9. සති වර්ගය
2. පුණ්ණිය සූත්‍ර වර්ණනාව
නවවැනි වර්‍ගයෙහි පළමුවැන්න කියනලද ක්‍රමය ඇත්තේමය, සද්ධො යනු දෙවැදෑරුම් ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, නො ච පරිපුච්ඡිතා යනු අර්‍ත්‍ථය අනර්‍ත්‍ථය, කරුණ නොකරුණ විමසන ලද්දේ නොවෙයි, සමන්නාගතො යනු සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි ප්‍රථමායි. යුක්තවූවහුගේයි කියන ලද්දේ වෙයි. එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොති යනු තථාගතයන් වහන්සේගේ ඒකාන්තයෙන්ම වැටහීම ඇති ධර්‍ම දේශනාව වෙයි. ඒකාන්තයෙන්ම ප්‍රතිභානය වෙයි, වැටහෙයි යන අරුත්ය.
3. කිංමූලක සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සබ්බෙ ධම්මා යනු පඤ්චස්කන්ධයෝයි, ඡන්දමූලකා යනු අජ්ඣාසය ඡන්දය, කත්තුකම්‍යතා ඡන්‍දය එය මූලය වූයේ මොවුනටනුයි ඡන්‍දමූලකා නමි. මෙනෙහි කරන්නාට හටගනිත්නුයි මනසිකාරසම්භවා නමි. ස්පර්‍ශයෙන් හටගනිත් රැස්වෙත්නුයි ඵස්සසමුදයා නමි. වේදනාවෙන් එක්රැස්වන්නාහුයි වෙදනාසමොසරණා නමි, සමාධිය මොවුන්ට ප්‍රමුඛවේනුයි සමාධි පමුඛා නමි. ජ්‍යෙෂ්ඨවීමේ අර්‍ත්‍ථයෙන් සිහිය අධිපති වූයේ මොවුන්ටනුයි සතාධිපතෙය්‍යා නමි. සිහිය ජ්‍යෙෂ්ඨ කොට ඇත්තාහුය යන අර්‍ත්‍ථයයි. ප්‍රඥාව උතුම්වූයේ මොවුනටනුයි පඤ්ඤුත්තරා නමි. විමුක්තියම සාරයවූයේ මොවුනටනුයි විමුත්තිසාරා නමි. මෙහි ද ඡන්‍දමූලකාදී සතර ද ලෞකික වශයෙන් කියන ලදි. සෙස්සෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රක වූවෝය.
4. මහාචොරඞ්ග සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි මහාචොරො යනු රාජ්‍ය අතර වියවුල් කිරීමට සමත්වූ මහ සොරෙකි, පරියාපජ්ජති යනු දැඩිව ගැනීමට එළඹෙයි, න වීරට්ඨිතිකො හොති යනු බොහෝ කලක් පාලනය කරමින් සිටීමට නොහැකි වෙයි, අප්පහරන්තස්ස පහරති යනු (තමන්ට පහර නොදෙන සතුරු නොවූ ගුණවත් මහල්ලන් ද තරුණ දරුවන් ද වශයෙන් වූ පහර නොදිය යුත්තන්ට පහර දෙයි. ඉතිරි නොමැතිව ගනීනුයි නිරවිශේෂයෙන් ගනියි. දක්ෂ සොරුන්ගේ මේ සිරිතකි. අනෙකාට දෙදෙනෙකු ඇති විට එකෙක් ගතයුතුය. එකෙකු ඇතිවිට දුර්‍වලයා දී ස්ථිර තැනැත්තා ගතයුතුය. බත්මුල් සහල් ආදියෙහි එක් කොටසක් ගතයුතුය යනුවෙනි. අච්චාසන්නෙ කම්මං කරොති යනු (ගම්නියම් රාජධානීන්ට සමීපතැනක සොරකම කරයි, න ච නිධානකුසලො හොති යනු ලබන ලද දෙය) දක්‍ෂිණාර්හ පුද්ගලයන් කෙරෙහි තැන්පත් කිරීමට දක්ෂ නොවෙයි. පරලොව මග පිරිසුදු නොකරයි.
5. තථාගතාධිවචන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි යං සමණෙන යනු ශ්‍රමණයකු විසින් පැමිණිය යුතු යම් ගුණ සමුහයකි. වුසීමතා යනු බඹසර වැස විසූ තැනැත්තා විසිනි, මුත්තො මොචෙමි බන්‍ධනා යනු මම සියලු බැඳුම් වලින් මිදුනෙම් වී මහජනයා ද රාගාදී බැඳුමෙන් මුදවමි. පරමදන්තො යනු අන්කිසිවකු විසින් නොහික්මවන ලද්දේ නොමෙහෙයවන ලද්දේ තමන්ම අවබෝධ කළ ඥානයෙන් අවබෝධකොට පරමාර්‍ත්‍ථයෙන් දැමුණු බැවින් පරමදන්ත නම් වෙයි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවුනේයි.
6. නාගිත සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි මා ච මයා යසො යනු කීර්තිය ද මා සමඟ නොගියේය, අකසිරලාභී යනු බොහෝ ලබන්නායී, සීලපඤ්ඤාණං යනු ශීලය මෙන්ම ඥානය ද වේ, සඞ්ගම්ම යනු රැස්වීයි, සමාගම්ම යනු මනාව පැමිණයි, (එක්රැස්වීයි), සඞ්ගණිකවීහාරං යනු සමුහයා ඇසුරෙහි විසීමයි, න හ නූන මෙ යනු න හ නූන ඉමෙ යන පදයි, තථා හි පනමෙ යනු තථා හි පන ඉමෙ යන පදයි, අඞ්ගුලිපතොදකෙහි යනු අත්තලයෙන් දියපහර විදීමෙනි, සඤ්ජග්ඝන්තෙ යනු මහහඬින් සිනහ සෙන්නාවූයි, සඞ්කීළන්තෙ යනු ක්‍රීඩා කරන්නාවූයි, ක්‍රීඩාව කරන්නාවූයි.
7. පත්තනිකුජ්ජන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි නික්කුජ්ජෙය්‍ය යනු ඔහු විසින් දෙනලද දානවස්තුව නොපිළිගැනීම සඳහා පත්තනික්කුජ්ජන කම්මවාචාවෙන් යටිකුරුව තබන්නේය. අධොමුඛව නොතැබීමෙනි, අලාභාය යනු සිවුපසය නොලැබීම සඳහායි, අනත්‍ථාය යනු උවදුරු සඳහායි, අවැඩ සඳහායි, උක්කුජ්ජෙය්‍ය යනු උක්කුජ්ජන කර්‍මවාක්‍යයෙන් උඩුකුරු කරන්නේය.
8. අප්පසාදප්පසාද සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අප්පසාදං පවෙදෙය්‍යුං යනු නොපහන් බව දන්වන්නාහුය, නොපහන්බව දන්වන්නහු විසින් කුමක් කළ යුතුද යත් හුන් අසුනෙන් නොනැගිටිය යුතුය (නො වැඳිය යුතුය), පෙරගමන් නොයායුතුය, දානවස්තුව නොදිය යුතුය. අගොචරෙ යනු පස්වැදෑරුම් අගෝචරයෙහියි,
9. පටිසාරණීයකම්ම සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ධම්මිකඤ්ච ගිහිපටිස්සවං යනු මේ තෙමස මෙහිම විසියයුතු යයි කියන ලද්දේ එසේ වේවා යනාදී ක්‍රමයෙන් පිළිගැනීමයි: න සච්චාපෙති යනු කියනලද දෙය සැබෑවක් නොකරයි, එකිනෙකට ප්‍රතිවිරුද්ධ කරයි.
10. තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පච්චෙකට්ඨානෙ යනු අධිපති තැන්හි, දෙටු තැන්හි, ඔහු ජ්‍යෙෂ්ඨයා කොට කිසි සංඝකර්‍මයක් නොලබයි. න ච තෙන මූලෙන වුට්ඨාපෙතබ්බං යනු ඔහු මුල් කොට අබ්භානකර්‍මය කිරීමට නොලබයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිය.
නවවැනි සති වර්‍ගයයි.
10. සාමඤ්ඤ වර්ගය
මින්මතු අථඛො බොජඣා උපාසිකා යනාදියෙහි බොජ්ඣා උවැසිය, සිරිමා උවැසිය, පදුමා උවැසිය, සුතනා උවැසිය, මනුජා උවැසිය, උත්තරා උවැසිය, මුත්තා උවැසිය, ඛෙමා උවැසිය, රුචි උවැසිය, චුන්‍දී රජකුමරිය, බිම්බී උවැසිය, සුමනා රජ කුමරිය, මල්ලිකා දේවිය, තිස්සා උවැසිය, තිස්සාගේ මව් උවැසිය, සොණා උවැසිය, සෝණාගේ මව් උවැසිය, උත්තරා නන්‍දමාතාව, විසාඛා නන්‍ද මාතාව, බුජ්ජුත්තරා උවැසිය, සාමාවතී උවැසිය, සුප්පවාසා කොලිය දියණිය, සුප්පිය උවැසිය, නකුලමාතා ගෘහපතිනිය යන මෙපමණ අයට අට්ඨඞ්ග සමන්නාගත උපොසථ කර්‍මයම කියනලදි. කැමතිවන්නහු විසින් විස්තර වශයෙන් කිවයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.