4. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි න මහප්ඵලං හොති යනු ධාන්‍ය ඵලයෙන් මහත්ඵල නොවෙයි, න මහස්සාදං යනු යමකට ඵලයක් වේද එහි ආස්වාදය මහත් නොවෙයි, මඳ ආස්වාද ඇත්තකි, නොමිහිරිය, න ඵාතියෙය්‍ය යනු ඊට වැඩීමකුත් නොවෙයි. ඊට මහත් වී ගොඩක එකතුවක් නොවේයයි අරුත්ය. උණ්ණාම නින්නාමි යනු බෑවුම ගොඩ වශයෙන් විෂම පිහිටීමයි, එහි ගොඩ දිය දරා නොසිටියි, බෑවුමෙහි ඉතා බොහෝවක් (දිය) සිටී, පාසාණසක්ඛරිල්ලං යනු පැතිරී සිටි පැතලි ගල්තලයෙන් ද කුඩා ගල්වලින් ද බොරළුවලින් ද යුක්ත වූයේයි, ඌසරං යනු උල්පත්දියයි, න ච ගම්භීරසිතං යනු තද බිම නිසා ගැඹුරට ගිය නඟුල් (හී) මගක් කොට සාන්නට නොහැකිය. නොගැඹුරු නඟුල් (හී) මගක්ම වේ. න ආයසම්පන්නං යනු දිය ඒමෙන් යුක්තවූවක් නොවේ. න අපායසම්පන්නං යනු නික්මෙන මඟ ඇත්තක් නොවේ. න මාතිකාසම්පන්නං යනු කුඩා මහත් දිය වේලින් යුක්තවූවක් නොවේ. න මරියාදසම්පන්නං යනු නියර සීමාවන්ගෙන් යුක්තවූවක් නොවේ, මහත්ඵල නොවේයයි ආදී සියල්ල වී අස්වැන්න වශයෙන් දතයුතුය.
සම්පන්නෙ යනු පිරිපුන් වූවෙහි, සැපත් ඇත්තෙහියි, පවුත්තාබීජසම්පදා යනු හොඳ බීජය රෝපනය කරන ලදි. දෙවෙ සම්පාදයන්තම්හි යනු වැස්ස මනාව වසින විටයි, අනීතිසම්පදා හොති යනු කෘමි, කුහුඹි ආදී ප්‍රාණීන්ගෙන් වන උවදුරු නැතිවීම එක් සම්පත්තියකි. විරුළ්හි යනු වැඩීම දෙවැනි සම්පත්තියයි, වෙපුල්ලං යනු මහත්බව තෙවැනි සම්පත්තියයි, ඵලං යනු පිරිපුන් ඵලය චිත්තසම්පදාවයි. සම්පන්නසීලෙසු යනු පිරිපුන් සිල්හියි, භොජනසම්පදා යනු සම්පූර්‍ණ වූ නොයෙක් බොජුන් ඇති බවයි, සම්පදානං යනු ත්‍රිවිධ කුශල සම්පදාවයි, උපනෙති යනු ඒ භොජන සම්පදාව එළවයි, කුමක් හෙයින්ද? සම්පන්නං හිස්ස තං කතං යම් හෙයකින් ඔහුගේ ඒ කළ කර්‍මය සම්පූර්‍ණද පිරිපුන්ද යන අරුත්ය. සම්පන්නත්‍ථුධා යනු මෙහි සම්පූර්‍ණවූයේ වේවායි, විජ්ජාචරණසම්පන්නො යනු ත්‍රිවිද්‍යාවන්ගෙන් ද පසළොස් චරණ ධර්‍මයන්ගෙන් ද යුක්ත වූයේයි, ලද්ධා යනු මෙබඳු පුද්ගලයා සිතේ සපිරීම, අවිකලභාවය ලබායි, කරොති කම්මසම්පදං යනු පිරිපුන් කර්‍මයක් කරයි, ලභති ච අත්‍ථසම්පදං යනු අර්‍ත්‍ථය ද පිරිපුන්ව ලබයි, දිට්ඨිසම්පදං යනු විදර්‍ශනාදෘෂ්ටියයි, මග්ගසම්පදං යනු සෝවාන් මගයි, යාති සම්පන්නමානසො යනු පිරිපුන් සිතැත්තේව රහත් බවට යයි, සා හොති සබ්බසම්පදා යනු ඒ සියලු දුකින් මිදීම සබ්බසම්පදා නම් වෙයි.
5. දානූපපත්ති සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි දානුප්පත්තියො යනු දාන හේතුවෙන් (ඇතිවන) උප්පත්තීහුයි, දහති යනු තබයි, අධිට්ඨාති යනු ඊටම නාමයකි, භාවෙති යනු වැඩෙයි, හීනෙ විමුත්තං යනු ලාමක වූ පංචකාම ගුණයන්හි මිදුනාවූයි, උත්තරිං අභාවිතං යනු එයින් මත්තෙහි වූ මගපල සඳහා නොවඩන ලද්දාවූයි, තත්‍රෑප්පත්තියා සංවත්තති යනු යම් තැනක් පතා කුසල් කොට එහි ඉපදීම සඳහා පවතියි, විතරාගස්ස යනු මාර්‍ගයෙන් හෝ සම්පූර්‍ණයෙන් නැසූ රාගය ඇත්තාගේ හෝ සමවතින් යටපත් කළ රාගය ඇත්තායි, දානමාත්‍රයෙන්ම බඹලොව ඉපදීමට නොහැකිය. දානය වනාහි සමාධි විදර්‍ශනා සිතට අලංකාර පිරිවරක් වෙයි. ඉක්බිති දානයෙන් මෘදු සිත් ඇත්තේව බ්‍රහ්මවිහාරයන් වඩා බඹලොව උපදියි, එහෙයින් නැසූ රාග ඇත්තාට මිස රාග සහිත වූවහුට නොවේයයි කියනලදි.
6. පුඤ්ඤකිරියවත්ථු සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ඒ පුණ්‍ය ක්‍රියා ද ඒවායේ ආනිශංසයන්ගේ වස්තූන්දැයි පුඤ්ඤකිරිය වත්‍ථුනි නම් වේ. දානාදීන්ගේ ලක්‍ෂණයෙහි සිත පිහිටුවා අප විසින් මෙබඳු නම් දානයක් දියයුතුය, ශීලය රැකිය යුතුය, භාවනාව වැඩිය යුතුයයි සත්ත්වයෝ පින් කරති. දානයම දානමයයි, දාන චෙතනාවන්හි හෝ මුල් චේතනාවෙන් නිපන් සනිටුහන් කරන චෙතනාව දානමය නමි. ශීලාදීන්ගෙන් ශීලමය ආදිය මෙනි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, පරිත්තතං කතං හොති යනු ටිකක්, මඳක් කරන ලද්දේ වෙයි, නාභිසම්හොති යනු නොනිපැයෙයි, අකතං හොති යනු හාවනා ක්‍රමයන්හි යෙදීමෙහිම නොඅරඹන ලද්දේ වේයයි අරුත්ය, මනුස්සදොභග්ගං යනු මිනිසුන් අතුරෙහි සැපත් නැති පස් වැදෑරුම් පහත් කුලයයි. උප්පජ්ජති යනු පිළිසිඳ ගැනීම් වශයෙන් එළඹෙයි, එහි උපදීයයි අරුත්ය, මත්තසො කතං යනු ප්‍රමාණයට කරන ලද්දේයි, ටිකකි, බොහෝ නොවේ. මනුස්සසොභග්ගං යනු මිනිසුන් අතුරෙහි සුභගභාවයයි, (වාසනාවයි), තෙවැදෑරුම් කුලසම්පත්තියෙන් යුක්තවූයේයි, අධිමත්තං යනු අධික ප්‍රමාණය හෝ ඵලයයි, අධිගණහන්ති යනු මැඬ පවත්වා ගනිත්, විශිෂ්ටතරවූවෝ ජෙෂ්ඨකයෝ වෙත්යයි අදහසයි.
7. සප්පුරිසදාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සුචිං යනු පිරිසුදුවූවක්, පැහැපත්වූවක් දෙයි, පණීතං යනු රසයෙන් යුක්ත වූවකි, කාලෙන යනු සුදුසු කාලයෙනි, කප්පියං යනු යමක් සුදුසුද (ගැලපේද) එය දෙයි, විචෙය්‍ය දෙති යනු මොහුට දුන්දෙය මහත්ඵල වෙයි, මොහුට (දුන්දෙය) මහත්ඵල නොවේයයි මෙසේ පිළිගන්නන් සෙවීම් වශයෙන් දානය හෝ විමසා බලා දෙයි.