4. නන්දක සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උපට්ඨානසාලායං යනු බොජුන් හලෙහිය, යෙනුපට්ඨානසාලා යනු ශාස්තෲන් වහන්සේ නන්දක තෙරුන් විසින් මිහිරි හඬින් අරඹන ලද දම්දෙසුමේ හඬ අසා ආනන්දය, කවරෙක් උවටැන්හලෙහි මිහිරි නදින් දම්දෙසත්දැයි අසා ස්වාමීනි අද ධර්මකථික නන්දක තෙරුන්ගේ වාරයයි අසා ආනන්දය මේ භික්ෂුව ඉතා මිහිරිකොට දම් දෙසයි. මම ද ගොස් අසන්නෙමැයි කියා උවටැන්හල යම්තැනක ද එතැනට වැඩිසේක. බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි යනු සවණක් රැස් සිවුරු ගැබෙහි සඟවා අප්‍රකට වේශයෙන් සිටිසේක. කථාපරියොසානං ආගමයමානො යනු මෙසේ කීවේයයි මේ කථාවසානය බලාපොරොත්තු වෙමින් ධර්මකථාව අසමින් සිටිසේක්මය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ පළමු යාමය නික්මෙන කල්හි ශාස්තෲන් වහන්සේට සංඥාවක් දුන්නේය. ස්වාමීනි පළමුයම ඉක්මිණ. මඳ වෙලාවක් විශ්‍රාම ගනු මැනව යනුවෙනි. ශාස්තෲන් වහන්සේ එසේ සිටිසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ මැදුම්යම ද නික්මුණු කල්හි ස්වාමීනි නුඹවහන්සේ ස්වභාවයෙන්ම ක්ෂත්රියකු වශයෙන් සියුමැලිය, බුදුවරයකු වශයෙන් ද සියුමැලිය. බෙහෙවින්ම සියුමැලිය. මැදුම්යම ද ඉක්මිණි. මොහොතක් විශ්‍රාමගනු මැනවැයි කීවේය. ශාස්තෲන් වහන්සේ එසේම සිටිසේක. උන්වහන්සේ සිටගෙන සිටියදීම අරුණ නැඟීම පෙනිණ. අරුණ නැඟීම ද “මෙසේ කීවේය” යනුවෙන් පමුණුවා තෙරුන්ගේ කථාවසානය ද තථාගතයන් වහන්සේගේ සවණක් රැස් විසිරීයාම එකවිටම වූයේය. අග්ගළං ආකොටෙසි යනු නියතුඩින් දොරකවුළුවට තට්ටු කළේය.
සාරජ්ජායමානරූපො යනු ලජ්ජා වනු ලබන්නේ බියවනු ලබන්නේයි, දොම්නසින් ලජ්ජාබියට පැමිණිමක් ඔහුට නැත. එත්තකම්පි නො නප්පටිභාසෙය්යං යන පිළිසිඹියාපත් වූවහුට අප්රතිභානයක් නම් නැත. මපමණක් නොකියන්නෙමැයි දක්වයි. සාධු සාධු යනු තෙරුන්ගේ දම්දෙසුම සතුටුවෙමින් පැවසූ සේක. මේ මෙහි අර්ත්ථයයි “ඔබගේ දම්දෙසුම මනාව ගන්නා ලදි. මනාව දෙසන ලදි” යනුයි. කුලපුත්තා නං යනු හැසිරීමෙන් කුල පුත්‍රයන්ගේ මෙන්ම ජාතියෙන් කුලපුත්රයන්ගේයි, අරියො වා තුණ්හීභාවො යනු ද්විතීය ධ්‍යාන සමාපත්තියම සඳහා කීවේය. අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාර විමර්ශනය කරන විදර්ශනා ඥානයාගේයි, චතුප්පාදකො යනු අශ්ව, ගෝණ, බූරු ආදී යම්කිසිවෙකි, ඉදං වත්වා යනු මේ සතර අංගයකින් යුක්ත ධර්මය කියායි, විහාරං පාවිසි යනු ගඳකිළියට පිවිසි සේක.
කාලෙන ධම්මසවනෙ යනු කලින් කලට දහම් ඇසීමෙහිය, ධම්මසාකච්ඡාය යනු ප්‍රශ්න කථාවගේයි, ගමභීරං අත්ථපදං යනු ගැඹුරු ගුඪ, රහසිගතවූයි, පඤ්ඤාය යනු විදර්ශනා සහිත මාර්ගප්රඥාවගේයි, සම්මර්ශප්රතිවේධ ප්‍රඥාවත් ඉගෙනීම් විමසීම් ප්‍රඥාවත් ගැලපේමය. පත්තො වා පච්ඡති වා යනු රහත් බවට පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝයි මෙසේ ගුණ ගෞරවයෙන් ගෞරව කරයි, අප්පත්තමානසා යනු නොපත් රහත් බවයි, නොපත් අරහත්බව ඇති මනස මොවුන්ගේනුයි අප්පත්තමානසා නමි. දිට්ඨධම්මසුඛවිහාරං යනු මෙහි ඉහාත්මයෙහි සැප විහරණය ලෞකික වූයේ ද ලෝකෝත්තරවූයේ ද වටියි.
5. බලසඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අවිද්‍යාව කුසීත බව වැරදි සහිත බව සැදැහැනැති බව යනාදියෙහි නොසැලීමෙන් ප්රඥාබලාදිය දැක්විය යුතුය, අකුසලසංඛාතා යනු අකුසලයයි දන්නා ලද්දාවූයි, සියලු තැන්හි මේ ක්‍රමයයි. නාලමරියා යනු ආර්‍ය්‍යභාවය කිරීමට අසමත්වූවෝයි, ආර්‍ය්‍යයන්ට හෝ නුසුදුස්සෝයි, වොදිට්ඨා යනු මනාව දක්නා ලද්දාවූයි, වොචරිතා යනු මනොද්වාරයෙහි හැසිරීමට පැමිණියාවූයි, අත්ථිකස්ස යනු ධර්මදේශනාව අවශ්යවූවහුටයි, ආජීවිකභයං යනු ජීවිකාවෘත්තියට ඇතිබියයි. අසිලොකභයං යනු නින්දාවට ඇති බියයි. පරිසසාරජ්ජභයං යනු පිරිසට පැමිණ බියසුලු බවට පැමිණීමේ බියයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ජීවිතපරික්ඛාරා යනු ජීවිත මෙවලම්ය, සමුදානෙතබ්බා යනු පැමිණවිය යුතුය, කසිරෙන සමුදාගච්ඡන්ති යනු දුකසේ උපදිත්, රත්තිභාගං වා දිචසභාගං වා යන මෙහි රාත්‍රී කාලයන් දැන රෑ කල්හිම පැමිණිය යුතුය, රාත්‍රියෙහි දරුණු සතුන් ආදීන්ගෙන් උවදුරක් ඇතිවිට අරුණ නැගීමෙහිදී ආයුතුය. දහවල් කාලය දැන දහවලෙහි පැමිණිය යුතුය. දහවල උවදුරු ඇතිවිට හිරු බැස යනවිට පැමිණිය යුතුය. සඞ්ඛාපි යනු ශ්‍රමණ බව සඳහා භාවනා සපිරෙන පැමිණීම දැනයි, සො පුග්ගලා යන පදයට නානුබන්ධිතබ්බො යන මෙයින් සම්බන්ධය වේ, අනාපුච්ඡා යන මෙහි වනාහි ඒ පුද්ගලයා නොවිමසා පැමිණිය යුතුයයි අර්ත්ථයයි, අපි පනුජ්ජමානෙන යනු ඇද ඉවතට දමන්නහු විසිනි. මෙබඳු වූ පුද්ගල තෙමේ ඉදින් දරගොඩවල් සියයක හෝ දියකළ සියයක හෝ වැළි අමුණු සියයක හෝ දඬුවමක් පමුණුවයි, මෙහි නොවිසුවයි ඇද ඉවතට දමවයි ද ඔහු ක්ෂමා කරවා ද දිවි ඇති තෙක් හෙතෙම එහි බැඳිය යුත්තේමය, නොඅත්හළ යුත්තේය.
7. සුතවාපරිබ්බාජක සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පඤ්ච ඨානානි අජ්ඣාචරිතුං යනු කරුණු පසක් ඉක්මවීමටයි, පාණං යනු යටත් පිරිසෙයින් කුරා කුහුඹුවකුයි, අදින්නං යනු යටත් පිරික්සයින් තණපතක් වූ අන්සතු දෙයයි, ථෙය්යසඞ්ඛාතං යනු සොර සිතෙනි, සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං යනු සමීපයෙහි කොට තබාගෙන වස්තුකාම ක්ලේශකාමයන් විඳීමට නොසුදුසු වූයේයි, නොකැප කාමගුණයන් සඳහා මෙය කියන ලදි. බුද්ධං පච්චක්ඛාතුං යනු මෙතෙම බුදු නොවේයි ප්‍රතික්ෂේප කිරීමටයි, ධර්මාදියෙහි ද මේ ක්‍රමයයි. මෙසේ මෙතෙක් අටුවාවෙහි ආයේයි. පෙළෙහි වනාහි මේ සූත්‍රයෙහි අගතිගමන් කියනලදි.
8-10. සජ්ඣපරිබ්බාජක ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි බුද්ධාදීන් පිළිබඳ ප්‍රත්‍යාඛ්‍යානය කියනලදි. නවවැන්නෙහි පෘථග්ජනයකු සමඟ ගත් බැවින් ආහුනෙය්යයි කියනලදි. දසවැන්නෙහි ගොත්රභූ යනු සෝවාන් මගට අනතුරු ප්‍රත්‍යය වූ මුදුන්පත් බලවත් විදසුන් සිතින් යුක්ත වූයේයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.