ත්‍රිකමාතෘකා වර්ණනාව
දැන්:-
ඉති මෙ භාසමානස්ස අභිධම්මකථං ඉමං
අචික්‍ඛිත්තා නිසාමෙථ දුල්ලභා හි අයං තථා ති
මෙසේ මා විසින් කියනු ලබන මේ අභිධර්ම කථාව අවික්‍ෂිප්ත සිතින් යුතුව අසව්, මේ අභිධර්ම කථාව වනාහි දුර්ලභය. මෙසේ ප්‍රතිඥා දුන් අභිධර්ම කථාව කීමට අවකාශ පැමිණියේය. එක් අභිධර්මය නම් ධම්මසංගණී ආදී වූ සප්තප්‍රකරණයෝයි. ධම්ම සංගිණියද චිත්තෝත්පාද කාණ්ඩය ආදී වශයෙන් කාණ්ඩ සතරකි. චිත්තෝත්පාද කාණ්ඩය ද මාතිකා පදභාජනීය වශයෙන් දෙවදෑරුම්ය. එහි මාතිකා පළමුවෙන් එයි. එකී මාතිකා ද තිකමාතිකා දුකමාතිකා යැයි දෙවැදෑරුම්ය. එහි තිකමාතික පළමුව එයි. තික මාතිකාවේ ද කුසලත්තිකය පළමුව එයි. කුසලත්තිකයෙහි ද ‘කුසලාධම්මා’ යන පදයයි. එහෙයින් :
ඉතො පට්ඨාය ගම්භීරං අභිධම්මකථං ඉමං
වුච්චමානං නිසාමෙථ එකග්ගා සාධු සාධවො ති
සත්පුරුෂයෙනි, මෙතැන් පටන් කියනු ලබන ගැඹුරු වූ මේ අභිධර්ම කථාව එකග වූ සිත් ඇතිව මනාව අසව්.
‘කුශල ධර්මයෝ ය, අකුශල ධර්මයෝ ය, අව්‍යාකෘත ධර්මයෝයැ’යි යන මේ වනාහි ආදි පදයෙන් නම් ලද කුශලත්‍රිකය නම් වේ. සැප වේදනාවෙන් යුත් ධර්මයෝය. දුක් වේදනාවෙන් යුත් ධර්මයෝ ය. දුක් නොවූත් සැප නොවූත් වේදනාවෙන් යුත් ධර්මයෝය යන මෙය සියලු පදයන්ගේ ලද නම් ඇති වේදනාත්‍රිකය නම් වෙයි. මෙසේ ආදිපද වශයෙන් හෝ සියලු පද වශයෙන් හෝ සියලුම තික දුකයන් නාමය දතයුතුයි. මේ සියල්ලම පරිච්ඡේද පසළොසකින් වෙන් වෙන්කරන ලදී. ත්‍රිකයන්ට එක් පරිච්ඡේදයකි. ද්විකයන්ට තුදුසකි. ‘හේතු ධර්මයෝ ය, නහේතු ධර්මයෝ යැ’යි යන ආදිය වනාහි ද්වික ෂට්කයයි. ග්‍රන්ථ වශයෙන් ද අර්ථ වශයෙන් ද ඔවුනොවුන්ගේ සම්බන්ධයෙන් කෙමියක් මෙන් ද සමූහයක් මෙන් ද වී සිටි හෙයින් හේතුගොච්ඡක යැයි කියනු ලැබේ. එයින් අන්‍ය වූ සප්‍රත්‍ය ධර්මයෝ ය. අප්‍රකට ධර්මයෝය යන ආදී එකිනෙකට සම්බන්ධ නොවූ හුදෙක් සාමාන්‍ය දුක වශයෙන් රැස්කොට වෙන් වෙන්ව ගොච්ඡ අතර තැබූ හෙයින් ද අන්‍ය වූ මහන්තර දුකයන් අතරෙහි සුළු හෙයින් චුල්ලන්තර දුක යැයි දතයුතුයි. ඉන්පසුව ආසව දුකාදී ෂට් ද්විකයන්ගේ වශයෙන් ආසව ගොච්ඡිතය ද සංයෝජනාදීන්ගේ වශයෙන් සංයෝජන ගොච්ඡකය ද, එසේම ගන්ථ ඕඝ යෝග නීවරණ දුකාදීන්ගේ වශයෙන් ගන්ථ ඕඝ යෝග නීවරණ ගොච්ඡකයෝ ද පරාමාස දුකාදී පස්වැදෑරුම් දුකයන්ගේ වශයෙන් පරාමාස ගොච්ඡකයැයි ද සියලුම සප්ත ගොච්ඡකයෝ දතයුතුයි. ඉන්පසුව ‘සාරම්මණා ධම්මා’ යන ආදීහු තුදුස් මහන්තර දුකයෝ නම් වෙත්. ඉක්බිති උපාදාන දුකාදී ෂට්ද්වික උපාදාන ගොච්ඡක නමි. ඉක්බිති දස්සනෙන පහාතබ්බ දුකාදි අටළොස් දුක අභිධර්ම මාතෘකාවේ අවසානයේ තැබූ හෙයින් පිට්ඨිත දුක නම් වෙයි. ‘විද්‍යාභාගීය ධර්මයෝ ය, අවිද්‍යාභාගීය ධර්මයෝ ය’ යන ආදී දෙසාළිස් දුක වනාහි සූත්‍රාන්තික ද්විත නම් වෙයි. මෙසේ මේ සියල්ලම පරිච්ඡේද පසළොසකින් වෙන් කරන ලදැයි දතයුතුයි.
මෙසේ වෙන්කරන ලද මේවා සප්‍රදේශ, නිෂ්ප්‍රදේශ වශයෙන් කොටස් දෙකක් වෙයි. මේවා අතුරෙන් තික නවයත් දුක සැත්තෑඑකත් සප්‍රදේශ වූ රූපාරූප ධර්මයන් ගන්නා ලද හෙයින් සප්‍රදේශ නම් වෙයි. අවශේෂ වූ තික තෙළෙස ද සැත්තෑඑක් දුකයෝ ද නිෂ්ප්‍රදේශ නම් වෙයි. එහි ත්‍රිකයන් අතරෙහි වනාහි වේදනාත්‍රිකය, විතර්කත්‍රිකය, ප්‍රීතිත්‍රිකය, උත්පන්න ත්‍රිකය, අතීත ත්‍රිකය, ආරම්මණ ත්‍රික සතරය යන මේ ත්‍රික නවය සප්‍රදේශ නම් වෙයි. දුකයන් අතුරෙන් උපාදාන ගොච්ඡකය කෙළවර කොට ඇති හේතුගොච්ඡකය ආදී නව ගොච්ඡකයන් කෙළවර තුන තුන බැගින් වූ දුක ද, කිලේස ගොච්ඡක අවසානයේ වූ දුක සතර ද ‘චිත්ත සම්පයුත්තා ධම්මා, චිත්ත විප්පයුත්තා ධම්මා චිත්ත සංසට්ඨා ධම්මා චිත්තවියං සට්ඨා ධම්මා’ යන මහන්ත දුක දෙක ද, සුත්තන්තික දුකයන් අතුරෙන් අධිවචන දුකය, පඤ්ඤත්ති දුකය, නිරුත්ති දුකය, නාමරූප දුකය දැයි යන මේ දුක සතර හැර ඉතිරි අටතිස් දුකදැයි යන මේවා සප්‍රදේශ නමි. කියන ලද අවශේෂ සියලුම ත්‍රික ද්වික නිෂ්ප්‍රදේශ යැයි දතයුතුයි.
දැන් ‘කුසලා ධම්මා’ යන ආදී මාතෘකා ආරෝග්‍යය අනවදය, ජේකය, සැපවිපාකය යන අර්ථයන්හි දක්නා ලැබේ. මේ වනාහි ‘කච්චිනු භොතො කුසලං? කච්චිනු භොතො අනාමයංන්ති’ ආදී තැන්හි ආරෝග්‍යයෙහි දක්නා ලැබේ. ‘කතමො පන භනෙච, කායසමාචාරො කුසලො යො ඛො මහාරාජ, කායසමාචාරො අනවජ්ජොති ච, පුන ච පරං භන්තෙ එතදනුත්තරියං යථා භගවා ධම්ම දෙසෙති කුසලෙසු ධම්මෙසු’ යන මේ ආදියෙහි අනවද්‍යයෙහිය. ‘කුසලො ත්‍වං රථස්ස අංගප්ප සංගානං කුසලා නච්චශීතස්ස, සික්‍ඛිතා චාතුරත්‍ථියො’ යන මේ ආදියෙහි දක්‍ෂබවෙහි වේ. ‘කුසලානං භික්‍ඛවෙ ධම්මානං සමාදාන හෙතු, කුසලස්ස කම්ම කතත්තා උපචිතත්තා’ යන ආදියෙහි සැප විපාකයෙහි වේ. එය මෙහි ආරෝග්‍යයෙහි ද, අනවද්‍යයෙහි ද සැප විපාකයෙහි ද වැටේ.
මේ ධර්ම ශබ්දය වනාහි පර්යාප්ති, හේතු, ගුණ නිස්සත්ත නිජ්ජීවතාදියෙහි දක්නා ලැබේ. මෙය වනාහි ‘ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං යන ආදියෙහි පර්යාප්තියෙහි දක්නා ලැබේ. ‘හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා’ යන ආදියෙහි හේතුවෙහි වැටේ.
නහි ධම්මො අධම්මො ච උභො සමවිපාකිනො
අධම්මො නිරයං තෙති ධම්මො පාපෙති සුග්ගතින්ති
(ධර්මයන් අධර්මයන් යන දෙක සමවිපාක ඇත්තේ නොවේ. අධර්මය නිරයට පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.)