7. ලොකායතික බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ලොකායතිකා යනු ලොකායතය කියන්නෝයි, සත්තං යනු හැම කල්හියි, සමිතං යනු නිරතුරුවයි, තිට්ඨතෙතං යනු මෙය තිබේවා! මෙය තහවුරු නොකරවු. තොපට මින් කවර අර්‍ත්‍ථයක්ද? ධම්මං වො බ්‍රාහ්මණා දෙසිස්සාමි යනු මම තොපට සිවුසස් දහම දෙසන්නෙමි.
දළ්හධම්මො යනු දැඩි දුන්නක් ගෙන සිටියේයි, ධනුග්ගහො යනු දුනුවායායි, දළ්හධනු නම් දෙදහසක් ථාම යයි කියනු ලැබේ. දෙදහසක් ථාමය (ශක්තිය) නම් නංවනලද යම් දුන්නක දුනුදියෙහි බඳනාලද ලොහො ඊයම් ආදියේ බර දණ්ඩෙහි ගෙන පොළොවෙන් ගෙල පමණ දක්වා විසිකොට මුදයි ද (එම ශක්තියයි). සික්ඛිතො යනු දස දොළොස් වසරක් ආචාර්‍ය්‍ය කුලයෙහි උගන්නා ලද ශිල්ප ඇත්තේයි, කතහත්‍ථො යනු එකෙක් ශිල්පයම උගනියි, කෘතහස්ත නොවෙයි. මේ කෘතහස්ත නම් පුරුදු පුහුණු කරන ලද බවයි. කතුපාසනො යනු රජගෙවල් ආදියෙහි දක්වන ලද ශිල්ප ඇත්තේයි. ලහුකෙන අසනෙන යනු ඇතුළත සිදුරුකොට පුඑන් ආදියෙන් පුරවා කරනලද ලක්ෂ්‍යය පිරියම් කිරීම් ඇති (කරන ලද ලතු පිරියම් ඇති?) සැහැල්ලු හෙලෙනි. මෙසේ කරනලද එක් උසභයක් ගමන්කරන සුලු වූයේ උසභ දෙකක් යයි. -පෙ- උසභ අටක් ගමන්කරනසුලු වූයේ සොළොස් උසභයක් යයි. අප්පකසිරෙන යනු නිදුකිනි, අතිපාතෙය්‍ය යනු ඉක්මවන්නේය, මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ඒ දුනුවායා වියත් සතරඟුල් වූ සෙවනැල්ල ඉක්මණින්ම ඉක්මවයිද එසේ සියලු සක්වළ ඉක්මණින් ඉක්මණින් ඉක්මවන සමත්කම් ඇති පා ජවයෙන් යුක්ත වූයේයි සන්‍ධාවනිකායා යනු පයින් දිවීමෙනි, එවමාහංසු යනු මෙසේ කියත්.
8. දෙවාසුරසඞ්ගාම සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සමූපබ්බුළ්හො අහොසි යනු එළඹ සිටියේ වූයේය, සඞ්ගාමෙය්‍යාම [missing trans] අපයිංසුයෙවා යනු පළාගියාහුමය, උත්තරෙන මුඛා යනු උතුරට මුහුණලායි, අභියන්තෙව යනු එහුබඳිත්මය, භීරුත්තාණාගතෙන යනු බියෙන් ආරක්ෂාවට, බිය වැලැක්මට පිහිටට ගිය තැනැත්තා විසිනි, අකරණීයා යනු යුද්ධයෙන් කිසිවක් නොකළයුතුය, කුමක් නිසා මේ යුද්ධය වේද යත්? අසුරයෝ පෙර තව්තිසා භවනයෙහි විසුවෝයි, ඔවුහු චිත්තපාටලී පිපෙන කාලයෙහි දිව්‍යමයවූ පරසතුමල් සිහිකරත්. එයින් උපන් ක්‍රෝධයෙන් දෙවියන් ගනිවුයි (කියමින්) හමුවූ හමුවූ තැනින් මහමෙරට නඟිත්. දෙවියෝ ද නික්මෙති. ගොපලු දරුවන්ගේ ඔවුනොවුන් වරා තුඬුවලින් පැහැරීමක් බඳු යුද්ධයක් ඔවුනතර විය. සක්දෙවි රජ තෙමේ යට පස්තැනක රැකවල් පිහිටුවා මත්තෙහි දෙවිපුරය වටකොට තමා වැනි විදුරවි ගත් අතැති ප්‍රතිමා තැබ්බවීය. අසුරයෝ යට පස් තැන වළක්වා (යටත්කොට) නැංගාහු ඉන්‍ද්‍රප්‍රතිමා දැක නැවතී අසුරපුරයටම යති.
දක්‍ඛිණෙන මුඛා යනු දකුණට මුහුණලායි, අපදං වධිත්‍වා යනු පානැත්තහු ඉතිරි නොවනසේ වනසායි, අදස්සනං ගතො යනු මාරයා ද සංසාරය පාදකකොට රූපාවචර චතුර්ථ ධ්‍යානයට සම වැදුනු පුද්ගලයාගේ සිත දනියි. එයම විදර්‍ශනා පාදක කොට සමවන් තැනැත්තාගේ සිත දනියි. අරූපාවචර සමාපත්තිය වනාහි සංසාරපාදක හෝ විදර්‍ශනාපාදක හෝ වෙයි. මාරයා එයට සමවත් තැනැත්තාගේ සිත නොදනියි. එහෙයින්, මාරයාගේ නොදැකීමට ගියේයයි කියනලදි.
9. ආරඤ්ඤකනාගොපම සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ආරඤ්ඤකස්ස යනු වනයෙහි වසන්නාගේයි, ගොචරපසුතස්ස යනු ගොදුරු ගැනීම සඳහා යන්නාගේයි, හත්‍ථිකළහා යනු මහත් මහත් ඇත්තුයි, හත්‍ථිච්ඡාපා යනු තරුණ ඇත් පොව්වෝයි, ඔභග්ගො භග්ගං යනු නවනවා තැබුවාවූයි, ඔගාහං ඔතිණ්ණස්ස යනු බැසිය යුතු බැවින් ඔගාහ’යි ලබන ලද නම් ඇති දිය තොටට බැස්සහුගේයි, ඔගාහා උත්තිණ්ණස්ස යනු දියතොටෙන් උඩට ආවාහුගේයි, වූපකට්ඨො යනු හුදෙකලා වීයි, දැන් යම්හෙයකින් බුදුන් වහන්සේට ඇතකුගෙන් වැඩක් නැත්ද සසුනෙහි වනාහි ඊට සමානවූ පුද්ගලයකු දැක්වීමට මෙය ආයේයි. එහෙයින් ඒ පුද්ගලයා දක්වන සේක් එවමෙව ඛො යනාදිය වදාළ සේක.
10. තපුස්සගහපති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි මලතෙසු යනු මලත රටෙහියි, ඉධෙව තාව ත්‍වං ආනන්‍ද හොහී යන මෙය භාග්‍යවතුන් වහන්සේ තපුස්ස ගැහැවියාට “මෙහි සිටින ආනන්‍ද සමඟ කථා සල්ලාපයක් වන්නේය. එය හේතු කොටගෙන මම මහත් වූ ධර්‍මදේශනාවක් දෙසන්නෙමි”යි දැන පැවසූ සේක. උපසඞ්කමි යනු හෙතෙම වැළඳු උදා අහර ඇත්තේ භාග්‍යතුන් වහන්සේට උවටැනට යන්නෙමැයි නිකමෙන්නේ දුරදීම තෙරුන් දැක අනඳ තෙරුන් යම් තැනක ද එතැනට එළැඹියේය. පාපාතො විය ඛායති යදිදං නෙක්‍ඛම්මං යනු යම් මේ පැවිද්ද නම් වූ නික්මීමක් වේද එය අපට මහා ප්‍රපාතයක් මෙන් ගැඹුරුව නිම්නව හැඟෙයි, නෙක්‍ඛම්මෙ චිත්තං පක්‍ඛන්‍දති යනු පැවිද්දට සිත අරමුණු වශයෙන් බැසගනියි, එයම අරමුණු කොට පහදියි, එහිම පිහිටයි, විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදෙයි, එතං සන්තං යනු මේ පැවිද්ද ශාන්තය, පහවූ තැවීම් හා උවදුරු ඇත්තේයයි දකින්නාවූ භික්‍ෂූන්ටය. බහුනා ජනෙන විසභාගො යනු ඒ බොහෝ මහජනයා සමඟ භික්ෂූන්ගේ වෙනස අසමානයයි අරුත්ය.