතුයි.
එහෙයින් මෙහිදී වනාහි ස්පර්ශයම පළමුව කියන ලද ද, සිතට පළමුවෙන් වැටෙන හෙයිනි. ස්පර්ශය වනාහි අරමුණේදී සිතට පළමුවෙන් වැටී අරමුණ ස්පර්ශ කෙරෙමින් උපදී. එහෙයින් පළමුව කියන ලදී. ස්පර්ශයෙන් ස්පර්ශකොට වේදනාව විසින් විඳිනු ලැබේ. වේදනාව විසින් හැඳිනගනු ලැබේ. චේතනාවෙන් සිතනු ලැබේ. එහෙයින් (මෙසේ) කියන ලදී. ‘මහණෙනි, ස්පර්ශ කරන ලද්දේ විඳී. ස්පර්ශ කරන ලද්දේ හැඳින ගනී. ස්පර්ශ කරන ලද්දේ සිතයි’ යනුයි.
තව ද මේ ස්පර්ශය නම් යම් සේ ප්‍රසාදයට පැමිණ ටැඹ නම් සෙසු ද්‍රව්‍ය සම්භාරයන්ට බලවත් සාධකය වෙයි ද, තලාඳ මූට්ටු, අත්තිවාරම් බිත්ති කර්ණිකා ගොනැසි පැලැන්පෝරු මුවවිටි ආදීහු ටැඹෙහි බඳනා ලදුව ටැඹෙහි පිහිටියාහු ද, එපරිද්දෙන් සහජාත සම්ප්‍රයුක්ත ධර්මයන්ට (ස්පර්ශය) බලවත් ප්‍රත්‍ය වෙයි. මෙය වනාහි ටැඹ සමානය. අවශේෂයෝ ද්‍රව්‍ය සම්භාර සමානයහ යනුයි. එහෙයින් ද පළමුව කියන ලදී. මෙය වනාහි කාරණයක් නොවේ. එකම සිතක උපන් ධර්මයෝ වනාහි මෙය පළමුව උපන්නේය. මෙය පසුව යැයි මෙය කියන්නට නො ලබන්නෝය. බලවත් ප්‍රත්‍යය බවෙහිදු ස්පර්ශයට කරුණක් නො පෙනේ. දේශනාවාර වශයෙන්ම වනාහි ස්පර්ශය පළමුව කියන ලදී. වේදනාව වෙයි ස්පර්ශය වෙයි. සංඥාව වෙයි ස්පර්ශය වෙයි. චේතනාව වෙයි ස්පර්ශය වෙයි. සිත වෙයි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි සංඥාව වෙයි. චේතනාව වෙයි විතර්කය වෙයි යැයි දක්වන්නට වටනේ ය. දේශනා වාරයෙන් වනාහි ස්පර්ශයම පළමුව කියන ලදැයි දතයුතුයි. මෙහි යම්සේ ද මෙසේ සෙසු ධර්මයන්හි ද පූර්වාපර ක්‍රමයක් නම් නො සෙවිය යුතුයි. වචනාර්ථ ලක්‍ෂණ රසාදියෙන් වනාහි ධර්මයෝම සෙවිය යුත්තාහ.
ඒ කෙසේද යත්, ස්පර්ශ කෙරේනුයි ඵස්සයි. එය ස්පර්ශ කරන ලක්‍ෂණ ඇත්තේය. එකට ගැටීම රසයයි. එක්වීම එළඹ සිටි ආකාරයයි. ඉදිරියට පැමිණි විෂය ආසන්න කාරණයයි.
මේ වනාහි අරූප ධර්මය ද සමානය. අරමුණුවල ස්පර්ශ කරන අයුරින් පවතීනුයි ඵුසන ලක්‍ෂණයයි. එක් අතෙකින් නො ඇලෙන්නේ නමුදු ඇස රූපය මෙන් කන ශබ්ද මෙන් ද සිතත් අරමුණත් ගැටේනුයි සංඝටන රසයයි. වස්තු අරමුණු එකම ගැටීමෙන්ම උපන්හෙයින් සම්පත්ති අර්ථයෙන් රසය හා ගැටෙන රසය යැයි දතයුතුයි. අට්ඨකථාවෙහි ද මෙය කියන ලදී. ‘චාතුර්භූමක ස්පර්ශය ස්පර්ශ කරන ලක්‍ෂණ නැත්තේ නම් නොවේ. සංඝටන රසය වනාහි පංච ද්වාරිකම වෙයි. පංචද්වාරිකයට වනාහි ඵුසන ලක්‍ෂණය යනු ද සංඝටන රසය යනු ද නාමයි. මනෝද්වාරිකයට ඵුසන ලක්‍ඛණ යනුම නාමයි. සංඝට්ඨන රසය නොවේ’ යනුයි.
මෙය ද කියා මේ සූත්‍රය ගෙනහැර දක්වන ලදී. ‘මහරජ, යම්සේ එළුවෝ දෙදෙනෙක් යුද්ධ කරත්ද, එක් එළුවෙක් යම්සේ ද ඇස එසේ යැයි දතයුතුයි. දෙවන එළුවා යම්සේ ද රූපය එසේ යැයි දතයුතුයි. ඔවුන්ගේ එක්වීම යම්සේ ද ස්පර්ශය එසේයැයි දතයුතුයි. (මෙසේ ස්පර්ශය ස්පර්ශ කරන ලක්‍ෂණ ඇත්තේය. සංඝට්ටන රසයමය.) මහරජ, යම්සේ කයිතාලම් දෙකක් වාදනය වේ ද, අත් දෙකක් වාදනය වේ ද, එක් අතක් යම්සේ ද ඇස එසේ යැයි දතයුතුයි. දෙවන අත යම්සේ ද රූපය එසේ යැයි දතයුතුයි. ඔවුන්ගේ එක්වීම යම්සේ ස්පර්ශය එසේ යැයි දතයුතුයි. මෙසේ ස්පර්ශය හ්‍රසන ලක්‍ෂණ ද සංඝට්ටන රස ද ඇත්තේය’ යනු විස්තරයි.
යම්සේ වනාහි ‘ඇසින් රූපය දැක’ යන ආදීන්හි චක්‍ෂුර් විඥානාදිය චක්‍ෂු ආදී නමින් කියන ලදී. මෙසේ මෙහි ද ඒවා චක්‍ෂු ආදී නමින් කියන ලදැයි දතයුතුයි. එහෙයින් මෙසේ ඇස දතයුතුය යන ආදීන්හි චක්‍ෂුර්විඥානය මෙසේ දතයුතු යැයි මේ නයින් අර්ථය දතයුතුයි. මෙසේ ඇති කල්හි චිත්තාරම්මණ සංඝටනයෙන් මේ සූත්‍රයෙහි ද කෘත්‍යාර්ථයෙහි රසයෙන් සංඝටන රසයක් සිද්ධ නොවේමය.
තික සන්නිපාත සංඛ්‍යාත තම කාරණයාගේ වශයෙන් කියන ලද හෙයින් සන්නිපාතයේ එළඹීමයි. මෙය වනාහි ඒ ඒ තැන්හි තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. මෙසේ කාරණයාගේම වශයෙන් ප්‍රකාශ කරන ලදැයි මේ සූත්‍රපදයාගේ ද තිදෙනාගේ එක්වීම ස්පර්ශයි යන මේ අර්ථයි. ස්පර්ශය යනු සංගතිමාත්‍රයම නොවේ.
මෙසේ ප්‍රකාශ කරන ලද හෙයින් වනාහි ඒ ආකාරයෙන්ම එළඹ සිටී යැයි සන්නිපාත පච්චුට්ඨාන යැයි කියන ලදී. ඵලාර්ථයෙන් වනාහි එළඹ සිටීමේ දී මෙය වේදනා පච්චුට්ඨාන නම් වෙයි. මෙය වේදනාව එළඹවයි. උපදවයි යන අර්ථයි. උපදවනු ලබන්නේ ද යම්සේ බාහිර උණුසුම හේතුවෙන් ද ලාඛාසංඛ්‍යාත ධාතු නිශ්‍රිත උණුසුම තමා නිශ්‍රිතයෙහි මෘදුභාවකාරී වෙයි. තමාට ප්‍රත්‍යභූත වූ ද බාහිර පහව ගිය දැල් ඇති අඟුරු සංඛ්‍යාත උෂ්ණ භාවයෙහි නොවේ. මෙසේ වස්තු ආරම්මණ සංඛ්‍යාත සමාන වූ අන් ප්‍රත්‍ය ද සිත ඇසුරු කළ හෙයින් තමාට නිශ්‍රය වූ සිතෙහිම වේදනා උත්පාද වෙයි. තමාට ප්‍රත්‍යය වූ වස්තුවෙහි හෝ ඉෂ්ටාරම්මණයෙහි හෝ නොවේ යැයි දතයුතුයි. එයින් ඉපිද එක්තැන් වූ ඉන්‍ද්‍රිය විසින් පිළියෙළ කළ විෂයෙහි වනාහි අනතුරුවම උපදනා හෙයින් එළඹුණු විෂය ආසන්න කාරණා කොට ඇත්තේ යැයි කියනු ලැබේ.