10. භූමිචාල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නිසීදනං යනු මෙහි සම්කඩක් අදහස් කරනලදි. උදෙනං චෙතියං යනු උදෙන යක්‍ෂයාගේ චෛත්‍යස්ථානයෙහි කරනලද විහාරයයි කියනු ලැබේ. ගොතමක යනාදියෙහි ද මේ ක්‍රමයමයි, භාවිතා යනු වඩනා ලදයි, බහුලිකතා යනු යළි යළිත් කරන ලදයි, යානිකතා යනු සුදුසු යානයක් මෙන් කරන ලද්දාවූයි, වත්‍ථුකතා යනු පිහිටි අරුතින් ඉඩමක් මෙන් කරන ලද්දාවූයි. අනුට්ඨිතා යනු අදිටන් කරන ලද්දාවූයි, පරිචිතා යනු හාත්පසින් රැස්කරන ලද වඩන ලද්දාවූයි, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද්දාවූයි,
දැන් අනියමින් කියා නැවත නියම කොට දැක්වීමට තථාගතස්ස ඛො යනාදිය කීවේය. මෙහි කප්පං යනු ආයුෂ්කල්පයයි. ඒ ඒ කල්හි මිනිසුන්ගේ ආයුෂ්ප්‍රමාණය යමක් ද එය එය සපුරමින් සිටින්නේය. කප්පාවසෙසං වා යනු අඩුව හෝ වැඩිවයි කියන ලද අවුරුදු සියයෙන් වැඩිමනත් හෝ යි, මහාසිව තෙරණුවෝ කීහ. “බුදුවරුන්ගේ නොතැන්හි ගර්‍ජනය කළ දෙයක් නම් නැත. යළියළිත් සමවැද මාරණාන්තමක වේදනාව යටපත් කරමින් භද්‍ර කල්පයම සිටින්නේය” යනුවෙනි. කුමක් හෙයින් නොසිටියේද යත්? භෞතික ශරීරය නම් කැඩී බිඳී යාම් ආදියෙන් මැඬ පැවැත්වෙයි. බුදුවරු ද බිඳීම් ආදී බවට නොපැමිණ පස්වැනි ආයුෂ කොටසෙහි මහජනයාට ප්‍රියමනාප කාලයෙහිම පිරිනිවන් පාති. බුද්ධානුබුද්ධ ආදීන් ද මහා ශ්‍රාවකයන් ද පිරිනිවන් පෑ කල්හි එක් එක් කණුවක් මෙන් සිටිය යුතු වෙයි. කුඩා සාමණේර පිරිවරින් හෝ සිටියයුතු වෙයි. එයින් අහෝ බුදුවරුන්ගේ පිරිසයයි අවමන් කළයුතු බවට පැමිණෙන්නේය. එහෙයින් නොසිටියේයි. මෙසේ කී කල්හිද යමෙක් ආයුකල්පයයි කියයිද මෙයම අට්ඨකථාවෙහි නියම කරනලදි.
යථා තං මාරෙන පරියුට්ඨිතවිත්තො යනු මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යම් සේ මාරයා විසින් වෙළාගනු ලැබූ සිත් ඇති බැසගන්නා ලද සිත් ඇති අන් කවර පෘථග්ජනයෙක් වුවද දැන ගැනීමට නොහැකි වන්නේද එපරිද්දෙන්ම දැන ගැනීමට නොහැකිවීය යන අරුත්ය. යමෙකුගේ සර්‍වප්‍රකාරයෙන්ම දොළොස් විපල්ලාසයෝ ප්‍රහීන නොවූවාහුද එබැවින් මාරයා ඔහුගේ සිත වසඟ කරගනියි. තෙරුන්ගේ ද සතර විපල්ලාසයෝ ප්‍රහීන නොවූහ. එබැවින් ඔහුගේ සිත මාරයා වසඟ කරගත්තේය. එබැවින් එය දැනගැනීමට නොහැකිවීය යනු අරුත්ය. සිත වසඟ කරගැනීම කරන්නා කුමක් කරයි ද? බියකරු රූපාරම්මණයක් හෝ දක්වයි, ශබ්දාරම්මණයක් හෝ අස්වයි. එයින් සත්ත්වයෝ එය දැක හෝ අසා සිහිමුළා වී විවරවූ මුව ඇත්තෝ වෙත්. ඔවුන්ගේ මුවින් අත පිවිසුවා හදවත මඬියි. එයින් සිහිසුන්ව සිටිත්. තෙරුන්ගේ මුවෙහි අත පිවිසුවීමට හැකිවන්නේද? බියකරු අරමුණක් දැක්වීය. එය දැක තෙරණුවෝ නිමිත්තා ලෝකය වටහා නොගත්හ. භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක්ම කුමක් සඳහා තෙවැනිවර දක්වා ඇමතූ සේක්ද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිටිනු (ජීවත්වනු) සේක්වායි ඇයැදි විට මේ දුකුළාව ඔබගේමය, මේ අපරාධය ඔබගේමයයි අනුන්ගෙන් නැඟෙන දෝෂාරෝපනයෙන් ශෝකය තුනී කරනු සඳහාය.
මාරො පාපිමා යනු මෙහි සත්ත්වයන් අනර්‍ත්‍ථයෙහි යොදන්නායි. මරන්නේනුයි මාරයායි. පාපිමා යනු ද ඔහුටම නමෙකි. හෙතෙම පවිටු ධර්‍මයන්ගෙන් යුක්ත බැවින් පාපිමායි කියනු ලැබේ. භාසිතා ඛො පනෙසා යනු මෙතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ බුදුබවට පත්වීමෙන් අටවැනි සතියෙහි බෝ මැඬෙහිම අවුත් භාග්‍යවතුන් වහන්ස යමක් සඳහා නුඹවහන්සේ විසින් පාරමී ධර්‍මයෝ පුරන ලද්දාහුද ඔබගේ එම අර්‍ත්‍ථය සම්පූර්‍ණ විය. සර්‍වඥතාඥානය අවබෝධ කරන ලදි. ඔබවහන්සේගේ ලෝක සේවයෙහි හැසිරීමෙන් කවර වැඩෙක්දැයි කියා අද (මෙදින) මෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වායි අයැදීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට “න තාවාහං” යනාදිය පවසා ප්‍රතික්‍ෂේප කළ සේක. ඒ සඳහා භාසිතා ඛො පනෙසා භන්තෙ යනාදිය කීය.