මෙසේ අවකාශ ලද සර්වඥතා ඥානයෙන් සුවසේ ඉතා සියුම්ව ධර්මය සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වශයෙන් සවනක් රැස් නික්මිණ. කෙස් රවුලු මෙන්ම ඇස්වල නිල් තැන්වලින් නිල් රැස් නික්මිණ. ඒවායේ වශයෙන් අහස්තලය අඳුන් සුනින් ගැවසුණාක් මෙන් ද, දියබෙරලිය මල් නිලු පුල්පෙත් ගැවසුණාක් මෙන් ද විසිරෙන්නා වූ මිණි තල්වැටක් මෙන් ද දිගහරින ලද නිල්පටක් මෙන් ද විය.
සිවියේ මෙන්ම ඇස්වල කහවන් තැන්වලින් කහවන් රැස් නික්මිණ. ඒවා විසින් රන්දිය දහර ඉසින්නාක් මෙන් ද දිගහරින ලද රන්පට මෙන් ද, කොකුම්සුනු, කිණිහිරි මල් ගැවසුණාක් මෙන් ද බැබළිණ.
මස් ලේවලින් මෙන්ම ඇස්වල රතුපැහැ තැන්වලින් ද ලෝහිත රශ්මි නික්මිණ. ඒවා විසින් දිසාභාග සින්දූර සූත්‍රයෙන් රඳනා ලද්දක් මෙන් ද මනාව පැසවන ලද ලතුරස ඉසින්නාක් මෙන් ද රතු කම්බිලියකින් වටකරන ලද්දක් මෙන් ද බදුවදමලින් පිරිබඩ කළ බදුවදමලින් විසුරුවන ලද්දක් මෙන් ද බැබළිණ.
ඇටවලින් මෙන්ම දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදුරැස් නික්මිණ. එයින් දිසාභාග රිදී කළයකින් වත්කරනු ලබන ක්ෂීරධාරා විසුරුණාක් මෙන් ද දිගහරින ලද රිදීපටින් කළ වියනක් මෙන් ද දිගහැරෙන රිදී තල්වැටක් මෙන් ද කොඳකුමුදු තික සමන් බෝලිද්ද ආදී කුසුමින් ගැවසුණා මෙන් ද බැබළිණ.
මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින් නික්මිණ. මෙසේ ඒ සවනක් රැස් නික්ම ගන මහපොළව ගත්තේය.
දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ගන මහපොළොව වැසීයන රන්පිඩක් මෙන් විය. ඉක්බිති මහපොළොව බිඳගෙන යට ජලය ගන්නේය. පොළොව දරා සිටින්නා වූ හාරලක්ෂ අසූදහසක් යොදුන් ගඟ ජලය රන් කළසින් ඉසිනු ලබන ලිහිල් වූ ස්වර්ණයක් මෙන් විය. ජලය විනිවිද වාතය ගත්තේය. නවලක්ෂ සැටදහසක් යොදුන් ගණන වාතය ඔසවන ලද රත්කඳන් මෙන් විය. වාතය විනිවිද යට අජටාකාශයට පැන්නේය.
මතු භාගයෙන් උඩට ද නැගී චාතුර්මහා රාජිකයන් ගත්තේය. ඔවුන් විනිවිද තාවතිංස දෙවියන් ද එයින් යාම දෙවියන් ද එයින් තුසිත දෙවියන් ද එයින් නිම්මානරතී දෙවියන් ද එයින් පරනිම්මිත වසවත්ති දෙවියන් ද එයින් බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයන් ද එයින් වේහප්ඵල බ්‍රහ්මයන් ද එයින් පංච සුද්ධාවාසීන් ද විනිවිද සතර අරූපීන් ගත්තේය. සතර අරූපීන් ද විනිවිද අජටාකාසයට පැන්නේය.
සරසින් අනන්ත ලෝකධාතූන්ට පැන්නේය. මේ තැන්වල ද චන්ද්‍රයන්ගේ චන්ද්‍රප්‍රභා නැත. සූර්යයන්ගේ සූර්යප්රභා නැත. තාරකා රූපයන්හි තාරකා රූප ප්‍රභා නැත. දෙවියන්ගේ, උයන් විමන කල්ප වෘක්ෂයන්ගේ මෙන්ම ශරීරයන්හි ආභරණයන්හි යන සියලු තන්හි ප්රභාවක් නැත. ත්‍රිසහස්‍රී, මහාසහස්‍රී ලෝකධාතුයෙහි ආලෝකය පැතිරවීමේ සමත් මහා බ්‍රහ්මයා ද සූර්යෝද්ගමනයෙහි දී කදෝපැණියකු මෙන් විය. චන්ද්‍ර, සූර්ය, තාරකා රූප, දේවතා, උයන්, විමාන, කප්රුක් පිරිසිඳීම් පමණක් පෙනිණ. මෙතෙක් තැන බුදුරැස්ම පැතිරුණේ විය. මෙය ද බුදුන්ගේ අධිෂ්ඨානයෙන් වූ ඍද්ධියක් නොවේ. භාවනාමය ඍද්ධියක් ද නොවේ. සියුම් වූ ධර්මය සම්මර්ශනය කරන්නා වූ ලෝකනාථ වූ බුදුන්ගේ ලෙස පැහැදිණ. හෘදයවස්තු රූපය පැහැදුණේය. ඡවි වර්ණය පැහැදුණේය. සිතින් පැන නැඟි වර්ණ ධාතුව හාත්පස අසූරියන් පමණ ප්‍රදේශයෙහි නිශ්චලව සිටියේය. මේ අයුරින් සත්දිනක් සම්මර්ශනය කළ සේක.
රෑ දාවල් සතක් සම්මර්ශනය කළ ධර්මය කෙතෙක් වීද යත්, අනන්තා පරිමාණම විය. මේ වනාහී මානසික දේසනා නමි. ශාස්තෲන් වහන්සේ වනාහි මෙසේ සත්දිනක් මනසින් සිතු ධර්මය වාග්භේද කොට දේශනා කරන සේක් නම් වර්ෂ සියයකිනුදු වර්ෂ දහසකිනුදු වර්ෂ ලක්ෂයකිනුදු මුදුන්පත්කොට දෙසන්නට නොහැකියි නොකිව යුතුයි. අපරභාගයෙහි දී තථාගතයන් වහන්සේ තව්තිසා භවයේ පරසතු රුක්මුල පඬුපුල් සලසුනෙහි දසදහසක් සක්වල දෙවියන් මැද වැඩහුන් සේක් මව කායසාක්ෂි කොටගෙන ‘කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්යාකතා ධම්මා’යි දහම් දෙසන සේක් සතභාගයෙන් සහස්‍රභාගයෙන් සතසහස්රභාගයෙන් ධර්මාන්තරයෙන් ධර්මාන්තරයට සංක්‍රමණය වෙමින් දෙසූ සේක. තෙමසක් නිරතුරුව පවත්වන ලද දේශනා වේගයෙන් පැවතියේ අහස් ගඟ මෙන් ද, යටිකුරු කොට තබන ලද දිය කළයකින් නික්මෙන ජලධාරාවක් මෙන් ද වී අනන්තාපරිමාණ විය.
බුදුරජාණන් වහන්සේලාගේ භුක්තානුමෝදනා කාලයේදී ද මදක් වැඩිකොට අනුමෝදනා කරන දේශනා දීඝමජ්ඣිම නිකායන් පමණ වෙයි. සවස් වරුවෙහි පැමිණි පිරිසට ධර්මය දේශනා කරන බුදුවරුන්ගේ දේශනාව සංයුත්ත අංගුත්තර යන මහා නිකාය දෙක පමණ වෙයි. කවර හෙයින් ද? බුදුවරුන්ගේ භවංග පරිවාසය වනාහි ලහුකය. තොල් මනාව ස්පර්ශිතය. මුව විවර සිලිටුහ. දිව මෘදුය. ස්වරය මිහිරිය. වචනය වහා පරිවර්තනය වෙයි. එහෙයින් ඒ මොහොතේදී දේශනා කරන ලද ධර්මයන් මෙපමණ වෙයි. තෙමසක් දේශනා කරන ලද ධර්මය අනන්තය. අප්රමාණමය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි බහුශ්‍රැතයහ. ත්‍රිපිටක ධරයහ. ගාථා පන්ලක්ෂයක්, පද සැට දහසක් ලියමල් කඩන්නාක් මෙන් සිටි පියෙහිම සිට ගන්නා සේක් ද කියවන සේක් ද දෙසන සේක් ද වෙති. මේ තෙරුන් වහන්සේගේ එක් උද්දේශ මාර්ගයකි. තෙරුන් වහන්සේගේ පද අනුව උදෙසීම් දෙන්නට අනිකෙක් නොහැක්කේ වෙයි. නොසපැමිණෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේම සපැමිණෙන සේක. මෙසේ අධිමාත්‍ර සිහි ඇති සේක. අධිමාත්‍ර ගති ඇති සේක. අධිමාත්‍ර ප්‍රඥා ඇති සේක. තථාගත ශ්‍රාවකයෙක් ශාස්තෲන් වහන්සේ විසින් තෙමසක් මේ අයුරින් දේශනා කරන ලද දේශනාව වර්ෂ සියයක් වර්ෂ දහසක් උගන්නේ වී නමුත් මුදුන්පමුණුවන්නට නොහැක්කේ වෙයි.