9. ආරඤ්ඤකනාගොපම සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ආරඤ්ඤකස්ස යනු වනයෙහි වසන්නාගේයි, ගොචරපසුතස්ස යනු ගොදුරු ගැනීම සඳහා යන්නාගේයි, හත්ථිකළහා යනු මහත් මහත් ඇත්තුයි, හත්ථිච්ඡාපා යනු තරුණ ඇත් පොව්වෝයි, ඔභග්ගො භග්ගං යනු නවනවා තැබුවාවූයි, ඔගාහං ඔතිණ්ණස්ස යනු බැසිය යුතු බැවින් ඔගාහ’යි ලබන ලද නම් ඇති දිය තොටට බැස්සහුගේයි, ඔගාහා උත්තිණ්ණස්ස යනු දියතොටෙන් උඩට ආවාහුගේයි, වූපකට්ඨො යනු හුදෙකලා වීයි, දැන් යම්හෙයකින් බුදුන් වහන්සේට ඇතකුගෙන් වැඩක් නැත්ද සසුනෙහි වනාහි ඊට සමානවූ පුද්ගලයකු දැක්වීමට මෙය ආයේයි. එහෙයින් ඒ පුද්ගලයා දක්වන සේක් එවමෙව ඛො යනාදිය වදාළ සේක.
10. තපුස්සගහපති සූත්ර වර්ණනාව
දසවැන්නෙහි මලතෙසු යනු මලත රටෙහියි, ඉධෙව තාව ත්වං ආනන්ද හොහී යන මෙය භාග්යවතුන් වහන්සේ තපුස්ස ගැහැවියාට “මෙහි සිටින ආනන්ද සමඟ කථා සල්ලාපයක් වන්නේය. එය හේතු කොටගෙන මම මහත් වූ ධර්මදේශනාවක් දෙසන්නෙමි”යි දැන පැවසූ සේක. උපසඞ්කමි යනු හෙතෙම වැළඳු උදා අහර ඇත්තේ භාග්යතුන් වහන්සේට උවටැනට යන්නෙමැයි නිකමෙන්නේ දුරදීම තෙරුන් දැක අනඳ තෙරුන් යම් තැනක ද එතැනට එළැඹියේය. පාපාතො විය ඛායති යදිදං නෙක්ඛම්මං යනු යම් මේ පැවිද්ද නම් වූ නික්මීමක් වේද එය අපට මහා ප්රපාතයක් මෙන් ගැඹුරුව නිම්නව හැඟෙයි, නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති යනු පැවිද්දට සිත අරමුණු වශයෙන් බැසගනියි, එයම අරමුණු කොට පහදියි, එහිම පිහිටයි, විරුද්ධ ධර්මයන්ගෙන් මිදෙයි, එතං සන්තං යනු මේ පැවිද්ද ශාන්තය, පහවූ තැවීම් හා උවදුරු ඇත්තේයයි දකින්නාවූ භික්ෂූන්ටය. බහුනා ජනෙන විසභාගො යනු ඒ බොහෝ මහජනයා සමඟ භික්ෂූන්ගේ වෙනස අසමානයයි අරුත්ය.
කථාපාභතං යනු කථාවට මුදලයි, තස්ස මය්හං ආනන්ද නෙක්ඛම්මෙ චිත්තං න පක්ඛන්දති යනු එසේ සිතන්නාවූද ඒ මගේ සිත පැවිද්දෙහි නොබසියි, එතං සන්තන්ති පස්සතො යනු පැවිද්ද මැනවැයි සිතීම් වශයෙන් මේ පැවිද්ද ශාන්තයයි දකින්නාගේ වුවද යනුයි, අනාසෙවිතො යනු ඇසුරු නොකරන ලද්දේ, ස්පර්ශ නොකරන ලද්දේ පසක් නොකරන ලද්දේයි, අධිගම්ම යනු අවබෝධ කොට, පැමිණ පසක් කොටයි, තමාසෙවෙය්යං යනු ඒ ආනිශංසය ඇසුරු කරන්නේය, භජනය කරන්නේය, යං මෙ යනු යම් කරුණකින් මගේයි, අධිගමිං යනු අවබෝධ කෙළෙමි. ස්වාස්ස මෙ හොති ආබාධො යනු හෙතෙම මට වැළහීම් අරුතින් ආබාධයක් වෙයි. අවිතක්කෙ චිත්තං න පක්ඛන්දති යනු අවිතක්ක අවිචාරයන් ඇති ද්විතීයද්ධ්යානයෙහි අරමුණු වශයෙන් සිත බැස නොගනියි. විතක්කෙසු යනු විතර්ක විචාරයන්හියි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සිවුවැනි මහා වර්ගයයි.
5. සාමඤ්ඤ වර්ගය
1. සම්බාධ සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උදායී යනු කාළුදායි තෙරුණුවෝයි, අවිදා යනු දත්තේය, භූරිමෙධසො යනු මහ පැනවතායි, යො ඣානමබුද්ධා බුද්ධො යනු යමෙක් ධ්යානය අවබෝධ කළේ ද යනුයි. පතිලීනනිසභො යනු හුදෙකලාවීම් වශයෙන් තනිවූයේද උත්තමාර්ථයෙන් ශ්රේෂ්ඨවූයේ ද වේ. මුනි යනු බුද්ධ මුනිවරයායි, පරියායෙන යනු එක් කරුණකිනි, කාමසම්බාධයේ අභාවමාත්රයෙන්ම ප්රථම ධ්යානය ඔකාසාධිගමය නමි. සර්වප්රකාරයෙන් නොවේ. තත්රාපත්ථි සම්බාධො යනු ඒ ප්රථම ධ්යානයෙහි සම්බාධයක් පෙළීමක් ඇත්තේමය. එහි පත්ථි යනුද පාඨයි. කිඤ්ච තත්ථ සම්බාධො යනු ධ්යානයෙහි සම්බාධය නම් කුමක්ද? අයමෙත්ථ සම්බාධො යනු විතර්ක විචාරයන්ගේ මේ නිරුද්ධ නොවන බව සම්බාධයයි, පීඩාවයි ද නමි. මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ත්ථය දතයුතුය. නිප්පරියායෙන යනු එක් කරුණකින් නොවේ. ආශ්රව විනාශය නම් සියලු සම්බාධයන්ගේ දුරුකිරීම වන බැවින් සියල්ලෙන් සියල්ල එක් ඔකාසාධිගමයක් නමි.
2. කායසක්ඛී සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි යථා යථා ච තදායතනං යනු යම් යම් කරුණකින් යම් යම් නොකරුණකින් ඒ ප්රථම ධ්යාන සංඛ්යාත ආයතනය වෙයිද? තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති යනු ඒ ඒ කරුණින් ඒ ඒ නොකරුණින් ඒ සමවත එකට උපන් නාමකායයෙන් ස්පර්ශ කොට වාසය කරයි. සමවදීයයි අරුත්ය. කායසක්ඛි වුත්තො භගවතා පරියායෙන යනු යම් හෙයකින් ඒ නාමකායයෙන් ප්රථමධ්යානය ප්රත්යක්ෂ කළේ වේද එහෙයින් මේ කාරණයෙන් “කායසක්ඛි” යි කියන ලදි. නිප්පරියායෙන යනු යම්තාක් කයින් සාක්ෂ්ය කළයුතුද සියල්ල කළ බැවින් මෙය නිෂ්පරියායයෙන් කායසක්ඛි නමි.