6. අනුරුද්ධමනාපකායික සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි යෙනායස්මා අනුරුද්ධො යනු ඒ දේවතාවෝ තමන්ගේ සැපත බලා කවර කරුණක් නිසා අප විසින් මේ සැපත ලබන ලදදැයි සිහි කරමින් තෙරුන් දැක අපි පෙර සක්විති රජකම් කරන්නාවූ ආර්‍ය්‍යයන් වහන්සේට බිරින්දෑවරු වී උන්වහන්සේ විසින් දෙනලද ඔවදනෙහි පිහිටා මේ සැපත ලබමු. යමු තෙරුන් ගෙනවුත් මේ සැපත විඳින්නෙමුයි දහවලෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සිටි තැනට එළඹුනාහ. තීසු ඨානෙසු යන කරුණු තුනෙක්හියි, ඨානසො පටිලභාම යනු ක්ෂණයකින්ම ලබමු. සරං යනු වචන ශබ්දය හෝ ශීත ශබ්දය හෝ ආභරණ ශබ්දයයි, පිතා අස්සු යනාදිය නිල් පැහැ ඇත්තේ වූහ. කහ පැහැත්තෝ වීමට නොහැකිවෙතියි ආදී ක්‍රමයෙන් සිතා විතර්‍කනය කරයි. ඒ දෙවතාවෝ ද දැන් ආර්‍ය්‍යයන් වහන්සේ අපගේ කහ බව කැමති වෙති. දැන් රතුබව යයි එබන්ඳෝම වූහ.
අච්ඡරිකං වාදෙසි යනු අත්තලය හැඬවූහ. පඤ්චඞ්ගිකස්ස යනු ආතත විතත ආතතවිතත ඝන සුසිර යන අංග පසින් යුක්තවූවහුයි. එහි ආතතය නම් සමින් වැසුණු බෙර ආදියෙහි එකැස් තූර්‍ය්‍යයයි. විතතය නම් දෙඇස් තූර්‍ය්‍යයයි. ආතතවිතතය නම් සියල්ලෙන් වැසුණු තූර්‍ය්‍යයයි. සුසිරය නළා ආදියයි. ඝනය නම් කයිතාලම් ආදියයි. සුවිනීතස්ස යනු ඇඳීම් (තදකිරීම) ලිහිල් කිරීම් ආදියෙන් නංවන ලද්දහුයි, සුප්පටිපතාළිතස්ස යනු ප්‍රමාණයට පිහිටිබව දැනගැනීම සඳහා මනාව තට්ටු කරන ලද්දහුගේයි, කුසලෙහි සුසමන්නාහතස්ස යනු වාදනය කිරීමට යමෙක් දක්ෂයෝ ද සපන්නු ද ඔවුන් විසින් වාදනය කරන ලද්දහුගේයි, වග්ගු යනු සොඳුරු වුයේයි, රජනීයො යනු සතුටු කිරීමට සමත්වූයේයි, කමනීයො යනු කැමතිවිය යුත්තේයි. ඛමනීයො යනු හෝ පාඨයෙකි, දවසකුදු අසනු ලබන්නේ ඉවසයිමය. නොකළකිරෙයි යන අරුත්ය, මදනීයො යනු මානමද පුරුෂමද ඇති කරන්නේයි, ඉන්ද්‍රියානි ඔක්ඛීපි යනු මේ දෙවියෝ නොසරුප් දෙයක් කරත්යයි ඉඳුරන් යටට හෙලීය. ඇස් ඇර බැලීය. න ඛො අය්‍යො අනුරුද්ධො සාදියති යනු අපි නටමු ගයමු, අනුරුද්ධ ආර්‍ය්‍යයන් වහන්සේ සතුටු නොවෙති. ඇස් හැර නොලබති අපි නටා හෝ ගයා කුමක් කරන්නෙමුදැයි එහිම අතුරුදහන් වූහ. යෙන භගවා තෙනුපසංකමි යනු ඒ දෙවිවරුන්ගේ ආනුභාවය දැක කවර නම් ධර්‍මයන්ගෙන් යුක්ත වූ මාගමක් මනාපකායික දෙව්ලොව උපදීදැයි මේ කරුණ ඇසීමට එළඹියේය.
9. ප්‍රථමලෝකවිජය සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අයංසා ලොකො ආරද්ධො හොති යනු මෙය වන්නේය. ලොව කිරීම් මාත්‍රයෙන් පටන්ගත් බැවින් පිරිපුන් බැවින් පටන්ගත්තේ වෙයි. පිරිපුන්වූයේ වෙයි, සොළසාකාරසම්පන්නා යනු සූත්‍රයෙහි කියනලද අටින් ද අර්‍ත්‍ථකථාවන්හි අටින්දැයි සොළොස් අයුරකින් යුක්තවූයි, ඇයගේ යම් අංගයෝ වෙත්ද අනුන් ද ඒවායෙහි සමාදන් කරවතියි මෙසේ ද සොළොස් අයුරකින් යුක්තවූයි. මෙහි ශ්‍රද්ධාශීල ප්‍රඥාවෝ මිශ්‍රකව කියන ලද්දාහ.
10. දෙවැනිලෝකවිජය සූත්‍ර වර්ණනාව
දසවැන්න භික්ෂු සංඝයාට කියන ලද්දකි. යමක් වනාහි නොකියන ලද්දේ ද එය යට පැමිණි ක්‍රමය ඇති බැවින් පැහැදිලි අරුත් ඇත්තේමය.
පස්වැනි උපොසථ වර්‍ගයයි.
2. ද්වීතීය පණ්ණාසකය
6. ගොතමී වර්ගය
1. ගොතමී සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි පළමු සූත්‍රයෙහි සක්කෙසු විහරති යනු පළමු ගමනින්ම ගොස් වෙසෙන සේක. මහාපජාපති යනු පුත්‍ර ප්‍රජාවට මෙන්ම දුහිතෘ ප්‍රජාවට ද උසස් බැවින් එසේ ලද නම් ඇත්තියයි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයට ගොස් පළමුවම නන්‍ද පැවිදි කරවූහ. සත්වැනි දිනයෙහි රහල් කුමරුන්ය. චුම්බට කලහයෙහි දී දෙනුවර වැසියන් යුද පිණිස යන කල්හි ශාස්තෲන් වහන්සේ වැඩම කොට ඒ රජවරුන් හඟවා අත්තදණ්ඩ සූත්‍රය වදාළ සේක. රජවරු පැහැදී කුමරුන් දෙසිය පණහ බැගින් දුන්නාහුය. ඒ කුමරු පන්සියය ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඉක්බිති ඔවුනට බිරින්දෑවරු හසුන් යවා (පැවිද්දට) නොඇල්ම ඉපදවූවාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුනට නොඇල්ම උපන්බව දැන ඒ පන්සියයක් තරුණ භික්ෂුන් කුණාල විලට පමුණුවා තමන් කුණාල කාලයෙහි හුන්විරූ ගල් තලාවෙහි හිඳ කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ නොඇල්ම දුරුකොට ඒ සියල්ලන් සෝවාන් පෙලෙහි පිහිටවූ සේක. යළි මහාවනයට ගෙනවුත් රහත් පෙලෙහි පිහිටවූහ. ඔවුන්ගේ සිත් දැනගනු සඳහා යළිඳු බිරින්දෑවරු හසුන් යැව්වාහුය. ඔවුහු අපි ගිහිගෙහි විසීමට නුසුදුස්සෝ වෙමුයි පිළිතුරු යැවූහ. ඔවුහු දැන් අපගේ ගෙවලට යාමට නොයුතුය. මහා ප්‍රජාපතිය සමීපයට ගොස් පැවිද්ද අනුදන්වා ගෙන පැවිදි වන්නෙමුයි පන්සියයම ප්‍රජාපතිය වෙත එළඹ ආර්‍ය්‍යාවනි, අපට පැවිදිවීමට අනුදත් මැනවයි කීවාහුය. මහා ප්‍රජාපතී තොමෝ ඒ ස්ත්‍රීන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියාය. සේසත යට රජු පිරිනිවන් පෑ කල්හි එළඹියේ යයි ද කියත්මය.