සුමෙධකථා
මෙසේ ගෙනෙන ලද මේ අභිධර්මය පිළිබඳව දීපංකර බුදුන්ගේ පටන් මහා බෝධිපර්යංකය තෙක් යම්කිසි නිදානයක් වී නම් එය අධිගම නිදානයයි. යම්තාක් දසක් පැවතුම් දේශනාව දක්වා නිදානයක් කියන ලද ද? එය ප්‍රකට කිරීම සඳහා මේ පිළිවෙළ කථාව දතයුතුයි.
මෙයින් වනාහි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි අමරවතී නම් නුවරක් විය. එහි මව්පිය දෙපසින් සුජාත වූ පිරිසුදු පිරිවර ඇති සත්මුතු කුල පරම්පරාව දක්වා (පරපුරෙන්) බැහැර නො කරන ලද, ජාතිවාද කිලිටු නොවූ මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාදවහ වූ උතුම් වූ වර්ණ සෞන්දර්හයෙන් යුක්ත වූ සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වාසය කෙරේ. හෙතෙම වෙනත් කාර්යයක් නොකොට බ්‍රාහ්මණ ශිල්පයම උගත්තේය. ඔහුගේ ළමා කාලයේම මව්පියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ අයකැමි ඇමතියා අයපොත ගෙනවුත් රන්රිදී මුතුමැණික් ආදියෙන් පුරවන ලද ගබඩා විවෘත කර කුමාරය, ඔබගේ මව සතු ධනය මෙපමණය. පියා සතු ධනය මෙපමණය. මුතු මීමුතුන් සතු ධනය මෙපමණයැයි සත්මුතු කුල පරම්පරාව දක්වා ධනය කියාදී මෙය පිළිපදින්නැයි කීය. සුමේධ පණ්ඩිත තෙමේ මෙසේ සිතීය. මාගේ පිය-මුතු ආදීහු මේ ධනය රැස්කොට තබා පරලොව යද්දී එක් කහවණුවකුදු නොගෙන ගියහ. මා විසින් වනාහි (මේ ධනය) ගෙන යායුතු වන්නේ යැයි කියායි (ඉක්බිති) රජුට දැනුම් දී නුවර බෙර පියෙවි කරවා මහජනයාට දන් දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. මෙතැන දී වනාහි සුමේධ කථාව කිවයුතුයි. බුද්ධවංසයේ දී මෙය කියන ලදී.
සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි දර්ශනීය වූ, මනහර වූ දසවිධ ශබ්දයෙන් අවිවේකී වූ ආහාරපානයෙන් යුක්ත වූ හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, භේරි ශබ්දය, සංඛ ශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මිහිඟුම්බෙර ශබ්දය, තාල ශබ්දය, ගීත ශබ්දය, එසේම කව බොව යනුවෙන් කරන ලද ආහාරපාන පිළිබඳ ඝෝෂාවෙන් ද යුක්ත වූ සියලු නගරාංගයන්ගෙන් යුක්ත වූ සියලු කාම සැපතින් යුක්ත වූ සප්තවිධ රත්නයන්ගෙන් යුක්ත වූ නොයෙක් ජනයාගෙන් යුක්ත වූ දිව්‍ය නගරයක් මෙන් සමෘද්ධ වූ පින් කරන්නවුන්ට ආවාසයක් වූ අමර නම් නුවරක් විය.
(එකී) අමරවතී නගරයෙහි නොයෙක් කෙළ ගණන් තැන්වත් ධනය ඇති බොහෝ ධනධාන්‍ය ඇති වේදමන්ත්‍ර හදාළ, වේදමන්ත්‍රධාරී වූ ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි,
ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ධර්මයන්හි ද පරතෙරට පැමිණි සුමේධ බ්‍රාහ්මණ නම් වූ ඒ මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි.
නැවත ඉපදීම නම් දුකෙකි. ශරීරයාගේ බිඳීම සම්මෝහ (සිහි මුළාවෙන්) මරණය, (මෙන්ම) ජරාවෙන් මැඩීම ද දුකකි.
මම ඉපදීම ස්වභාව කොට ඇත්තෙමි. ජරාව ස්වභාවකොට ඇත්තෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙමි. එසේ ඇතිකල්හි ජරාවෙන් තොර මරණයෙන් තොර භය රහිත නිවන සොයන්නෙමි.
මම නොයෙක් කුණපයන්ගෙන් පිරුණු මේ කුණු ශරීරය අපේක්‍ෂාවෙන් තොරව වැඩරහිත වූවක් සේ සලකා යන්නෙම් නම් ඉතා යෙහෙක.
(භවයෙන් මිදීම පිණිස වූ) යම් මාර්ගයක් ඇත. එබඳු මාර්ගයක් වන්නේය. හේතූන්ගෙන් (සාධකයන්ගෙන්) තොරව එම මාර්ග (සෙවිය) නො හැක්කේ ය. සසරින් මිදීම පිණිස ඒ මාර්ගය සොයන්නෙමි.
යම්සේ දුකක් ඇති කල්හි සැපයකුත් ඇත්තේ ද එසේ භවයක් ඇතිකල්හි විභවයක් (නිවනක්) කැමතිවිය යුතුයි.
යම්සේ උෂ්ණය ඇතිකල්හි අන්‍ය වූ ශීතලක් ද ඇත්තේ ද මෙසේම ත්‍රිවිධ ශීත ඇතිකල්හි නිවන ද බලාපොරොත්තු විය යුතුය.
යම්සේ පාපය ඇති කල්හි කල්‍යාණයක් (කුශලයක්) ඇත්තේ ද මෙ පරිද්දෙන් ජාතිය ඇති කල්හි ජාතියෙන් තොර වූ නිවන ද බලාපොරොත්තු විය යුතුය.
යම් සේ ගූථගත වූ (අසූචියෙන් තැවරුණු) පුරුෂයෙන් පිරුණු විලක් දැක ඒ විල ඇසුරු නො කෙරේ ද, එය විලෙහි දෝෂයක් නොවේ.
මෙසේ කෙලෙස් මල සෝදන නිවන් නමැති විල ඇතිකල්හි ඒ (නිවන් නමැති) විල නො සොයන්නේ නම් එය අමාවිලෙහි දෝෂයෙක් නොවේ.
යම්සේ සතුරන් විසින් වටකරන ලද (පුරුෂයෙක්) ගමන් මාර්ගය තිබෙද්දී පලා නොයේ නම් එය මාර්ගයේ දෝෂයක් නොවේ.
යම්සේ කෙලෙසුන් විසින් වටකරන ලද පුරුෂයෙක් නිවන් මාර්ගය තිබෙද්දී එම නිවන් මාර්ගය නො සොයා ද, ඒ නිවන් මාර්ගයේ දෝෂයෙක් නොවේ.
යම්සේ රෝගී වූ පුරුෂයෙක් වෙදුන් සිටිද්දී ඒ රෝගයට පිළියම් නොකෙරේ නම් ඒ වෙදුන්ගේ දෝෂයක් නොවේ.
මෙසේ කෙලෙස් නමැති රෝගයන්ගෙන් දුකට පත් වූයේ එයින් හාත්පසින් පෙළුණේ ඒ සඳහා වූ ආචාර්යවරයෙක් නො සොයයි නම් ඒ ආචාර්යවරයාගේ දෝෂයක් නොවේ.
යම්සේ පුරුෂයෙක් ගෙලෙහි බඳනා ලද කුණපයක් පිළිකුල් කොට (එය) මුදාහැර සුවපත්ව ස්වෛරීව ස්වයංවසීව (තමාට වසඟව) යන්නේ ද,
එපරිද්දෙන් නන් වැදෑරුම් කුණුගොඩක් වූ මේ කුණු කය අපේක්‍ෂාවෙන් තොරව අනර්ථකාරී ලෙස සලකා අතහැර යන්නෙමි.