2. නිස්සයසම්පන්න සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි නිස්සයසම්පන්නො යනු පදනමක් සහිතවූයේයි, සද්ධං යනු විශ්වාස කිරීමේ ශ්‍රද්ධාවයි, විරියං යනු කායික චෛතසික වීර්‍ය්‍යයයි, යංසා යනු යමක් වන්නේයි, අරියාය පඤ්ඤාය යනු විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවගේයි, සඞ්ඛාය යනු දැනයි, එකං පටිසෙවෙති යනු ඇසුරු කළ යුත්තක් ඇසුරු කරයි, අධිවාසෙති යනු ඉවසිය යුත්තක් ඉවසයි, පරිවජ්ජෙති යනු දුරුකළ යුත්තක් දුරුකරයි, විනොදෙති යනු ඉවත්කළ යුත්තක් ඉවත්කරයි, එවං ඛො භික්ඛු යනු මෙසේ භික්ෂුව ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් මෙන්ම ධර්‍මය තීරණය කිරීම් වශයෙන් ද ඇසුරු කළ යුතු දේ ආදිය මනාව දැනගත් මනාව පසක් කළ දේ කොට ඇසුරු කරන්නේ ඉවසන්නේ දුරුකරන්නේ ඉවත් කරන්නේ ද භික්ෂුව නිශ්‍රය සම්පන්න නම් වේ.
3. මේඝිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි චාලිකායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, එය සැලෙන මඩ ඇසුරු කොට කළ බැවින් බලන්නවුන්ට සැලෙනු ලබන්නක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිකායි ප්‍රසිද්ධ විය. චාලියපබ්බතෙ යනු ඒ පවුවද සියල්ල සුදු බැවින් කළුවර පක්‍ෂ උපොසථයෙහි බලන්නවුන්ට සැලෙනු ලබන්නාක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිය පබ්බත යයි කියන ලදි. එහි මහත් විහාරයක් කරවූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එනුවර ඇසුරු කොට චාලිය පබ්බත මහා විහාරයෙහි වසන සේක. ජතුගාමං යනු මෙබඳු නම ඇති වෙනත් එම නුවරේම ගොදුරු ගමකි. ජනතුගාමං යනුද පාඨයි. පධානත්‍ථිකස්ස යනු භාවනාවෙහි වීර්‍ය්‍යය කරන තැනැත්තාගේයි, පධානාය යනු මහණදම් කරනු සඳහායි, ආගමෙහි තාව යනු ශාස්තෲන් වහන්සේ තෙරුන්ගේ වචනය අසා සලකා බලන සේක් තවම මොහුගේ නුවණ මුහුකුරා නොගියේයි දැන වළහමින් මෙසේ කී සේක. එකකම්හා තාව යන මෙය වනාහි ඔහුට, “මෙතෙම මෙසේ ගොස් ද කටයුත්ත නොනිපදවෙන විට නිසැකව ප්‍රේම වශයෙන් යළි පැමිණෙන්නේය”යි සිතෙහි මෘදුබව ඇති කිරීම සඳහා කීසේක. නත්‍ථි කිඤ්චි උත්තරිං කරණීයං යනු සතර සත්‍යයන්හි සිවුකිස කළ බැවින් වෙනත් මත්තෙහි කළයුත්තක් නම් නැත. කතස්ස වා පතිචයො යනු කළ තැනැත්තාට යළි එකතු කිරීමක් නැත. වැඩූ මග යළි නොවඩනු ලැබේ. නැසූ කෙලෙසුන්ගේ යළි නැසීමක් නැත. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්‍යාම යනු මහණදම් කරමැයි එය කියන්නාට අපි වෙනත් කුමක් නම් කියන්නෙමුද?
දිවාවිහාරං නිසීදි යනු දිවා විහරණය සඳහා හුන්සේක. හුන්සේක්ද යම් මඟුල්ගල් තලාවක පෙර අනුපිළිවෙලින් ජාති පන්සියයක් රජ වී උපන් කෙළි කෙළින්නේ තුන්වැදෑරුම් නළු පිරිවර ඇත්තේ හුන්නේය. එහිම හුන්නේය. ඉක්බිති හුන් කල්හි පටන් ශ්‍රමණ බව හරින ලද්දාක් මෙන් විය. රජවෙස් ගෙන නළු පිරිවර ඇත්තේ සේසත යට මාහැඟි පළඟෙහි හුන්නේ මෙන් විය. ඉක්බිති ඒ සැපත් විඳින ඔහුට කාමවිතර්‍කයක් උපන්නේය. හෙතෙම එකෙණෙහිම සොරබඩු සහිතව අල්ලාගන්නා ලද සොරු දෙදෙනෙකු ගෙන්වා ඉදිරියෙහි තබන ලද්දාක් මෙන් දුටුවේය. ඔවුනතුරින් එකෙකුට වධ නියම කිරීම් වශයෙන් ඔහුට ව්‍යාපාද විතර්‍කයක් උපන්නේය. එකෙකුට දඟගෙට ඇනවීම් වශයෙන් විහිංසා විතර්‍කයක් උපන්නේය. මෙසේ හෙතෙම වැල් සමූහයෙන් ගසක් මෙන් ද මීමැස්සන්ගෙන් මීවදයක් මෙන් ද අකුශල විතර්‍කයන්ගෙන් වටකරන ලද්දේ ගවසන ලද්දේ විය. ඒ සඳහා “අථ ඛො ආයස්මතො මෙඝියස්ස” යනාදිය කියන ලදි. අන්වාසත්තො යනු අනුබඳනා ලද්දේ වටකරන ලද්දේයි, යෙන භගවා තෙනුපසඞ්කමි යන මෙස පාප විතර්‍කයන්ගෙන් වටකරන ලද්දේ කමටහන ගලපාගන්නට නොහැක්කේ මෙය දැක දුරදක්නා සුලු භාග්‍යවතුන් වහන්සේ වැළැක්වූ සේකැයි සලකා මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරමැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වෙතට එළැඹියේය.
4. නන්දක සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උපට්ඨානසාලායං යනු බොජුන් හලෙහිය, යෙනුපට්ඨානසාලා යනු ශාස්තෲන් වහන්සේ නන්‍දක තෙරුන් විසින් මිහිරි හඬින් අරඹන ලද දම්දෙසුමේ හඬ අසා ආනන්‍දය, කවරෙක් උවටැන්හලෙහි මිහිරි නදින් දම්දෙසත්දැයි අසා ස්වාමීනි අද ධර්‍මකථික නන්‍දක තෙරුන්ගේ වාරයයි අසා ආනන්‍දය මේ භික්ෂුව ඉතා මිහිරිකොට දම් දෙසයි. මම ද ගොස් අසන්නෙමැයි කියා උවටැන්හල යම්තැනක ද එතැනට වැඩිසේක. බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි යනු සවණක් රැස් සිවුරු ගැබෙහි සඟවා අප්‍රකට වේශයෙන් සිටිසේක. කථාපරියොසානං ආගමයමානො යනු මෙසේ කීවේයයි මේ කථාවසානය බලාපොරොත්තු වෙමින් ධර්‍මකථාව අසමින් සිටිසේක්මය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙමේ පළමු යාමය නික්මෙන කල්හි ශාස්තෲන් වහන්සේට සංඥාවක් දුන්නේය. ස්වාමීනි පළමුයම ඉක්මිණ. මඳ වෙලාවක් විශ්‍රාම ගනු මැනව යනුවෙනි. ශාස්තෲන් වහන්සේ එසේ සිටිසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙමේ මැදුම්යම ද නික්මුණු කල්හි ස්වාමීනි නුඹවහන්සේ ස්වභාවයෙන්ම ක්‍ෂත්‍රියකු වශයෙන් සියුමැලිය, බුදුවරයකු වශයෙන් ද සියුමැලිය. බෙහෙවින්ම සියුමැලිය. මැදුම්යම ද ඉක්මිණි. මොහොතක් විශ්‍රාමගනු මැනවැයි කීවේය. ශාස්තෲන් වහන්සේ එසේම සිටිසේක. උන්වහන්සේ සිටගෙන සිටියදීම අරුණ නැඟීම පෙනිණ. අරුණ නැඟීම ද “මෙසේ කීවේය” යනුවෙන් පමුණුවා තෙරුන්ගේ කථාවසානය ද තථාගතයන් වහන්සේගේ සවණක් රැස් විසිරීයාම එකවිටම වූයේය. අග්ගළං ආකොටෙසි යනු නියතුඩින් දොරකවුළුවට තට්ටු කළේය.
සාරජ්ජායමානරූපො යනු ලජ්ජා වනු ලබන්නේ බියවනු ලබන්නේයි, දොම්නසින් ලජ්ජාබියට පැමිණිමක් ඔහුට නැත. එත්තකම්පි නො නප්පටිභාසෙය්‍යං යන පිළිසිඹියාපත් වූවහුට අප්‍රතිභානයක් නම් නැත. මපමණක් නොකියන්නෙමැයි දක්වයි. සාධු සාධු යනු තෙරුන්ගේ දම්දෙසුම සතුටුවෙමින් පැවසූ සේක. මේ මෙහි අර්‍ත්‍ථයයි “ඔබගේ දම්දෙසුම මනාව ගන්නා ලදි. මනාව දෙසන ලදි” යනුයි. කුලපුත්තා නං යනු හැසිරීමෙන් කුල පුත්‍රයන්ගේ මෙන්ම ජාතියෙන් කුලපුත්‍රයන්ගේයි, අරියො වා තුණ්හීභාවො යනු ද්විතීය ධ්‍යාන සමාපත්තියම සඳහා කීවේය. අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාර විමර්‍ශනය කරන විදර්‍ශනා ඥානයාගේයි, චතුප්පාදකො යනු අශ්ව, ගෝණ, බූරු ආදී යම්කිසිවෙකි, ඉදං වත්‍වා යනු මේ සතර අංගයකින් යුක්ත ධර්‍මය කියායි, විහාරං පාවිසි යනු ගඳකිළියට පිවිසි සේක.
කාලෙන ධම්මසවනෙ යනු කලින් කලට දහම් ඇසීමෙහිය, ධම්මසාකච්ඡාය යනු ප්‍රශ්න කථාවගේයි, ගමභීරං අත්‍ථපදං යනු ගැඹුරු ගුඪ, රහසිගතවූයි, පඤ්ඤාය යනු විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥාවගේයි, සම්මර්‍ශප්‍රතිවේධ ප්‍රඥාවත් ඉගෙනීම් විමසීම් ප්‍රඥාවත් ගැලපේමය. පත්තො වා පච්ඡති වා යනු රහත් බවට පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝයි මෙසේ ගුණ ගෞරවයෙන් ගෞරව කරයි, අප්පත්තමානසා යනු නොපත් රහත් බවයි, නොපත් අරහත්බව ඇති මනස මොවුන්ගේනුයි අප්පත්තමානසා නමි. දිට්ඨධම්මසුඛවිහාරං යනු මෙහි ඉහාත්මයෙහි සැප විහරණය ලෞකික වූයේ ද ලෝකෝත්තරවූයේ ද වටියි.